
‘කැලණිය විශ්ව විද්‍යාලයේ, සමාජීය විද්‍යා පීඨයේ, ක්‍රීඩා විද්‍යා සහ ශාරීරික අධ්‍යාපන අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාරිණී අනෝමා රත්නායක සමඟ ටෝකියෝ ඔලිම්පික් උලෙළට සති කීපයක් ඉතිරිව තිබිය දී කළ සාකච්ඡාවක් ඇසුරෙන් සැකසෙන ලිපි මාලාවක පළමු වැන්නය මේ.’
උත්සාහය, අධිෂ්ඨානය, කැපවීම, දරා ගැනීම එකම මිනුමකින් මනින ලොව සුපතළ උත්සවයක් තිබේ. එය මානව ශිෂ්ටාචාරය විසින් සෑම වසර හතරකට වරක් ම සංවිධානය කරන්නේ මහත් උත්සවශ්‍රීයෙනි. එය හැඳින්වෙන්නේ ඔලිම්පික් කියා ය.
තරගයක තරග කරන්නේ දිනන්නට. මේ දිනන අය අතරත් තියෙන්නේ තරගයක්. ශක්තිමත් මනසින් සහ හැකියාවන්ගේ උපරිමයට ආ පිරිස අතරත් තරගයක් තිබෙන්නේ. මුළු ලොවක් බලන, කතා වන මේ තරගය එසේ මෙසේ එකක් නොවේ.
ක්‍රීඩාලෝලී බොහෝ දෙනාගේ ඒකායන අරමුණ වන්නේ ක්‍රීඩාවක සිටින අතිදක්‍ෂයින් අන්තර්ජාතික වශයෙන් ක්‍රීඩාවන් සඳහා තරග කරන දැවැන්ත තරගාවලිවල දී දකින්නයි. ඒ, එතුළින් නොමියන මතකයන් නිර්මාණය වන බව සමස්ත මානව සමාජයම දන්නා හෙයිනි. ඒ තරම්ම ඔලිම්පික් ක්‍රීඩා උලෙළ මානව සමාජයේ මුල් බැස ගෙන ඇත්තේ ආගමක් මෙනි.
ඒ වෙනුවෙන්ම මිනිස්සු කොපමණ කැප කිරීමක් කරනවා දැයි ඔලිම්පික් නරඹන ඔබ අප දන්නා කරුණක්. ඇත්තෙන්ම ඔලිම්පික් කියන්නේ සමාජමය වශයෙන් ලැබුණු ආශීර්වාදයක් ද? අප ඔලිම්පික් වැලඳගෙන තිබෙන්නේ කොයි ආකාරයට ද? ඔලිම්පික් අපට වටින්නේ කොහාම ද? සෑබෑවට ම වර්තමානයේ මිනිසුන් ඔලිම්පික් ක්‍රීඩාවට සාධාරණයක් ඉටු කරනවා ද? ලාංකිකයන් ලෙස ඔලිම්පික් සඳහා දායක වන්නේ කුමන ආකාරයෙන් ද? යන්න විමසා බැලීම කාලීන වැදගත්කමක්.
ඔලිමිපික් යන වචනය ඇසුන සෑම විටක ම එය ක්‍රීඩාව සඳහා වෙන් වූවක් ලෙසට සිතීම නිරායාසික තත්ත්වයක්. ඒ අන් කිසිවක් නිසා නොව, ලොව පුරා සිටින අතිදක්‍ෂයන් සෑම වසර හතරකට වරක් ම එකිනෙකා හා තරග වදින, ක්‍රීඩාවේ විශිෂ්ටයන් බවට පත්වීමට උත්සාහ ගන්නා, ක්‍රීඩාවේ මෞලි මංගල්‍යය යනුවෙන් හඳුන්වන ලොව ප්‍රධාන ක්‍රීඩා වේදිකාව එය වීම ය. ඔලිම්පික් ගැන තවත් විදිහකින් කියනවා නම් හරියට අතු පතර සෑම දිශාවකට ම විහිදා සිටින මහා වෘක්ෂයක් වගේ. ලොව ඔලිම්පික් සත්කාරකත්වය ගන්නා රටවල් තම රටවල බලය පෙන්වීමේ මාධ්‍යයක් ලෙස ඔලිම්පික් භාවිත කරනවා. තවත් විටක රටවල් සංවර්ධනය කර ගැනීමේ අරමුණින් ඔලිම්පික් භාවිත කරන්න පෙලඹෙනවා. විශේෂයෙන් තිරසර සංවර්ධනය උදෙසා ඉදිරියට ගෙන යන ව්‍යාපෘති සඳහා එක්සත් ජාතීන්ගේ නියෝජිත ආයතතන වගේම ජාත්‍යන්තර රාජ්‍ය හා රාජ්‍ය නොවන අයතන හා හවුල්කරුවන් විසින් අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව සමඟ සහයෝගයෙන් කටයුතු කරනවා.
ඔබ දන්නවා 2008 වසරේ චීනයේ බෙයිජිං නගරයේ පැවැති ඞඞෂඞ ඔලිම්පික් සමාරම්භක උත්සවයේ ගිනිකෙළි සංදර්ශන පැවැත්වීම වගේම, ඒ ඒ උලෙළවලදී සත්කාරකත්වය ගනු ලබන රටවල් විසින් තම රටේ සංස්කෘතිකාංග ලෝකයටම පෙන්වීමට ඔලිම්පික් හොඳම වේදිකාවක් කර ගන්නා බව. එමඟින් තම රටේ අනන්‍යතාවය ලෝකයට ඉදිරිපත් කරනවා. විශේෂයෙන්ම තරගාවලියේ මුල් පියවර වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් තමාගේ උපරිම දක්‍ෂතා පෙන්වීමට සූදානම් වන ප්‍රධාන අරමුණ බවට ඔලිම්පික් පත් කර ගන්නවා. අරමුණු රැසක්, එකම ඉලක්කයක් හඹා යෑම, මේ සියලු අරමුණු වෙනුවෙන් අවස්ථාව උදා කර දෙන ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව, සමස්ත ලොවක වෙසෙන සියලු ජනතාවට එකම වේදිකාවක සිට කටයුතු කිරීමේ මහඟු ගුණාංගයන් පුරුදු පුහුණු කරවනවා. ඒ සඳහා ක්‍රීඩා වේදිකාව නිර්මාණය කිරීමේ කටයුතුවල නිරත වන්නේ ඔවුනුයි.
ඔවුන්ගේ පාදම ශක්තිමත්. ඒ තරමට ඔලිම්පික් සංකල්පය ද ශක්තිමත්. මානව ගරුත්වය ආරක්ෂා කිරීම වගේම සාමකාමී සමාජයක් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මිනිසාගේ සංහිඳියා සංවර්ධනය සඳහා ක්‍රීඩාව ස්ථානගත කිරීම තමයි මෙතැන ප්‍රධානම පරමාර්ථය වන්නේ. ඒ අනුව ඔලිම්පික් උලෙළ මඟින් පුද්ගලයන් සහ සමාජයන් අතර ගෝලීය වශයෙන් අවියෝජනීය සම්බන්ධතාවක් ගොඩනඟන ආකාරය අපූරුයි.
දේව උපහාරයක් වූ ඔලිම්පික්
ඔලිම්පික් ක්‍රීඩාව ලොව අහඹු ලෙස පහළ වූවක් නොවේ. එය පහළ වූයේ සියුස් දෙවියන් වෙනුවෙන් ය යන්න පිළිගැනීම ය. ඒ බව පුරාවෘත්ත කතා මඟින් පෙන්වා දී තිබේ. මීට අමතරව විවිධ කතා පුවත් මඟින් ඔලිම්පික් ආරම්භය සනිටුහන් කර ඇති ආකාරය ගැන සඳහන් වෙනවා.
ග්‍රීක වැසියන් විසින් ඇතැන්ස් හි ආරම්භ කළ මෙය සැබැවින්ම පූජාවක්. නමුත් සුවඳ පැනින් නා, සළු පිළි ඇඳගෙන පූජාසනය මත තබා සිදුකරන පූජාවක් බවට එය ලඝු කරන්න බෑ. එය දෙවියන්ට කරන උපහාරයක්, ගෞරවයක් ලෙස දෙවියන් ඉදිරියේ කෙරෙන රංගනයක් වශයෙනුයි ලෝකයට පැමිණියේ. මිනිසුන් නිතැතින්ම මෙයට සම්බන්ධ වුණේ පූජාවක කොටස්කරුවන් ලෙසයි. හරියට එය අපේ පෙරහරකට සහභාගි වන නර්තන,බෙර ආදි කණ්ඩායම් වගේ.
ඉපැරැණි ඔලිම්පික් ඇරඹීම වටා දර්ශනයක් පමණක්ම නොව, ඒ වටා ගොඩනැඟුණ යහපත් වටිනාකම් රැසක් ද තිබෙනවා. ඒ වටිනාකම් ඔබ දන්නවා ද? සමහර විට ඔබ දන්නවා විය හැකියි. එහෙමත් නැත්නම් ඔබ නොදන්නවා වෙන්නත් පිළිවන්. එහෙත් ඒ දන්නා දේ වගේම නොදන්නා දේත් දැනගෙන ඒවා අප අවට ක්‍රියාත්මක වන්නේ කෙසේ දැයි හරියාකාරව අවබෝධ කර ගත යුතුයි.
දෙවියන් ඉදිරියේ සිදුකරන පූජාවන් යනු ඉමහත් ගෞරවයෙන්, භක්තියෙන් හා පිරිසිදුව ඉටු කරන දේය. පිරිසිදු දෙයක් සිදුකරන විට ඉන් හිමි වන ප්‍රතිඵලය විශිෂ්ට ය. සැබැවින්ම ඔලිම්පික් ක්‍රීඩා යනු ආශීර්වාදයකි. ඒ නිසයි අදටත් ක්‍රීඩා ඉසව්වක දී තරගය අවසන් වන තුරුම, ජයග්‍රහණය කරන තුරුම දස දහස් ගණන් නෙත්, මුළු හදවතින් ම ඔවුන්ට ආශිර්වාද කරන්නේ.
ශක්තිය ඇත්තේ එතැන ය. ඒ ශක්තියට ඒ මොහොතේ හැකි වෙනවා තරගය නරඹන දහස් සංඛ්‍යාත ප්‍රේක්ෂකයන්ගේ හදවත්වල ඔලිම්පික් දර්ශනය බිහි කරන්නට. 1964 දී ජපානයේ ටෝකියෝ නුවර පැවැති දහ අට වැනි ගිම්හාන ඔලිම්පික් උලෙළට සහභාගී වූ රණතුංග කරුණානන්ද මීටර් 10,000 ධාවන තරගය අවසන් නොකර අත් හැරියේ නැත. මුල දී දස සහස් සංඛ්‍යාත ප්‍රේක්ෂකයන්ගේ උසුළු විසුළුවලට ලක් වූව ද අවසාන වටයේ දී මුළු ප්‍රේක්ෂකාගාරයම ඔහු වෙනුවෙන් අත්පොලසන් දුන්හ. අවශ්‍ය වන්නේ තරගයෙන් ජය ගැනීම ම නොවේ. සැබෑ ඔලිම්පික් පණිවිඩය තුළ ගැබ්ව ඇත්තේ එය ය.
එහි නියැළෙන්නන් තුළ ගොඩනැඟෙන්නේ පිරිසිදු හදවත් ය. හරියට විකසිත හදවත් කුසුම් දරාගෙන දෙවියන් ඉදිරියේ කරන වන්දනාවක දී සිතේ ඇතිවන ප්‍රීතිය හා සමරූපී වූවකි.
මිනිසුන්ගේ හදවත් තුළ රිද්මය, ඉවසීම, දරා ගැනීම ඉතා අපූරුවට ඒ මොහොතේ ඉපදෙනු දැකිය හැකි ය. එය අපූරු ය. මුළු ලොව ම ඒ ඔලිම්පික් ආශිර්වාදය විඳිය යුතුයි.
තවත් කොටසක් ලබන සතියේ
 









