අන්තෝ ජටා බහිජටා හා ක්‍රිකට් අර්බූදය | සිළුමිණ

අන්තෝ ජටා බහිජටා හා ක්‍රිකට් අර්බූදය

 

නීතිය ප්‍රසිද්ධියේ ක්‍රියාවට නංවන්නේ නීතිය සතු ආධිපත්‍යය සමාජයට ප්‍රදර්ශනය කිරීමට ය. එමගින් සමස්ත සමාජයටම නීතියක් පවතින බවත් ඊට අනුගතව කටයුතු නොකරන්නේ නම් දඬුවම් විඳීමට සිදුවන බවත් ඒත්තු ගැන්වේ.

රටක පොදු නීතියට පරිබාහිරව නීතියේ අනුශාංගික යටතටම ගැනිය හැකි මෙන්ම මූලික නීතිය හා නොගැටෙන සංස්ථාපිත නීති මාලා ද වේ. යම් පුද්ගල සමූහයක්, කණ්ඩායමක් සංස්ථාපිත වන්නේ මේ ආකාරයේ නීති සමුදායකට අනුකූළව කටයුතු කිරීමට ගිවිස ගනිමිනි. එහෙයින් යම් ආයතනයකට අනුබද්ධව කටයුතු කරන්නකු හෝ කරන්නන් අදාළ ආයතන සකස් කරන ලද විනය නීති මාලාවට අනුගත විය යුතුය. ඒ අනුව එකී විනය නීති උල්ලංඝණය වුවහොත් ඊට දඬුවම් පැමිණවීමේ බලය එකී ආයතනය සතුය.

දැන් ශ්‍රී ලංකා ක්‍රිකට් එවැනි උභතෝකෝටික ගැටලුවකට මුහුණ දී තිබේ. ඒ ආයතනයේ විනය නීති මාලා මෙන්ම රටේ පොදු නීතියද උල්ලංඝණය කළ බවට තම ක්‍රීඩකයන් තිදෙනෙකුට චෝදනා එල්ලවීමත් සමඟිනි. රුපියල් මිලියන හැත්තෑවකට ආසන්න මුදලක් වැය කරමින් විශේෂ ජීව බුබුළු යාන්ත්‍රණයක් යටතේ, ක්‍රීඩකයන් වෙනුවෙන් වෙන්කළ ආරක්ෂිත ගුවන් යානයක පහසුකම් සලසා ගනිමින් එංගලන්තයට පිටත් කර යැවූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනකු එකී ජීව බුබුළ බිඳදැමීම ඊට ඉවහල්ව තිබේ.

අදාළ සිදුවීම මේ වනවිට මහා ජන කැළඹීමක් බවට පත්ව ඇත. එහෙයින් මෙම ක්‍රීඩකයන් තිදෙනාට උපරිම දඬුවම් පමුණවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විවිධ සාමාජිකයෝ තැන තැන වහසි බස් දොඩමින් සිටිති.

අදාළ විනය විරෝධී හැසිරීම සිදුකළ බව කියන ක්‍රීඩකයන් තිදෙනා දින දහ හතරක නිරෝධායන කාලයකින් අනතුරුව විනය පරීක්ෂණයකට මුහුණ දීමට නියමිතව ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් දැනටමත් නිවේදනය කර ඇත. ඉන් අනතුරුව ඔවුන් සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ගයන් ලබා ගන්නා බවත් මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රකාශ කර තිබේ. එයින් හැඟෙන්නේ මෙම ක්‍රීඩකයන් තිදෙනාගේ පමණක් හිස ගසා දමා සියලු වස් දොස් තවත් කාලයකට සමනය කරගන්නට ක්‍රිකට් බලධාරීන් සූදානමින් සිටින බව ය.

එහෙත් විය යුත්තේ එකී ක්‍රීඩකයන් තිදෙනාට පමණක් දඬුවම් පැමිණවීම නොවේ. ඔවුනට ලබාදිය යුතු දඬුවම් මොනවාද යන්න ගැන දැන් අප කියන්නට යන්නේ ද නැත. එහෙත් එකී පරීක්ෂණය සිදුකිරීමේ දී මූලික වශයෙන් සංතෘප්ත කළ යුතු කාරණා කීපයක් පිළිබඳ පමණක් සිහිපත් කරන්නට කැමතිය.

මෙහි දී අප ජාතියක් වශයෙන් ශිෂ්ට බවට පත්කළේ යැයි පිළිගැනෙන මිහිඳු මාහිමියන් මිස්සක පව්ව මත සිටිමින් දේවානම්පියතිස්ස රජතුමාගෙන් ඇසූ පළමු ප්‍රශ්නය මෙහිදී අප ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමෙන් විමසිය යුතුව ඇත. ඒ මෙම ක්‍රීඩකයන් තිදෙනාට අමතරව ජීව බුබුළු යාන්ත්‍රණය බිඳ දමා ලන්ඩනයේ රස්තියාදු ගැසූ තවත් ක්‍රීඩකයන් සිටින්නේ ද යන්න ය. එය එසේ නම් මෙම ක්‍රීඩකයන් තිදෙනා පමණක් දඬු කඳේ ගසා දැඩි දඬුවමට ලක්කිරීම එක්තරා ආකාරයකට මුව හමට තඩි බෑමක් ය. එසේත් නැතහොත් ගමරාළගේ වංගෙඩිය බැඳ දැමීමකට සමාන ය.

එය සැබැවින්ම මෙම ක්‍රීඩකයන් තිදෙනා විෂයේ පමණක් බිඳ වැටුණු සංසිද්ධියක් ද යන්න සොයා බැලීම අතිශය වැදගත්ය. ඊට ක්‍රීඩකයන් නැවතී ගත් හෝටලයේ විද්යුත් සාක්ෂි විමර්ශනය කරන්නට පිළිවන. එය සිදුකිරීමේදී අදාළ හෝටල් පරිශ්‍රයේ පිටවන දොරටු ආශ්‍රිතව ඇති සියලු සී.සී.ටී.වී. දර්ශන භාවිතයට ගත හැකිය.

දෙවැන්න මෙම විනය පරීක්ෂණය සිදුකරන්නට පත්කරන්නා වූ කමිටුව සම්බන්ධව ය. ඔවුන් අපක්ෂපාතී හා නිසි නෛතික පසුබිමක් සහිත හා කිසිදු වරදානයකට යට නොවෙන නිසි පෞරුෂයක් සහිත නිලධාරීන් විය යුතු ය.

තෙවැන්න එංගලන්ත සංචාරයේ දී කණ්ඩායම සමඟ එරට බලා ගිය එක් එක් නිලධාරීන් තමන්ගේ වගකීම් ප්‍රමාණවත් ලෙස ඉටුකළේද යන්න සම්බන්ධයෙන් අපක්ෂපාතී විමර්ශනයක් සිදුකිරීම ය. සිව්වැන්න ක්‍රීඩකයන් පහළොස් දෙනෙකුගේ කණ්ඩායමක් සමඟ එක් කළමනාකරුවකු පිටත් කර හරින්නාක් මෙන්ම මෙවර සංචාරයට ඊට වඩා ක්‍රීඩකයන් එක්ව සිටි හෙයින් සහය කළමනාකරුවකු නොයැවීමට ගත් තීන්දුව පිළිබඳ සොයා බැලීමය. අප එසේ කියන්නේ සියලු ක්‍රීඩකයන් තමන්ගේ කාමරයේ සිටින්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් හෝටලයේ පහළ මාලයට වී පෑ විසිහතරම බලා සිටීමට කළමනාකරුවාට නොහැකි හෙයිනි.

අනෙක් කාරණය වනුයේ රටකින් රටකට ජීව බුබුළු තාක්ෂණය යටතේ ගිය කණ්ඩායමක ක්‍රීඩකයන් එම ජීව බුබුළ බිඳ රිසිසේ හැසිරීමට ඉඩ අවකාශ සපුරා ගත්තේ කාගේ අඩුපාඩුවකින් ද යන්න සොයා බැලීම ය. එය රාජතාන්ත්‍රික කටයුත්තක් දක්වා පුළුල් විය හැකි ය.

මේ වනවිට අදාළ ක්‍රීඩකයන් තිදෙනා මුහුණ දෙන විනය පරීක්ෂණයේ දී ඔවුහු වරදකරුවන් බවට සනාථ වුවහොත් ලබාදෙන දඬුවම් වල ස්වභාවය ගැන දැනටමත් පුළුල් සංවාදයක් ගොඩනැගෙමින් ඇත. අප කියන්නේ එවැනි දඬුවමක් සමස්ත ක්‍රිකට් සමාජයට ම දැනෙන ආකාරයේ එකක් වීම වැදගත් බවයි.

එසේම එම ලබාදෙන දඬුවම ජාත්‍යන්තර වශයෙන් පවත්වන කිසිදු ක්‍රිකට් තරගයකට සහභාගිවීමේ අවස්ථාව අහිමිකරමින් පැනවීමද වැදගත් ය. එසේ නොවන්නේ නම් රටේ ක්‍රිකට් ක්‍රීඩා නොකළ ද ජාත්‍යන්තර වශයෙන් පැවැත්වෙන ‘කුලී ක්‍රිකට් තරගවලට’ සහභාගිවී තම මූල්‍ය අවශ්‍යතාව සපුරා ගැනීමට එම ක්‍රීඩකයන්ට හැකියාව ඇත.

අනෙක් ප්‍රධාන කාරණාව වනුයේ වසංගත රෝග නිවාරණය පිණිස රට තුළ සම්මත කරගෙන ඇති නීති රීති බිඳීමට මෙම ක්‍රීඩකයින් කටයුතු කර ඇත්ද යන්න විමසා බැලීම ය. එය පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර කොවිඩ් වයිරසය ශරීරගතව නැතැයි පවසා නොසලකා හරින්නට හැකි තත්ත්වයක් නොවේ.

නිරෝධායන නීති ප්‍රකාරව දින දහ හතරක කාලයක් එම ක්‍රීඩකයන්ගේ වියදමින් තරු තුනේ හෝටලයක නතර කර නිරෝධායනය කිරීමද ඊට ලබාදෙන දඬුවමක් නොවන්නේ ය. ගෝලීය වශයෙන් ව්‍යාප්ත වසංගත තත්ත්වයකින් ලෝකයම පීඩා විඳිමින් සිටින මොහොතක රටක ආරක්ෂාව තහවුරු කිරීම පිණිස විශේෂයෙන් බලාත්මක කර ඇති සෞඛ්‍ය නීති බිඳ දැමීමට යමෙක් හෝ යම් කණ්ඩායමක් කටයුතු කරන්නේ නම් ඔවුනට පොදු නීතිය යටතේ විශේෂ දඬුවම් පැමිණවිය යුතු ය.

එසේම සංචාරය පිණිස වැයවූ සමස්ත මුදලින් සියයට පනහකට අධික ප්‍රමාණයක් චෝදනා ලාභී ක්‍රීඩකයන්ගේ පෞද්ගලික මුදලින් අයකරගැනීමට තීරණය කරන්නේ නම් එයද අනගිය.

අනෙක් අතට මෙය සර්ව සාධාරණව සිදුකිරීමට නම් ක්‍රීඩකයන්ගේ ඇසේ ඇති පොල් කෙන්ද දැකීමට හැකියාවක් ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් සතුවිය යුතු ය. එනයින් බලන කල මෙම සියලු අර්බූද අන්තෝ ජටා බහිජටා මට්ටමේ පවතින බව පැහැදිලිව පෙනෙන්නට ඇත.

Comments