කල්ලන්ට - සුද්දන්ට සෙල්ලමටම හිත හදන එංගලන්තයේ මානවවාදී ක්‍රිකට් ප්‍රතිපත්තිය | Page 2 | සිළුමිණ

කල්ලන්ට - සුද්දන්ට සෙල්ලමටම හිත හදන එංගලන්තයේ මානවවාදී ක්‍රිකට් ප්‍රතිපත්තිය

 

වර්ගවාදයෙන් තොරව එංගලන්තයේ පමණක් නොව ලොව වෙනත් රටවල උපන් ක්‍රීඩකයන්ට එංගලන්ත ක්‍රීඩාව තුළ දොර විවෘත ව තැබීමට එරට බලධාරීන් කටයුතු කර තිබේ.

එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක ඔලි රොබින්සන් වර්ගවාදය මෙන් ම ලිංගිකත්වය සම්බන්ධයෙන් වසර කිහිපයකට පෙර පළ කරන ලද ට්විටර් පණිවිඩයක් එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩාව මහත් අපහසු තත්ත්වයකට ඇද දැමුවේ පසුගියා දා ය. එම සිදුවීම කතිකාවට බඳුන් වීමත් සමඟ ඔහු වහා ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා සිටියේ ය. නමුත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට එරට ක්‍රිකට් බලධාරීහු ගෙන තිබූ තීරණය අතහැර දැමුවේ නැත.

ඒ තීරණය පිළිබඳ අදහස් දක්වමින් එරට ක්‍රිකට් ප්‍රධාන විධායක ටොම් හැරිසන් ප්‍රකාශ කළේ, එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයකු මෙවන් ට්විටර් සටහනක් තැබීම සම්බන්ධයෙන් දැඩි ලෙස කලකිරීමට පත්වන බවයි.

‘ඒ කලකිරීම ප්‍රකාශ කිරීමට මට වචන නෑ.’ ඔහු කියා තිබිණි.

සැබැවින්ම ඔහුගේ මෙම ප්‍රකාශය අගය කළ යුත්තකි.

ඉතිහාසය සියුම් ව විමසා බලන විට වර්ගවාදය සම්බන්ධ එංගලන්ත ප්‍රතිපත්තියෙහි යම් සැක සහිත අවස්ථා නොතිබුණා නොවේ. එහෙත් වර්ගවාදයෙන් තොරව එංගලන්තයේ පමණක් නොව ලොව වෙනත් රටවල උපන් ක්‍රීඩකයන්ට එංගලන්ත ක්‍රීඩාව තුළ දොර විවෘත ව තැබීමට එරට බලධාරීන් කටයුතු කර තිබේ. මෙහි දී වඩාත් කැපී පෙනෙනුයේ කළු ජාතිකයන් බහුල කොදෙව් දූපත්හි ජන්ම ලාභය ලද ක්‍රීඩකයන්ට හිමිවුණු අවස්ථාව යි.

ඒ අනුව කළු සමක් සහිත මෙන්ම සුදු නොවන සමක් සහිත ක්‍රීඩකයින් රැසකට පසුගිය දසක ගණනාවක් පුරා කිසිදු භේදයකින් තොරව එංගලන්ත පිල නියෝජනය කිරීමට අවස්ථාව උදාවී තිබිණි.

කොදෙව් දූපත්වලට අයත් බාර්බඩෝස් හි ශාන්ත පිලිප් හි 1953 වසරේ උපන් රෝලන්ඩ් බුචර් එංගලන්තය නියෝජනය කළ මුල්ම කළු ජාතික ක්‍රිකට් ක්‍රීඩකයා ය. ඔහු වේගයෙන් පන්දුවට පහර දෙන දකුණත් පිතිකරුවෙකි. 1980-81 වකවානුවේ ඉයන් බෝතම්ගේ නායකත්වයෙන් යුත් එංගලන්ත පිලේ අර්බුදකාරී කොදෙව් දූපත් සංචාරයේ දී තම ජාතියට එරෙහි ව එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගැනීමට ඔහු සමත් විය. ඒ බ්‍රිජ්ටවුන් හි පැවැති ටෙස්ට් තරගයේ දී ය.මෙම සංචාරයේ දී ටෙස්ට් තරග තුනකට සහභාගි වූ ඔහුට එතරම් දස්කම් දැක්වීමට නොහැකි විණි. කෙසේ නමුත් ඔහුගේ ටෙස්ට් දිවිය එම සංචාරයෙන්ම නිමාවට පත්විය. තම මුල්ම එක්දින ජගත් තරගයේ දී පන්දු 38 කින් ලකුණු 52 ක් ලැබීම ඔහුගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ හොඳම ඉනිමයි.

රෝලන්ඩ් බුචර් මෙන්ම කොදෙව් දූපත් හි බාර්බඩෝස්වලින් බිහි වී එංගලන්තය නියෝජනය කළ තවත් ක්‍රීඩකයන් තිදෙනෙක් ලෙස ග්ලැඩ්සන් ස්මෝල්, ක්‍රිස් ජෝර්ඩන් හා ජෙෆ්රා ආචර් දැක්විය හැකි ය. මේ අතරින් ක්‍රිස් ජෝර්ඩන් හා ජෙෆ්රා ආචර් වර්තමානයේත් එංගලන්ත පිල නියෝජනය කරති.

ග්ලැඩ්සන් ස්මෝල් 1986 සිට 1992 දක්වා එංගලන්තය නියෝජනය කළේය. දකුණත් වේග පන්දු යවන්නකු වූ ස්මෝල් ටෙස්ට් තරග 17 ක දී කඩුලු 55 ක් දවාලී ය. එක්දින තරග 53 ක දී කඩුලු 58 ක් දවාලීමට ද ඔහු සමත් වී තිබේ. ක්‍රීඩා ලෝලීන් ඔහු බොහෝ විට හඳුනා ගත්තේ ගෙලක් නොපෙනෙන අපූරු පෙනුමැති ක්‍රීඩකයකු වශයෙනි. එයට හේතුව ඔහුගේ හිස හා සිරුර සෘජුවම එකිනෙක සම්බන්ධ වී ඇති ආකාරයෙන් දිස්වීම ය. ක්ලිප්ල් ෆෙයිල් (klippel feil syndrome) නමැති රෝගයෙන් ඔහු පසුවීම මෙයට හේතුව බව කියැවේ.

ක්‍රිස් ජෝර්ඩන් වත්මන් එංගලන්ත පිලෙහි සිටිය ද ඔහු බොහෝ විට දස්කම් දක්වා ඇත්තේ විස්සයි විස්ස තරග රටාවේ දී ය. දකුණත් මඳ වේග පන්දු යවන්නකු ලෙස ඔහු 2014 ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට් වරම් දිනා ගත් අතර ටෙස්ට් තරග අටක දී කඩුලු 21 ක් බිඳ හෙළා ඇත. ඔහු ක්‍රීඩා කර ඇති ජගත් එක්දින තරග ගණන 34 කි. දවා ගෙන ඇති කඩුලු ගණන 45 කි. විස්සයි විස්ස තරග 55 ක දී කඩුලු 66 ක් දවා ගෙන තිබේ.

මෑතක දී එංගලන්ත කණ්ඩායමේ වඩාත් කතාබහට ලක්වූ කළු ජාතික ක්‍රීඩකයා ජෝෆ්රා ආචර් ය.1995 බාර්බඩෝස් හි බ්‍රිජ්ටවුන්හි උපත ලැබූ ඔහුගේ පියා ඉංග්‍රීසි ජාතිකයකු වූ අතර මව බාර්බඩෝස්හි කාන්තාවකි. 2014 වසරේ දී අවස්ථා කිහිපයක් ඔහු කොදෙව් වයස 19 න් පහළ කණ්ඩායම නියෝජනය කළේ ය.

පසුව 2019 වසරේ සිට එංගලන්ත කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව හිමි විය. දකුණත් වේග පන්දු යවන්නකු වන ඔහු මේ වන විට එංගලන්ත පිලේ අංක එකේ වේග පන්දු යවන්නකු ලෙස ක්‍රියා කරයි. ආචර් සහභාගි වී ඇති ටෙස්ට් තරග ගණන 13 කි. දවා ගෙන ඇති කඩුලු ගණන 42 කි.හොඳම පන්දු යැවීම කඩුලු 6 ක් ලකුණු 45 ක් තුළ දවා ගැනීම ය. එක්දින පිටියේ තරග 17 ක දී කඩුලු 30 ක් දවා ගෙන ඇති ඔහු, විස්සයි විස්ස තරග 12 ක දී කඩුලු 14 ක් ද බිඳ හෙළා ඇත.

කලක් එංගලන්ත පිලේ සිටි තුන් ඉරියව්වෙන්ම දස්කම් දැක්වූ ක්‍රිස් ලුවිස් ගයනාහි උපත ලැබූ ක්‍රීඩකයෙකි. ඒ 1968 දි ය. වේග පන්දු යවන්නකු මෙන්ම වේගයෙන් පන්දුවට පහර දෙන පිතිකරුවකු වූ ලුවිස් එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 32 ක දී ලකුණු 1105 ක් රැස් කර ඇති අතර, ඔහු දවා ගෙන ඇති කඩුලු ගණන 93 කි. එක්දින තරග 53 ක දී ලබා ගෙන තිබූ කඩුලු ගණන 66 කි. ඔහු එංගලන්තය නියෝජනය කළේ 1990 සිට 1998 දක්වාය.

1966 ඩොමිනිකාහි උපත ලැබූ පිලිප් ඩි. ෆ්රෙයිටාස් 1986 සිට 1997 දක්වා එංගලන්ත පිල නියෝජනය කළේ තුන් ඉරියව් දස්කම් දක්වන්නකු ලෙසිනි. ලෝ පතළ තුන් ඉරියව් ක්‍රීඩක ඉයන් බොතම් ද එකල එංගලන්ත පිල නියෝජනය කිරීම මත එංගලන්ත පිල වඩාත් ශක්තිමත් කණ්ඩායමක් විය.1987,1992,1996 ලෝක කුසලාන තරගමාලා තුනම නියෝජනය කළ ඔහු ටෙස්ට් තරග 44 කට සහභාගි වී කඩුලු 140 ක් දවාලූ අතර එක්දින තරග 103 ක දී කඩුලු 115 ක් ද දවා ගැනීමට සමත් ව ඇත.

ජැමෙයිකාවෙන් බිහි වූ ඩෙවොන් මැල්කම් ඔහුගේ යුගයේ දී පිතිකරුවනට තර්ජනයක් වූ වේග පන්දු යවන්නෙකි.. 1994 වසරේ එංගලන්තයේ ඕවල් හි දී දකුණු අප්‍රිකාවට එරෙහිව එකම ඉනිමක කඩුලු නවයක් දවා ගනිමින් ( 57/09 ) ලෙස ඔහු ටෙස්ට් ඉනිමක සුපිරි පන්දු යැවීමක් වාර්තා කළේය.

එංගලන්ත වේග පන්දු බල ඇණිය නියෝජනය කළ කළු හමක් සහිත නෝමන් කොවන්ස් කොදෙව් දූපත්වලට අයත් ජැමෙයිකාව තම නිජබිම කර ගත්තෙකි. වයස අවුරුදු 11 දී එංගලන්තයට පැමිණි ඔහු 1982-83 ඔස්ට්‍රේලියාවේදී ටෙස්ට් හා එක්දින තරග වරම් දිනා ගත්තේ ය.

නෝමන් ටෙස්ට් තරගයක එංගලන්තය නියෝජනය කළ 500 වැනි ක්‍රීඩකයා ය. බොබ් වීලිස්, ඉයන් බෝතම් දෙදෙනා සමඟ වේග පන්දුවෙන් මෙල්බර්න් හි දී ප්‍රබල ඔස්ට්‍රේලියානුවන් පරදවා එම සංචාරයේ දී ලැබූ ටෙස්ට් තරග ජයග්‍රහණයට ඔහු දායක වූවේ දෙවැනි ඉනිමේ 77/06 ලෙස කඩුලු දවාලමිනි.

ඉහත ක්‍රීඩකයන් හට අමතරව බටහිර ඉන්දීය කොදෙව් දූපත් රාජ්‍යයන්හි උපත ලැබූ මොන්ටි ලින්ච්, ජෝර්ජ් හැරිස්, පේලම්වෝර්නර්, විල්ෆ් ස්ලැක්, නිල් විලියම්ස්, ජෝයි බෙන්ජමින් යන ක්‍රීඩකයන්ද ජගත් පිටියේ එංගලන්තය නියෝජනය කර තිබේ.

අනිල් වීරසිංහ

Comments