වොලිබෝලයට මේජර් ජෙනරාල් කෙනෙකුගේ ආරක්ෂාව | සිළුමිණ

වොලිබෝලයට මේජර් ජෙනරාල් කෙනෙකුගේ ආරක්ෂාව

 

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ උප සභාපති සහ යුද්ධ හමුදා වොලිබෝල් කමිටුවේ සභාපති මහේෂ් අබේරත්න මහතා පසුගියදා මේජර් ජෙනරාල් නිලයට උසස්වීම් ලැබී ය. ඔහුට නිල ලාංඡන පැළඳවීම යුද්ධ හමුදා මුලස්ථානයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් පසුගියදා සිදු කෙරිණි.

සන්නද්ධ හමුදා සේනාධිනායක ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් විසින් ආරක්‍ෂක අමාත්‍යාංශයේ සහ යුද්ධ හමුදාධිපතිතුමන්ගේ නිර්දේශය මත පසුගියදා ඔහු මෙලෙස මෙම නිලයට උසස්වීම් සිදුකරනු ලැබීය.

ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර ආඥාපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ කර්නල් සේනාවිධායක තනතුරු හොබවන මේජර් ජෙනරල් මහේෂ් අබේරත්න ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරීයෙකු වේ.

මේජර් ජෙනරල් මහේෂ් අබේරත්න, මේජර් ජෙනරල් නිලයට උසස්වීම සංකේතවත් කරමින් අසිපත ප්‍රදානය කළ යුද්ධ හමුදාධිපතිතුමන්, ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර ආඥාපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ කර්නල් සේනාවිධායක තනතුරු සඳහා වු පත්වීම් ලිපි ද මෙහිදී නවතමයෙන් උසස්වීම් ලැබු මේජර් ජෙනරල් මහේෂ් අබේරත්න වෙත පිරිනැමීය.

මානුෂීය මෙහෙයුමටද සිය දායකත්වය දැක්වූ මේජර් ජෙනරල් මහේෂ් අබේරත්න, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ උසස් තනතුරු රැසක් හොබවා ඇති අතර, ගෞරව නාමයන් කිහිපයක් ද හිමිකර ගෙන ඇත.

දක්ෂ වොලිබෝල් සහ මලල ක්‍රීඩයකු වූ මේජර් ජෙනරල් මහේෂ් අබේරත්න මහතා ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සහ ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ දිගු කලක් පුරා විවිධ තනතුරු රැසක් හෙබවූ අතර වෙන්නප්පුව ශාන්ත ජෝශප් වාස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.

ඉෂානි යද්දෙහි

Comments