කෝලා හා ක්‍රිස්ටියානෝ අතරට සීමා නොවිය යුතු ගෝලීය වෙළෙඳ සන්නාම යුද්ධය | Page 2 | සිළුමිණ

කෝලා හා ක්‍රිස්ටියානෝ අතරට සීමා නොවිය යුතු ගෝලීය වෙළෙඳ සන්නාම යුද්ධය

 

මෙම ගැටුම තවත් නොබෝ කලකින් යටපත් වන්නට ඇති ඉඩ ප්‍රස්තා ඉහළ ය. අප එසේ කියන්නේ ලෝකය තවදුරටත් පවතින්නේ වාණිජ්‍ය අරමුණු පෙරදැරිව මිස සෞඛ්‍ය සාරධර්ම ප්‍රමුඛ කර ගනිමින් නොවන හෙයිනි.

‘පසුගිය දා පෘතුගාල ජාතික පාපන්දු කණ්ඩායමේ නායක සුප්‍රකට පාපන්දු ශූර ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ යුරෝපා කුසලාන පාපන්දු තරගාවලියේ වැඩිම ගෝල ලාභියා වශයෙන් වාර්තාවක් පිහිටුවූයේ ය. ඒ මීට පෙර ප්‍රංශයේ මයිකල් ප්ලැටිනි තබා තිබූ ගෝල වාර්තාව පසු කර යමිනි. එහෙත් ඊට වඩා සමාජගත වූයේ රොනාල්ඩෝ ලොව ප්‍රකට වෙළෙඳ සන්නාමයක් සමඟ ඇති කර ගත් මතවාදීමය ගැටුම ය. ඒ ස්වකීය පෞද්ගලික දක්ෂතාවයකට වඩා සමස්ත සමාජයට බලපෑම් කළ හැකි පුවතකට මුල පුරමිනි. එය සැබෑ ගැටුමක් ද? එසේත් නැත හොත් වෙනත් සන්නාමයක් විසින් කුප්පනු ලැබීමේ ප්‍රතිඵලයක් ද? එසේත් නැත හොත් ලෝ වැසියන් සම්බන්ධයෙන් රොනාල්ඩෝ තුළ ඇති වූ අවංක ආදරය පෙරදැරිව ක්‍රියාවට ලක්වූවක් ද? මේ එම සිද්ධියෙන් මතු වූ කාරණාවන් හා අදාළ සිදුවීම පිළිබඳ සකස් කෙරෙන ලිපියකි.’

ස්ථානය යුරෝ කුසලාන පාපන්දු තරගාවලියේ මූලික වටයේ පළමු තරගයේ පූර්ව මාධ්‍ය හමුව ය. ඊට සහභාගි වූයේ සුප්‍රකට පාපන්දු වීරයා වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ය. ඒ සඳහා ඔහු මාධ්‍ය හමුවේ රූපවාහිනී කැමරා ඉදිරියේ අසුන් ගත්තේ විමසිල්ලෙන් යුතුව තමන් ඉදිරියේ ඇති මේසය දෙස බලමිනි.

එසේ අසුන් ගත් සැණින් ඔහු මුවින් යමක් මුමුනමින් සිදු කළේ තමා ඉදිරියේ මේසය මත වූ ‘කොකා කෝලා’ බෝතල් දෙකක් වහා එතැනින් ඉවත් කර කැමරාවට නිසි ලෙස නොපෙනෙන ආකාරයට පසෙකින් තැබීම ය.

එම සන්නාමය සහිත පැණි බීම බෝතල් ඉවත් කර නොනැවතුණු රොනාල්ඩෝ කැමරා කාචයන්ට පැහැදිලිව දිස්වන ආකාරයට ජල බෝතලයක් ස්ථානගත කළේ ය. එම සිදුවීම ලෝකය පුරා උණු කැවුම් මෙන් සංවාදයට බඳුන් වූ ප්‍රවෘත්තියක් විණි.

එම ප්‍රවෘත්තියට මෙතරම් තටු ලැබුණේ එය ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ හා ලෝකයේ අධික ජනප්‍රියතාවයක් සහිත වෙළෙඳ සන්නාමයක් වන කොකා කෝලා ආයතනය අතර ඇති වූ ගැටලුවක් වීමත් සමඟ ය. එහෙත් එය එවැනි ගැටුමක් යැයි කියන්නට දෙපාර්ශ්වයම මෙතෙක් සෘජුව ඉදිරිපත් වී නැත.

වෙළෙඳ ප්‍රවර්ධන උපක්‍රම

එහෙත් එය එසේ යැයි කියන්නට උත්සාහ ගනිමින් සිටින්නේ තවත් තරගකාරී වෙළෙඳ සන්නාමයන් ය. මෙම මතවාදී ගැටීම බොහෝ වෙළෙඳ නාම දඩමීමා කර ගන්නට උත්සාහ කරමින් සිටින්නේ එහෙයිනි. ඒ තමන්ගේ සන්නාම ප්‍රවර්ධනය කිරීමේ දැඩි උත්සාහයක නියැළී සිටිමිනි.

සමාජ මැදිහත්වීම

මේ අතර රොනාල්ඩෝ ගේ ක්‍රියා කලාපය සමස්ත සමාජයට පිරිසිදු ජලය භාවිත කරන්නට යැයි සිදු කළ ඉල්ලීමක් බවට ඇතැම් පාර්ශ්ව ගෙන හැර දක්වමින් සිටිති. ඔවුන්ට අනුව රොනාල්ඩෝ සමාජය තුළ පැණිබීමවලට එරෙහිව දැවැන්ත විප්ලවයක් මෙහෙය වූ සටන්කාමියෙකි.

එය එසේ ද නැද්ද යන්න පැවැසීමට දැනට නොහැකි නමුත් රොනාල්ඩෝ යනු ලෝකය තුළ දැවැන්ත බලපෑමක් සිදු කළ හැකි පුද්ගල ප්‍රතිරූපයක් බව පිළිගත යුතු ය. ඒ ලෝකයේ වඩාත් ජනප්‍රසාදය දිනූ ක්‍රීඩාව සේ සැලකෙන පාපන්දු ක්‍රීඩාවේ මහා වීර චරිතයක් වීම හේතුවෙනි. දැනටමත් ලොව පුරා වෙසෙන ජනතාවගෙන් මිලියන 300 කට අධික ප්‍රමාණයක් ඔහුගේ ඉන්ස්ටර්ග්‍රෑම් අඩවිය ඇසුරු කරන්නෝ වෙති.

එහෙයින්ම ඔහු සම්බන්ධයෙන් ලෝකයා තුළ පවතින ආකර්ෂණය කොතෙක්ද යන්න අවබෝධ කර ගත හැකි ය. එම කැමැත්ත සමඟ රොනාල්ඩෝ ද සිය හැසිරීම් මඟින් ලෝකය ලබා දී ඇති තම ප්‍රතිරූපය තවදුරටත් පෝෂණය කරන්නට කටයුතු කිරීමට ඉඩ තිබේ.

අනාථ දරුවන්ට කැපකරු පියකු වන්නටත්, ඇට මිදුළු බද්ධය වෙනුවෙන් අවශ්‍ය සෛල දන් දීම උදෙසා සිරුරේ බාහිර සම මත පච්ච කෙටීම වැනි දේ සිදු නොකරන්නට ත් ඔහු ක්‍රියා කරන්නේ එහෙයිනි. එය සැබැවින්ම සිය සමාජ වගකීම සම්බන්ධයෙන් පවතින ගැඹුරු අවබෝධය යැයි ද පැවසීමට පිළිවන.

රොනාල්ඩෝ සිය දක්ෂතා ඔස්සේ උපයා ගත් ප්‍රතිරූපය භාවිතයට ගනිමින් දැවැන්ත බහුජාතික සමාගමක නිෂ්පාදනයක් ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කරන්නේ තමන් ගෞරවයෙන් පිළිගන්නා සමාජයට ඉටු කිරීමට ඇති වගකීම ගැන අවබෝධයෙන් යැයි කියැවෙන්නේ ඒ අනුව ය.

පැණිබීම කෙරේ අප්‍රසාදය දනවන සේ සෙමින් මුමුණමින් තමන් ඉදිරියේ වූ ජල බෝතලය ඔසවා ‘අගුආ’ (‘Agua’) යැයි පවසමින් එය ඉහළට එසවීම යනු එක්තරා ආකාරයකට පිරිසිදු ජලය පානය ප්‍රවර්ධනය කරවීමකි. අධික සීනි භාවිතය තුළින් පලා යන නිරෝගී භාවය, ස්ථුල බව ඉහළ යෑම, බෝනොවන රෝග වැලඳීමේ ප්‍රවණතාව ශීඝ්‍ර වීම ආදියට යම් ප්‍රමාණයකට වැට බැඳීමට මැදිහත් වීමකට ඔහුගේ මෙම හැසිරීම ඉවහල් වන බව පිළිගත හැකි ය.

පූර්ව සැලසුමක් ද?

කෙසේ නමුත් රොනාල්ඩෝ මෙලෙසින් ප්‍රදර්ශනය කරන ජල බෝතලය කිසිදු සන්නාමයකින් තොර එකකි. එනම් එය සැලසුම් සහගත ලෙස ප්‍රදර්ශනයට යොදා ගන්නට සූදානම් කර තිබූ ජල බෝතලයක් වන්නට ද පිළිවන. එසේම පානයක් වශයෙන් ජල භාවිතය ප්‍රවර්ධනය කිරීමෙන් ඊට සමගාමීව අදාළ පැණිබීම සන්නාමයට කිසියම් බලපෑමක් සිදු කිරීමේ සැලසුමක් වී යැයි ද අවශ්‍යනම් සැලකිය හැකි ය. කෙසේ නමුත් එහි සැබෑ තත්ත්වය දන්නේ රොනාල්ඩෝ සහ ඔහුගේ කළමනාකරුවා විනා අන් කවරකුවත් නොවේ.

සමාජ බලපෑම

එය කෙසේ වෙතත් රොනාල්ඩෝගේ මෙම හැසිරීම මඟින් සමාජයට සිදු වී ඇති බලපෑම මෙහි දී සැලකිල්ලට බඳුන් කළ යුතු ය. එම සිදුවීම වෙනත් බලපෑම් සහගත ක්‍රීඩකයන් තුළ හා සමාජයේ සෙසු සංස්ථාවන් මෙන්ම සුවහසක් ලෝකවාසී පාරිභෝගිකයනට දැනුණු ආකාරය එය තේරුම් ගැනීමට කදිම නියැදියකි.

පළමුව එය ක්‍රීඩාව පාර්ශ්වයෙන් බලන කල අපට දක්නට ලැබෙන්නේ රොනාල්ඩෝ ගේ ක්‍රියාව අනුගමනය කරන්නට තවත් ප්‍රබල ක්‍රීඩකයන් කීප දෙනෙක්ම පෙලඹී ඇති බව ය. ඒ අතරින් ඉතාලි ජාතික පාපන්දු ශූරයකු වන Manuel Locatelli පළමුව රොනාල්ඩෝ අනුව කටයුතු කර තිබිණි. ඒ ස්විට්සර්ලන්තය සමඟ පැවැති තරගයක දී ය. එම තරගය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී ඔහු ද කොකා කෝලා බෝතල් ඉවත් කර ජල බෝතලය ඉදිරියෙන් තබා තිබුණේ ය.

මේ ආකාරයෙන්ම යුරෝ කුසලාන පාපන්දු තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහක සමාගම වන Heineken නමැති වෙළෙඳ සන්නාමය සහිත බෝතලයක් තමන් ඉදිරියෙන් ඉවත් කිරීමට ප්‍රංශ කණ්ඩායම නියෝජනය කරන මැද පෙළ ක්‍රීඩක (Paul Pogba) පෝල් පොග්බා ද ක්‍රියා කළේ ය. එම සිදුවීම්වලින් ගම්‍ය වන්නේ කෘත්‍රිම පැණි බීම ඇතුළු නිෂ්පාදන ප්‍රවර්ධනය ප්‍රතික්ෂේප කරමින් සමාජයට යහපත් බලපෑමක් කිරීමට යුරෝ කුසලාන පාපන්දු තරගාවලිය වේදිකාවක් කර ගැනීමට ප්‍රබල ක්‍රීඩකයන් ඒකරාශී වෙමින් පවතින බවයි.

ප්‍රතිවිරෝධතා සමහන් කිරීම

මේ අතර මෙම සිදුවීම් මාලාව සාමාන්‍ය තත්ත්වයට පත් කරන්නට කටයුතු කරමින් සිටින ක්‍රීඩකයන් ගැන ද අසන්නට නොලැබෙනවා නොවේ. ඒ අතරට එන ක්‍රීඩකයෙක් ලෙස යුක්‍රේන පාපන්දු ශූරයකු වන ඇන්ඩ්‍රි යාර්මොලෙන්කෝ (Andriy Yarmolenko ) දැක්විය හැකි ය.

ඔහු කොකා කෝලා පමණක් නොව Heineken බෝතලයක් තමන් සහභාගි වූ මාධ්‍ය හමුවේ දී මේසය මත තමන් ඉදිරියේ ස්ථාන ගත කර තිබිණි. එහිදී ඔහු විසුළු ආකාරයෙන් පවසන්නේ අදාළ වෙළෙඳ සමාගම් ප්‍රවර්ධනයට තමන් සහය දීමට සූදානම් බවයි. ‘මට ඇමතුමක් ලබා දෙනවා නම් ඔබේ සමාගමේ ප්‍රවර්ධන කටයුතුවලට මම එක්වෙන්නම්.’ යැයි ඔහු පවසා තිබුණේ මාධ්‍ය හමුවට රැස්ව සිටි පිරිස් සිනහ ගන්වමිනි.

එසේම බෙල්ජියම් ඉදිරි පෙළ ප්‍රහාරක රොමෙලු ලුකාකු (Romelu Lukaku) ද ඇන්ඩ්‍රි යාර්මොලෙන්කෝ (Andriy Yarmolenko ) අනුව යමින් ඩෙන්මාර්කය සමඟ පැවැති තරගය 2-1 ක් ලෙස ජය ගැනීමෙන් අනතුරුව පවසා තිබුණේ ඒ අදාළ වෙළෙඳ සන්නාම ප්‍රවර්ධනය කරන්නට තමන් ද සූදානම් බව ය. කොකා කෝලා පැණිබීම ප්‍රවර්ධනය පිණිස තම රුව යොදා ගැනීමට අවශ්‍ය හිමිකම ලබා ගැනීමට හැකියාව පවතින බව ඔහු පවසා තිබුණේ රැස්ව සිටි පිරිස් තුළ සිනහව මතුකරමිනි.

ඒ සිදුවීම්වලින් කියැවෙන්නේ රොනාල්ඩෝ අනුව යන මෙන්ම රොනාල්ඩෝගේ ක්‍රියාවලියට පරිබාහිරව සන්නාම ප්‍රවර්ධනය පිණිස කටයුතු කරන පිරිසක් ක්‍රීඩාව තුළ සිටින බවයි. ඒ පිරිස් මෙහෙයවමින් ඇත්තේ මහා පරිමාණ බහුජාතික සමාගම් විනා අන් කිසිවකුත් නොවන බව නිසැක ය.

පැණිබීම සමාගම්වලට සිදූවූ බලපෑම කෙසේ ද?

කෙසේ නමුත් රොනාල්ඩෝ ගේ ක්‍රියාව හේතුවෙන් කොකා කෝලා සමාගමේ පුද්ගල සම්බන්ධතා හා සන්නාම ප්‍රවර්ධන අංශයට දැඩි හිසරදයක් නිර්මාණය වි ඇත. ඒ ඔවුන්ගේ සන්නාමය යටතේ නිකුත් කෙරෙන නිෂ්පාදන අලෙවිය ශීඝ්‍රයෙන් පහළ බැසීමෙනි. ආසන්න වශයෙන් එම අලෙවියේ පහත බැසීම පවුම් බිලියන 2.8 ක් පමණ බව මේ වන විට ගණනය කර ඇත. එය රුපියල්වලින් නම් බිලියන හත්සියයකට අධික පාඩුවකි.

මේ අතර අමෙරිකානු කොටස් වෙළෙඳපොළ තුළ කොකා කෝලා සමාගමේ ඒකකයක මිල අමෙරිකානු ඩොලර් 56.10 සිට අමෙරිකානු ඩොලර් 55.22 දක්වා පහළ බැස තිබේ. කොටස් මිලේ අඩු වීම ප්‍රතිශතයක් වශයෙන් ගනිද්දී සියයට 1.6 කි. එසේම මෙම අලෙවි අවපාතය අමෙරිකානු ඩොලර් බිලියන 242 සිට 238 ක් ලෙස දැක්විය හැකි ය. මෙම සියලු දත්තයන්ගෙන් කොකා කෝලා සමාගම හා රොනාල්ඩෝ අතර ගැටුම මඟින් අදාළ සන්නාමයට සිදුව ඇති අනර්ථය කොතරම් ද යන්න සිතා ගැනීමට පිළිවන.

එහෙයින් අදාළ සමාගම දැනට උත්සාහ ගනිමින් ඇත්තේ මෙම අර්බුදය හැකිතාක් ගොඩින් බේරා ගැනීමට ය.

ඒ අතර එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් කියා තිබුණේ තම තමන්ගේ අභිරුචිය අනුව පානය කරනු ලබන බීම වර්ගය තීරණය කළ යුතු බවයි. ‘ඒක ඒ ඒ අයගේ කැමැත්ත අනුව තීරණය වන දෙයක්.’ සමාගම පවසා තිබුණේ කොකා කෝලා පානය නොකරන්නට යැයි කියමින් පාරිභෝගිකයන්ට බලපෑම් කරන්නට තවත් අයකුට නොහැකි බව අඟවමිනි.

එයින් ඔවුන් කියන්නට උත්සාහ ගනිමින් සිටියේ තම නිෂ්පාදන ඉවත් කිරීම යනු හුදෙක් රොනාල්ඩෝගේ පෞද්ගලික තීරණයක් බව ය. එසේම වතුර පානය ප්‍රවර්ධනය කරන ආකාරයට කටයුතු කරන්නට ඔහු ක්‍රියා කිරීම ද ඔහුගේ පෞද්ගලික කටයුත්තක් මිස පොදු තීරණයක් නොවන බවද කොකා කෝලා සමාගම නොකියා පවසා ඇත.

අවස්ථාවාදී වෙළෙඳ උපක්‍රම

මෙම සංසිද්ධිය සමඟ ක්ෂණයෙන් ඉදිරියට පැමිණ අදාළ වීඩියෝව වඩාත් සමාජගත කරමින් සිටින ආයතන හෝ සංවිධාන අතර වැඩි වශයෙන් මුදල් වැය කරමින් සිටින්නේ ජල බෝතල් අලෙවි කරනු ලබන සමාගම් ය. ඒ අතර යුරෝපයේ වඩා ප්‍රචලිත කැනඩාවේ ස්ථාපිතව සිටින ජල බෝතල් නිෂ්පාදන සමාගමක් වන IKEA සිය ව්‍යාපාර ප්‍රවර්ධනය ආරම්භ කර තිබේ. ඒ නැවත භාවිතයට ගත හැකි ජල බෝතලයක් වෙළෙඳ පොළට හඳුන්වා දෙමිනි. එම ජල බෝතලය නම් කර ඇත්තේ ද ‘ක්‍රිස්ටියානෝ’ යන නමින්ම වීම සුවිශේෂී ය.

මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය ද ඉදිරියට පැමිණ ඇත්තේ රොනාල්ඩෝ දරන මතයෙන් ප්‍රයෝජන ලබා ගැනීම පිණිස ය. ඔවුන් එම වේදිකාව මත සිට සිහිපත් කරන්නේ අධික සීනි පරිභෝජනය මඟින් මානව සමාජය තුළ දැවැන්ත සෞඛ්‍යමය අර්බූද ගොඩනැඟෙන බව ය. එහිදී සමාජ ජාලා ඔස්සේ පුළුල් ප්‍රචාරණ ව්‍යාපෘතියක් ආරම්භ කරන්නට ඔවුන් උත්සාහ ගනිමින් ඇත්තේ එහෙයිනි.

මේ සියලු සංසිද්ධිවලින් පෙනෙන්නේ රොනාල්ඩෝගේ හැසිරීමට අනුලෝමව සමාජ සංස්ථාව තුළ අනුනාද කම්පන රාශියක් නිර්මාණය වීමත්, ඒවා වෙළෙඳපොළ සමාජය විසින් උකහාගත් ආකාරයත් ය. කෝලා සමාගමට සිදුවූ වෙළෙඳමය අනර්ථය හමුවේ තමන්ගේ සමාගම්වලට වාසියක් නිර්මාණය කර ගැනීමට සෙසු බොහෝ සමාගම් කැසකවමින් ඇත. එම ප්‍රයත්න මාලාව නිසා රොනාල්ඩෝගේ උත්සාහය මඟින් නිර්මාණය විය යුතුව ඇති ගුණාත්මක පණිවුඩය, තවත් වෙළෙඳ පණිවුඩයක් බවට පෙරළා ගනිමින් තිබේ.

සන්නාම ප්‍රවර්ධනය පිණිස වෙළෙඳ ප්‍රචාරණ සමාගම් කටයුතු කරන ආකාරය දෙස බලන විට අප අවබෝධ කර ගත යුත්තේ ‘කෝලා - ක්‍රිස්ටියානෝ සටන’ ඊට පමණක් සීමා නොවී මානව සෞඛ්‍ය පද්ධතිය දුර්වල කරනු ලබන හා සියලු ආහාරමය සන්නාමයන්ට එරෙහිව ගොඩනැඟිය යුතු විරෝධතාවකි. ඒ විරෝධය වර්ධනය කළ හැක්කේ රාජ්‍යයන්ට ය.

එසේ නොමැතිව පුද්ගලයන්ට පමණක් එකලාව එය සිදු කළ හැක්කේ නොවේ. පුද්ගලයෝ සිටිති, නැති වෙති, නිහඬ වෙති, නිහඬ කරවති. ඒ සඳහා අවශ්‍ය තරම් සාක්ෂි ලෝක ඉතිහාසයේ ඕනෑ තරම් තිබේ. අනෙක් කරුණ වන්නේ ආණ්ඩු එති, යති, දිනවති, පරදවති යන්න ගැන සිතන විට සන්නාම යුද්ධය වෙනුවෙන් ආණ්ඩුවලට ද කළ හැක්ක සීමා සහිත ය. එසේ නම් එය කළ හැක්කේ රාජ්‍ය යාන්ත්‍රණයට පමණ ය. රාජ්‍ය අතරිනුත් දියුණු යැයි සම්මත රාජ්‍යයන්ට ඒ වෙනුවෙන් පෙරමුණ ගත හැකි ය. ඒත් ඒ එකලාව නොවේ. එය සිදු කළ යුත්තේ සාමූහිකව ය. සමූහ රාජ්‍ය, මිත්‍ර රාජ්‍ය වශයෙනි.

තනි පුද්ගල සටනේ ප්‍රබලත්වය

එය එසේ වුව ද සමාජයට සුවිශාල බලපෑමක් සිදු කළ හැකි තනි පුද්ගලයන්ට පවා නිහඬව දෑත් බැඳ සිටින්නට හැකියාව නැත. ඒ සඳහා රොනාල්ඩෝ වැනි ගෝලීය සමාජයට බලපෑමක් කළ හැකි ක්‍රීඩකයන්, දාර්ශනිකයන්, ලේඛකයන්, රංගවේදීන් ඇතුළු පිරිස් පෙරමුණ ගත යුතු ය.

කෙසේ නමුත් මෙම ගැටුම තවත් නොබෝ කලකින් යටපත් වන්නට ඇති ඉඩ ප්‍රස්තා ඉහළ ය. අප එසේ කියන්නේ ලෝකය තවදුරටත් පවතින්නේ වාණිජ්‍ය අරමුණු පෙරදැරිව මිස සෞඛ්‍ය සාරධර්ම ප්‍රමුඛ කර ගනිමින් නොවන හෙයිනි.

වර්තමානයේ ඇත්තේ අලෙවිය මූලික කර ගත් සන්නාම ප්‍රවර්ධනීය වෙළෙ‍ෙපොළකි. එහිදී රොනාල්ඩෝ ලා යනු විශිෂ්ට දක්ෂතා සහිත නමුත් වෙළෙඳ සමාගම් ස්වකීය අනුග්‍රාහක ගිවිසුම් මඟින් නටවනු ලබන රූකඩ ආකාරයේ සාමාන්‍ය අලෙවි ප්‍රවර්ධන සටන්කරුවන් පිරිසකි. එසේ නොමැතිව ඔවුනට සැබෑ සමාජයීය වීරයන් වන්නට ඇත්තේ ඉතා අඩු අවකාශයකි.

 

කසුන් ඉරුගල්බණ්ඩාර

Comments