අමෙරිකාව කැළඹූ වර්ණ භේදයෙන් රත්ව ගිනි ගත් බොක්සිං සටනට 110 යි | සිළුමිණ

අමෙරිකාව කැළඹූ වර්ණ භේදයෙන් රත්ව ගිනි ගත් බොක්සිං සටනට 110 යි

 

අද දිනයට අදාළ ව අන්තර්ජාතික ක්‍රීඩා පිටිය ආශ්‍රිතව සටහන් ව ඇති විශේෂ සිදුවීම් සොයා යෑමේ දී සියවසේ සටනට හිමි වන්නේ අද්විතීය ස්ථානයකි.

බොක්සිං වළල්ලෙන් හමුවන මේ පුවත ලෝකයම කළඹනු ලැබුවේ 1910 වසරේ ජූලි 04 වැනිදාය. එදින එවකට ලෝක හෙවිවේට් බොක්සිං ශූරයා ලෙස කිරුළ හිමි කර ගෙන සිටි අමෙරිකා - අප්‍රිකා සම්භවයක් ඇති කළු ජාතික ජැක් ජොන්සන් සමඟ වූ සටනට නොවාඩාහි රෙනෝ ක්‍රීඩාගාරයේ බොක්සිං වළල්ලට ගොඩ වි තිබුණේ සුදු ජාතික හිටපු හෙවිවේට් බොක්සිං ශූරයකු වූ ජේම්ස් ජෙක්රිය.

මේ වකවානුව අමෙරිකාව තුළ සුදු කළු වර්ණ භේද වාදය තදින්ම සමාජ ගතව තිබූ බැවින් එකල සුදු ජාතික හා කළු ජාතික වශයෙන් වෙන වෙනම හෙවිවේට් ශූරතා පිරිනැමීමේ සිරිතක් ද විණි. නමුත් ලෝක හෙවිවේට් බොක්සිං කිරුළ දිනා ගැනීමට නම් වර්ණ භේදය නොසලකා තරග වැදීම අනිවාර්යෙන්ම කළ යුත්තක් විය.

ජේම්ස් ජෙෆ්රි එකල ජව සම්පන්න ප්‍රබල ක්‍රීඩකයකු ලෙස ප්‍රකට ව සිටියේ ය. වමත හුරු ඔහු බොහෝ විට එම අතින් එල්ල කරනු ලබන හුක් පහරින් සිය ප්‍රතිවාදියා බිම හෙළන්නට සමත් බව ප්‍රකට රහසක් විණි.

හෙවිවේට් තරග 24 කට සහභාගී වී ඇති ඔහු තරග 19 ක් ම ජය ගෙන තිබූ අතර, ඉන් 16 ක ජය ලබා තිබුණේ අතර මඟ දී තරගය නවතා දමිමිනි. එහි දී ඔහු පරාජය වී ඇත්තේ එක තරගයක් පමණි.

බොක්සිං වළල්ලෙන් ඔහු සමුගත්තේ 1905 වසරේදී ය. ඒ වන විට ඔහුගෙන් පහර කන ලද ජිමී කොබට් ගස් රුහින් හා ටොමී සාකි යන ප්‍රබල ක්‍රීඩකයන්ගේ ඉල ඇට පවා බිඳී තිබුණු බව සුප්‍රකට ය.

මේ අතර 1908 වසරේ කැනඩා ජාතික හෙවිවේට් බොක්සිං ශූර ටොමී බර්න්ස් පරාජය කොට පළමු වරට හෙවිවේට් කිරුළට හිමිකම් කීමට අමෙරිකානු කළු ජාතික ක්‍රීඩක ජැක් ජොන්සන් සමත් ව සිටි අතර, ටොමී බර්න්ස්ගේ එම පරාජය ද ඔහු කළු ජාතික ක්‍රීඩකයකු අතින් ලද පළමු පරාජය ලෙස ඉතිහාසයට එක්ව තිබුණි.

බොක්සිං තරග 98කට සහභාගී වී ප්‍රතිවාදියා බිම හෙළා අත් කර ගත් ජයග්‍රහණ 38 ක් ද සහිතව ජැක් ලබා ගෙන තිබූ ජයග්‍රහණ සංඛ්‍යාව 72 කි.

ඔහු ඇමෙරිකානුවකු වුවත් කළු ජාතිකයෙකු වීම නිසා එරට බහුතරය වූ සුදු ජාතිකයන්ට එකී ජයග්‍රහණ එතරම් වැදගත් වූයේ නැත. ඔවුනට අවශ්‍ය වී තිබුණේ සුදු ජාතික ක්‍රීඩකයකු ලවා ජැක් පරදවා හෙවිවේට් බොක්සිං කිරුළ තම වර්ගයා අතට පත් කර ගැනීම ය.

එහෙත් එකල ඒ සඳහා සුදුසු ක්‍රීඩකයකු සොයා ගැනීම ඔවුනට පහසු කටයුත්තක් නොවී ය. මේ නිසා ඒ සඳහා වෙහෙසුන සුදු ජාතිකයන්ට සිදුව තිබුණේ විශ්‍රාම ගොස් සිටි ජේම්ස් ජෙෆරි වෙත නැවත හැරෙන්නට ය.

ඔවුන් මාධ්‍යයන් ඔස්සේ වර්ණ භේදය කුළු ගන්වා කළු ජාතිකයන් කෙරෙහි වෛරයෙන් පසුවන ජේම්ස් ජෙෆ්රි, ජැක් ජොන්සන් සමඟ සටනට පොලඹවා ගන්නට සමත්ව තිබුණේ ය.

නමුත් සටනව සති කිහිපයකට පෙර ජෙෆ්රිගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කළ ඔහුගේ වෛද්‍යවරයාගේ නිගමනය වී තිබුණේ ජැක් ජොන්සන් සමඟ සටනකට තරම් සුදුසු තත්ත්වයක ශාරීරික යෝග්‍යතාවක් ඔහු තුළ නොතිබෙන බවයි.

එහෙත් සුදු ජාතිකයකු වීමේ අභිමානයෙන් මුසපත්ව සිටි ජෙෆ්රි, ‘මම ජීවත්ව සිටින තුරු කළු ජාතිකයන්ට බලය පෙන්වීමට ඉඩ නොදෙමි.’ යැයි වහසි බස් දොඩමින් 1910 ජූලි 04 වැනි දා එම ඉතිහාසගත සටනට මුහුණදීමට බොක්සිං වළල්ලට ගොඩ වී තිබුණේ ය.

එම සටනේ 12 වැනි වටය තෙක්ම පැවැතියේ සාමාන්‍ය තත්ත්වයකි. නමුත් 13 වැනි වටයේ සිට ජේම්ස් ජෙෆ්රිට සිදු වූයේ ජැක් ජොන්සන් ගෙන් පහර පිට පහර කෑමට ය. ඔහු කිහිප විටක්ම බොක්සිං වළල්ල මත ඇද වැටුණු අතර, ඒ හැම අවස්ථාවකම නියමිත කාලය අවසන් වීමට පෙර නැවත සටනට එක්වුණේ ය.

නැවත 15 වැනි වටයේ දී පහර පිට පහර කෑ ජේම්ස් ජෙෆ්රි බිම ඇද වැටුණු අතර එවර ද ඔහු වහා නැඟී සිටියේ ය. එහෙත් තවදුරටත් තගරය පැවැතුණහොත් ජෙෆ්රිට අත්වන්නේ නින්දා සහගත පරාජයක් බව වටහා ගත් ඔහුගේ පුහුණුකරු තරගය නවතා දැමීමට සංඥා කර තිබුණි.

මෙම තරගය නිමාවත් සමඟ රට පුරා තැනින් තැන සුදු කළු වර්ණ භේදවාදී සටන් පවා ඇවිළී ගිය බව ද වාර්තා විය.

 

සීවලී එදිරිවීර

Comments