
මම දුර පනින්නයි, දුවන්නයි හපනියක්
නිලූෂී හල්පිට ප්‍රවීණ රංගන ශිල්පිනියකි. ඈ රංගන ශිල්පිනියක්, මෝස්තර නිරූපිකාවක්, තිර පිටපත් රචිකාවියක්, චිත්‍රපට නිෂ්පාදකවරියක්, සහ ගායිකාවක් වශයෙන් බහුවිධ දක්ෂතා දක්වන්නියකි. දිගු නිහැඬියාව අවසන් කරමින් කලාකරුවාගේ ක්‍රීඩා භාවිතය පිළිබඳ 'ක්‍රීඩා' විශේෂාංගය උදෙසා මෙවර අප මුණගැසුණේ ඇය ය.
'මගේ අම්මා ගෘහණියක් මෙන්ම රංගනවේදිනියක්. තාත්තා විදුලිබල මණ්ඩලයේ සේවකයෙක්. මගේ අම්මා සේන සමරසිංහ මහතා ගේ මලට නොඑන බඹරු චිත්‍රපටයේ රූගත කිරීම්වලට යද්දී ගැබිනියක්. එහෙත් අම්මා හීනෙන් වත් හිතලා නෑ මම නිළියක් වේවි කියලා. කොහොම හරි රූගත කිරීම් අතරතුර අම්මාට මාව ලැබෙන්න ලකුණු පහළ වෙලා රෝහල් ගත කර තිබුණා. එහෙම තමයි කලා ලෝකයට පිවිසෙන්න මට පරිසරය උපතේ සිටම සකස් වෙන්නේ.' කොවිඩ් වසංගතයෙන් ලෝකය පීඩාවට පත් වෙමින් සිටින අතර ලැබුණු නිමේෂයක දී 'ක්‍රීඩා' අපි ඈ සොයාගෙන ඇගේ නිවෙසට ගිය වෙලාවේ නිලූෂී හල්පිට එසේ පැවැසුවා.
ඇය, ඇයව නිර්වචනය කළේ තවත් අපූරු ආකාරයකට කියලා අපිට හිතුණා. 'මට මා ගැන කියන්න දෙයක් නෑ. මාව අඳුන ගත්ත කෙනෙක් හරි මාත් එක්ක කතා කරන කෙනෙක් හෝ මාව දකින කෙනෙක් තමයි මම මොන වගේ කෙනෙක් ද කියලා තීරණය කළ යුත්තේ. එහෙම නැත්නම් ඔවුන් මාව අසුරු කරල මොන වගේ කෙනෙක්ද කියල තීරණය කරාවි.' ඈ කිව්වා.
ඇය ම ප්‍රකාශ කළ ආකාරයට ඇගේ ළමා කාලය කෙළිලොල් අතීතයක්. ඒ කෙළිලොල් බව අදටත් ඈ තුළින් වරින් වර ඉස්මතු වෙනවා. ඒ අතීත පාසල් දිවිය ආවර්ජනය කරද්දී.
'ඇත්තටම පාසල් කාලය තමයි සුන්දරම කාලය. එක වසරෙ දි ටික කාලයක් වෑතර කනිෂ්ඨ විද්‍යලයට ගියා. ඉන් පස්සෙ කැස්බෑව ආටිගල බාලිකාව මගේ පාසල බවට පත්වුණා. පාසලේ දී ක්‍රීඩාවට දක්ෂයි. සාමාන්‍ය පෙළ කරද්දී නිවාසාන්තර ක්‍රීඩා උලෙළේ මගේ නිවාසයේ නායිකාව වුණේ මම යි. උස පැනීමෙන් මම පළමු වැනියා. මීටර් 100 දුවන්නත් මම දක්ෂයි. හැබැයි දුර පැනීමෙන් මට සාර්ථක වෙන්න බැරි වුණා. ඒ අතර විනෝදාංශයක් හැටියට බැඩ්මින්ටන් ක්‍රීඩා කළා.' ඈ ඒ ගැන කිව්වේ සතුටින්.
ඒ කතාව අහගෙන ඉන්නකොට නිලූෂිට සිහින ගොඩක් තිබුණා කියල අපට වැටහුණා. අපි ඒකට පිළිතුරක් සොයා ගන්න ඇයව දිරි ගැන්වූවා. ' ඒ කාලේ මගේ සිහිනය වෙලා තිබුණේ වෛද්‍යවරියක් හරි නීතිඥවරියක් හරි වෙන්න. ඒත් මම සාමාන්‍ය පෙළ කරන්න ලෑස්ති වෙනකොට දෙවියන්ගෙන් මට අපූරු තෑග්ගක් ලැබුණා. ඒ ත්‍යාගය මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය බවට පත්වුණා.' ඈ කිව්වා.
ඒ මොකක් ද ?' අපිත් ඇගෙන් ඇහුවා.
'තිස්ස නාගොඩවිතාන ගේ ටී.එන්.එල්. එකේ යන වැඩසටහන්එවලට නිවේදිකාවක් හැටියට සම්බන්ධ වෙන්න මට අවස්ථාවක් උදාවුණා. ඉන් පස්සෙ ක්‍රීඩාවත් අධ්‍යාපනයත් අතහැර මගේ මාධ්‍ය වුණේ කලාව. මගේ කැමැත්තටමයි රඟපෑම තෝරා ගත්තෙත්. රඟපෑමෙන් විවිධාකාර චරිත නිරූපණය කරන්න ලැබෙනවා නම් හොඳයි. ඒත් අපට එහෙම වැඩ කරන්න සිනමා ක්‍ෂේත්‍රයේ ඉඩකඩ ලැබෙන්නේ අඩුවෙන්. ඒත් දක්ෂතා හීන ඇතැමුන්ට විවිධ චරිත විවිධත්වයෙන් යුතුව නිරූපණය කරන්න ලැබෙනවා. ඒත් වැඩි දෙනෙක් දක්ෂයන් ගෙන් වැඩක් ගන්නෙ නෑ. නිකම්ම ඉඳලා කලාව හංගාගෙන ඉඳලා ඔහේ කනගාටුදායක විදිහට මැරිලා යන්න තමයි සිද්ධ වෙන්නෙ.' ඇය කිව්වේ කනගාටුවෙන්.
අපි බාධා නොකර සවන් දුන්නා. ඈ යළිත් තම හඬ රැල් බුරුල් හැරියා.
'ක්‍රීඩාව ගැන අපි කතා කරමුකො. කලාවට වගේම ක්‍රීඩාවටත් මානව සමාජය ආකර්ෂණය කිරීමේ අපූරු හැකියාවක් තිබෙනවා. ඒ දෙකටම මිනිසා ආකර්ෂණය කළ හැකි ආකාරය එක සමානයි කියලයි මම හිතන්නේ. මගේ කලා ජීවිතයට දසක දෙකකට වැඩියි. වර්තමානයේ කලා කටයුතුවලින් මඳකට ඈත් වී සිටියත් රංගනයෙන් හරි ක්‍රීඩාවෙන් හරි විවේක ගන්නකොට අපිට සාමාන්‍ය සමාජය ඉදිරියට එන්න වෙනවා. මිනිස්සු මොන තරම් අපට ආදරේද කියල අපට වැටහෙන්නේ එතකොට තමයි.'
'ක්‍රීඩා අතරින් මිනිස්සු වැඩිය කැමැති ක්‍රිකට්, රගර්, පාපන්දු වගේ ක්‍රීඩා නරඹන්න යි. කලාවෙත් එහෙමයි. විවිධාකාර චරිතවලට ප්‍රේක්ෂකයා ආසයි. ක්‍රීඩාවත් කලාවත් හරියට රේල් පාරක් වගේ. සමානව ඉදිරියට යන පීලි දෙකක්. ක්‍රීඩාව සහ කලාව තුළින් ජයග්‍රහණය කරා යන්නෙ අතලොස්සයි. නමුත් ජීවිතයක ජයග්‍රහණය වඩාත් ඉස්මතු වෙන අවස්ථාවන් දෙකක් තමයි කලාව හා ක්‍රීඩාව කියන්නේ. මිනිසෙක් නම් ජීවිතයේ කවරම හෝ අවධියක මේ දෙකෙන් එකකවත් නියැළිය යුතු යි.' ඈ කිව්වා.
තත්පර කිහිපයක් නිහඬව සිටි ඇය නැවතත් කටහඬ අවදි කළේ රගපෑම තුළ ඇගේ හික්මීම සහ විනය සඳහා ක්‍රීඩාවෙන් ලැබුණු දායකත්වය ගැන සඳහන් කිරීමට යි.
'ජීවිතය ඇතුළේ හික්මීම සහ විනය කියන්නේ අප විසින්ම සකසා ගත යුතු දෙයකට. හික්මීම නැති වෙන්න යන තැන එය ආරක්ෂා කර ගන්න පුළුවන් නම් වඩාත් හොදයි. මට දෙයක් කරන්න කියන්න ඕන තැන ඒ දේ මම කරනවා. හික්මිලා ඉන්න ඕන තැන හික්මිලා ඉන්නවා. හික්මිලා ඉන්න ඕන නැති තැන හික්මෙන්නෙ නෑ.' ඈ කීවා.
ඇයගෙන් අප සමුගන්න අවසන් කාල හෝරාවට පැමිණ තිබුණා . වත්මනේ අප රට තුළ පවතින ක්‍රීඩා තත්ත්වය කලාකාරිනියක් හැටියට ඇය දකින්නෙ කෙබඳු විදිහට දැයි අපි විමසුවා.
ඒ ප්‍රශ්නයත් සමඟ ඇය මොහොතක් කලකිරුණු ස්වභාවයක් පෙන්නුම් කරන මුහුණකින් අප දෙස බලාගෙන සිටියා.
'පුරවැසියෙක් විදිහට මම සතුටු වෙන්නේ නෑ. ක්‍රීඩාව විතරක් නොවෙයි කලාව සම්බන්ධයෙන් පවා මට සතුටක් නෑ. දැන් ඒ හැම ක්ෂේත්‍රයක්ම කඩා වැටිලා. වර්තමානයේ මේ එක් එක් ක්ෂේත්‍ර යම් පමණකට ගොඩනඟන්න ඇතැමුන් උත්සාහ ගන්නවා. මම විශ්වාස කරනවා ඒ තත්ත්වය නිවැරැදිව ක්‍රියාත්මක වෙලා රටේ ක්‍රීඩාවට, කලාවට සතුටුදායක ප්‍රතිඵල අත්වේවි කියලා.' ඈ සිනහවකින් මුහුණ සරසා ගනිමින් කීවා.
සටහන සහ සේයාරුව .
සුදම් ගුණසිංහ










