
තාත්තා මට නැති වුණා. ඒක මට ජීවිතයටම දරාගන්න බැරි පාඩුවක්. ඒත් ඒ මට නැති වුණ එක දෙයක් විතරයි
‘අපි සැවොම බලාපොරොත්තු වන්නේ සුව පහසුවෙන් අපගේ ජීවිත ගත කිරීමට ය. නමුත් ඒ භාග්‍යය සැමටම එක ලෙසින් උරුම වූවක් නොවේ. එම භාග්‍යය අහිමි ව, කටුකොහොලින් පිරි දිවියකට හිමිකම් කියා, ඒ අත්දැකීම් පන්නරයක් කර ගනිමින් ජීවිතය ජය ගත්තවුන් වඩාත් ශ්‍රේෂ්ඨ ය. “කරන දෙය හොඳින්ම කරමු” යන ආදර්ශ පාඨය ජීවිතාදර්ශය බවට පමුණුවාගත් නාදියා නදිම් එවන් ශ්‍රේෂ්ඨත්වයක උරුමකාරියකි.’
1988 ජනවාරි 02 වැනි දින ඇෆ්ගනිස්ථානයේ හෙරාත් පළාතේ දී නාදියා නදිම්ගේ උපත සිදුවිය. ඒ දැරියන් සිව් දෙනකුට සොයුරියක වෙමිනි. ඇයගේ මවත් පියාත් ඇති හැකි පමණින් කාටත් උදවු උපකාරයක් කරමින් සමාජයට බරක් නොවූ අහිංසක ජීවිත ගත කළ වුන් වූහ.
ඉතාමත් සැහැල්ලු, චාම්, සරල ජීවිතයකට ප්‍රිය කළ නාදියා ඉගෙනීමට ද උපන් හපනියකි. ඇය මවුපියන්ගේ සිත් ඉහළින්ම සතුටු කරවන, දැනුමෙන්, බුද්ධියෙන් සන්නද්ධ අනාගතයක් පිළිබඳ නිරතුරු සිහින දකිමින් සිටියා ය.
නාදියා දස්කම් දැක්වූයේ ඉගෙනීමට පමණක්ම නොවීය. ඈ තුළ පාපන්දු ක්‍රීඩාව සම්බන්ධයෙන් වූයේ අසීමිත ඇල්මකි. විවේකයක් ලද සෑම මොහොතකම ඇය කළේ පාපන්දු ක්‍රීඩාවේ නියැළීම ය.
නාදියාට යාන්තම් 11 වැනි විය සපිරුණා පමණි. තලෙයිබාන් ත්‍රස්තවාදීන් විසින් ඇයගේ පියා ඝාතනය කෙරිණි. තම අනාගතය පිළිබඳ සුවහසක් සිහින දකිමින් සිටි පියාට අප්‍රමාණව ඇලුම් කළ ඇයට මේ අනපේක්ෂිත සිදුවීම කිසිසේත්ම දරා ගත නොහැකි අත්දැකීමක් විය.
“මුලදි මට දැනුණෙ කොහෙත්ම දරා ගන්න බැරි, කොයි විදිහකින්වත් හිත හදා ගන්න බැරි කම්පනයක්. ඒත් පස්සෙ මං කල්පනා කළා මම කොයිතරම් ඇඬුවත් මගේ තාත්තා ආයෙත් කවදාවත් මගේ ළඟට එන්නෙ නැති විත්තිය. තාත්තා මට නැති වුණා. ඒක මට ජීවිතයටම දරාගන්න බැරි පාඩුවක්. ඒත් ඒ මට නැති වුණ එක දෙයක් විතරයි. මට ලබා ගන්න, දිනා ගන්න තව ගොඩාක් දේවල් තියෙනවා. ඒවා ලබා ගන්න මම හිතින් ශක්තිමත් වෙනවා කියලා මම මගේ හිතට කියා ගත්තා. එහෙම කළොත් විතරයි මං වෙනුවෙන් කැපවුණු මගේ ආදර තාත්තාට මට නියම විදිහට ගෞරව කරන්න පුඵවන් වෙන්නෙ.” ඒ නාදියා සතු අප්‍රමාණ ආත්ම විශ්වාසයේත්, ආත්ම ධෛර්යයේත්, ආත්ම ශක්තියේත් තරම ය.
තලෙයිබාන් ත්‍රස්තවාදය ඇෆ්නිස්ථානයේ හෙරාත් නගරය තුළ දිනෙන් දිනම බුර බුරා නැඟෙමින් තිබිණි. පවුලේ එකම පිරිමියාගේ සවිය හා රැකවරණය අහිමි ව දියණියන් පස් දෙනකුට හා මැදිවිය නොඉක්ම වූ මවකට මේ දැඩි අනාරක්ෂිත පසුබිම, වාසයට කිසිසේත්ම නුසුදුසු බව නාදියාගේ ඥාතීන්ගේ ස්ථාවරය විය. ඒ අනුව නාදියා ඇතුළු පවුලේ පිරිස ඩෙන්මාර්කයට සංක්‍රමණය වූහ. ඒ, එරටින් දේශපාලන රැකවරණය අපේක්ෂා කළ වුන් ලෙසිනි.
මේ සංක්‍රමණය මේ අහිංසක පවුලේ ආරක්ෂාවට පමණක් හේතු වූ කාරණයක් නොවීය. නාදියාගේ අනාගතය නව හැරවුම් ලක්ෂ්‍යයකට යොමු කර වූ සංක්‍රමණයක් ද විය. ඒ සිය සිත් ගත් ක්‍රීඩාව වූ පාපන්දු තුළින් දිගු, ගෞරවාන්විත ගමනක් යෑමට ඇයට මං විවර වීම හේතුවෙනි.
ඇෆ්ගනිස්ථානය තුළ පාපන්දු ක්‍රීඩිකාවන්ට එතරම් වැදගත්කමක් හිමි වන්නේ නැත. ඩෙන්මාර්කයේ තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස් ය. එහි ඇය විසූ රැඳවුම් කඳවුර පිහිටි ප්‍රදේශයේ ම පාපන්දු ක්‍රීඩා සමාජයක් පිහිටුවා තිබීම සිය පාපන්දු සිහිනය සැබෑවක් කර ගැනුමට ලද අහඹු ආශිර්වාදයක් ම විණි. එමඟින් මැනවින් පුහුණුව ලද ඇය කෙටි කලකින් ම ඒ ප්‍රදේශයේ ‘නම ගිය’ පාපන්දු ක්‍රීඩිකාවක් බවට පත්වූවා ය.
නාදියාගේ පාපන්දු දස්කම් මැනවින් හඳුනාගත් ප්‍රදේශයේ බලධාරීහු ඇයට එම ක්‍රීඩාව සම්බන්ධව ක්‍රමානුකූල, විද්‍යානුකූල පුහුණුවක් ලබා දීමට පියවර ගත් හ. එහි දී ඈ පළ කළ කැපවීම, ධෛර්යය තුළින් ඒ ක්‍රීඩාව සබැඳිව දැනුම, කුසතලාව ඔප්නංවා ගැනීමේ ප්‍රතිඵලය ඩෙන්මාර්කයේ ජාතික පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩිකාවක බවට පත්වීම තෙක් ඈ දුර දිග ගියා ය.
“මේක ඇත්තටම අදටත් මට හීනයක්. මං කවදාවත් හිතුවෙ නැහැ මගේ උපන් රටින් වෙන රටකට ඇවිල්ලා පාපන්දුවලින් මේ තරම් දුරක් එන්න පුළුවන් වෙයි කියලා.” නාදියාගේ සතුටට නිම් හිම් නැත.
ඩෙන්මාර්ක් ජාතික කාන්තා පාපන්දු කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ නාදියා එරට උදෙසා සුවිශේෂී ජයග්‍රහණයන් රැසක් අත්කරලීමට සක්‍රියව දායක විණි. මේ වන විට ඇය ඩෙන්මාර්කය නියෝජනය කරමින් පාපන්දු තරග 73 කට සහභාගී වී තිබේ. එම කණ්ඩායමට අත්‍යවශ්‍ය ක්‍රීඩිකාවක් බවට පත්ව ඇති ඇය එතෙක් මෙතෙක් ලබා ඇති ගරු සම්මානයන් ද බොහෝ ය.
වර්තමානයේ නාදියා යුනෙස්කෝ සංවිධානයේ අනුග්‍රහය ද ලබමින්, තමා වැනි කඳවුරුගතව දේශපාලන රැකවරණය ලබමින් සිටින දරුවන්ගේ ක්‍රීඩා හැකියාවන් වැඩිදියුණු කිරීමේ සමාජ සද්කාර්යයකට මුල් වී සිටින්නී ය.
“මට ඕන වෙලා තියෙන්නෙ මම වගේ තත්ත්වයට වැටිලා ඉන්න දරුවන්ට අත දෙන්නයි.” ඇය පවසන්නේ හදවතින්ම ය.
නාදියාගේ මතු අපේකෂාව ශල්‍ය වෛද්‍යවරියක වීම ය. මේ දිනවල ඇය ඒ සඳහා විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබමින් සිටින්නී ය. භාෂා නවයක් චතුර ලෙසින් කතා කළ හැකි වීම ඈ සතු තවත් සුවිශේෂ හැකියාවකි.
ජාත්‍යන්තර ෆෝබ්ස් සඟරාව ‘2018 වසරේ ජාත්‍යන්තර ක්‍රීඩා තලයේ බලවත් කාන්තාවන් විසි දෙනාගේ ලැයිස්තුව’ට නාදියා නදිම් නාමය ද ඇතුළත් කළේ මේ හේතුවෙන් විය යුතු ය.
නඳුන් අමන්ද මනමේන්ද්‍ර ආරච්චි










