
'වර්ගවාදය සම්බන්ධයෙන් බොහෝ ගැටුම් ලෝක ඉතිහාසය තුළ මතුව විත් තිබේ. සුප්‍රකට කළු ජාතික ක්‍රීඩකයන් මැදි වූ එවැනි කුප්‍රකට වර්ගවාදී සිදුවීම් බොහොමයක් ලෝක ක්‍රීඩා ඉතිහාසයෙන් සොයාගත හැකි ය. පසුගියදා එංගලන්ත ක්‍රිකට් ආයතනය විසින් වර්ගවාදී ප්‍රකාශ සිදු කළ ක්‍රීඩකයකුට තරග තහනමක් පැනවීමට ද කටයුතු කළේ ය. එම සිදුවීම නිසා ඉතිහාසයේ ක්‍රිකට් ක්‍රීඩාව තහනම් කිරීමට ඉවහල් වූ වර්ගවාදයේ කනගාටුදායක බව ප්‍රකට කළ සිදුවීමක් සම්බන්ධ පුවතක් මතකයට පැමිණීම අමතක කළ නොහැකි ය. මේ ඒ සම්බන්ධයෙන් තැබෙන සටහනකි.'
ඒ 1969 වසරයි. ටෙස්ට් තරග සංචාරයක් සඳහා එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම දකුණු අප්‍රිකාව බලා යෑමට නියමිත ව තිබුණේ එම වසරේ ය. ඒ වෙනුවෙන් එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය සැලසුම් සකස් කළ අතර තේරීම් කමිටුව විසින් ක්‍රීඩකයන් 17 දෙනෙකු එම සංචාරය වෙනුවෙන් පිටත්ව යන එංගලන්ත ජාතික ක්‍රිකට් කණ්ඩායමට ඇතුළත් කර තිබුණේ ය.
කොලින් කවුඩ්‍රිගේ නායකත්වයෙන් යුත් එම කණ්ඩායමට ටොම් ග්‍රැවනි, ජෙෆ්රි බෝයිකොට්, ජෝන් එඩ්රිච්, බැසිල් ඩි ඔලිවේරි, කෙන් බැරිටෙන්, ජිම් පාක්ස්, ජෝන් ස්නෝ වැනි ප්‍රකට ක්‍රීඩකයෝ ඇතුළත්ව උන්හ.එම කණ්ඩායම නියෝජනය කළ බැසිල් ඩී ඔලිවේරා දකුණු අප්‍රිකාවේ ඉපිද එංගලන්තයට පැමිණ එරට ජාතික කණ්ඩායමට එක්වීමට වරම් ලැබූ සුදු කළු සම්භවයක් සහිත ක්‍රීඩකයකු විය. එංගලන්ත කණ්ඩායමට ඔලිවේරාව ඇතුළත් කිරීම ගැන තමන් විරෝධය පළ කරන බැව් පැවැසූ දකුණු අප්‍රිකානු ක්‍රිකට් පාලක මණ්ඩලය ඒ වෙනුවට වෙනත් ක්‍රීඩකයකු ඇතුළත් කරන ලෙසට එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලයට දැන්වීය.
ඊට විරෝධය පළ කළ එංගලන්ත පාලක මණ්ඩලය තම කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයකු වන ඔලිවේරාව ඉවත් නොකරන බවට ප්‍රකාශ කළෙන් අර්බුදකාරී තත්ත්වයක් මතු විය. ජාත්‍යන්තර ක්‍රිකට් සමුළුව දකුණු අප්‍රිකානු ක්‍රිකට් පාලක මණ්ඩලයට දැනුම් දුන්නේ එංගලන්තය නම් කළ කණ්ඩායම පිළිගෙන සංචාරය පවත්වා ගෙන යන ලෙසයි. දකුණු අප්‍රිකානු පාලක මණ්ඩලය එකී යෝජනාවට කිසිසේත්ම එකඟතාවය පළ කළේ නැත. එහි අවසන් ප්‍රතිඵලය වූයේ ඔවුන්ට එරෙහිව තරග තහනමක් පැනවීමය.
අවසානයේ දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට අඳුරු යුගයක් උදා කරමින් සමස්ත තරග තහනමක් පැනවීම සිදුවිණි. ඒ ඔවුන් අනුගමනය කළ සුදු කළු වර්ණබේද ප්‍රතිපත්තිය නිසා ය.
මෙම අර්බුදයට හේතු වූ බැසිල් ඩී ඔලිවේරා තුන් ඉරියව්වෙන්ම දස්කම් දැක් වූ ක්‍රීඩකයෙකි. ඔහු 1966-70 සමයේ ටෙස්ට් තරග 44 ක් වෙනුවෙන් එංගලන්තයට ක්‍රීඩා කළේය. ඉනිම් 70 ක දී ශතක 5 ක් ද ඇතුළත්ව රැස් කළ ලකුණු ගණන 2484 කි. (40.06) 1968 දී ඔස්ට්‍රේලියාවට එරෙහි ව ඕවල් පිටියේ දී රැස් කළ ලකුණු 158 ඹහුගේ ක්‍රිකට් දිවියේ හොඳම ඉනිමයි.










