ස්වීඩන් අගමැති විශ්වාසභංගයෙන් පරදියි | සිළුමිණ

ස්වීඩන් අගමැති විශ්වාසභංගයෙන් පරදියි

2014 සිට ස්වීඩනය පාලනය කළ අගමැති ස්ටෙෆාන් ලොෆ්වෙන් පසුගියදා එරට පාර්ලිමේන්තුවේ දී පැවැත්වුණු විශ්වාසභංග යෝජනාවෙන් පරාජයට පත් වූයේය. ඒ අනුව ඔහුට සහ ඔහුගේ ඇමති මණ්ඩලයට ඉල්ලා අස් වීමට සිදුවූ අතර ඉදිරියේදී නව ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු සිදුකිරීමට නියමිතය.

පරාජයට පත් අගමැතිවරයා පත්වූයේ ස්වීඩන සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙනි. ස්වීඩනයේ මේ දේශපාලන වියවුල ආරම්භ වූයේ 2018 වසරේදී පැවැත්වුණු මැතිවරණයෙන් පසුවය.

නියමිත පරිදි 2018 වසරේදී පැවැත්වුණු මැතිවරණයෙන් පසු ආණ්ඩුවක් පිහිටුවීමේදී නොයෙක් අර්බුද මතුවූ අතර ස්ටෙෆාන් ලොෆ්වෙන් කෙසේ හෝ ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කළේය. කෙසේ වුවද එය සුළුතර ආණ්ඩුවක් වූ අතර එය පැවතියේ කුඩා වමේ පක්ෂයක ආධාරයෙනි. අගමැතිවරයා වෙත එල්ල කෙරුණු විශ්වාසභංග යෝජනාවෙන් ඔහු පරාජයට පත් වන්නේ එවන් වූ පසුබිමකය.

අගමැතිවරයා වෙත විශ්වාසභංගය ගෙන එනු ලැබුවේ ජාතික ස්වීඩන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය විසිනි. එම පක්ෂය ඔහු වෙත එල්ල කළ චෝදනාව වූයේ නව ඉදිකිරීම් කටයුතුවලදී සිදුකරන ලද අක්‍රමිකතා සම්බන්ධයෙනි.

ස්වීඩන නීතිය අනුව නව ඉදිකිරීමවලදී නියමිත නීති අනුගමනය කළ යුතු වන අතර එසේ නොකිරීම වැඩි දෝෂදර්ශනයට ලක්විය හැකි කරුණකි. මෙහිදී අගමැතිවරයාට සහය දුන් වමේ පක්ෂයද පවසා ඇත්තේ ඉදිකිරීම් සමබ්න්ධව නියමිත නීති අනුගමනය නොකිරීම හේතුවෙන් අගමැතිවරයාට සහය පළ කිරීමට තමන්ට නොහැකි බවයි.

කෙසේ වුවද මේ සිදුවීම හේතුවෙන් ඉදිකිරීම් ක්ෂේත්‍ර යේ භාණ්ඩ මිලෙහිද යම් වෙනස්කම් ඇතිවීමට ඉඩ ඇතැයි වාමාංශික පක්ෂ බිය පළ කර තිබේ.

තමන් වෙත එල්ල වූ විශ්වාසභංගය ජයගැනීමට අපොහොසත් වූ නිසා එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව අදාළ කාලය තුළ නව ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කිරීමට සිදුවනු ඇත.

කෙසේ වුවද 2018 වසරේදී ලොෆ්වෙන් ඔහුගේ ආණ්ඩුව පිහිටවූ අවස්ථාවේ සිටම එය ඉක්මනින් බිඳ වැටෙණු ඇති බවට අනාවැකි පළ වූ අතර වරක් විචාරකයන් දක්වා සිටියේ ලොෆ්වෙන්ගේ නව ආණ්ඩුවේ ආයුෂ මාස හතරකට සීමා වනු ඇති බවයි .

එම අනාවැකි බොරු කරමින් වසර දෙකකටත් වඩා පාලනය ගෙන යෑමට ලොෆ්වෙන් සමත් වූ නමුත් ඔහු ඉතිහාසගත වනු ඇත්තේ විශ්වාසභංගයකින් පරාජයට පත් වූ ප්‍රථම ස්වීඩන අගමැතිවරයා වශයෙනි.

Comments