නිර්දේශපාලනයේ ලොව උසම තැන සිට දේශපාලනය ගැන කතාකළ අමෙරිකානුවෝ | සිළුමිණ

නිර්දේශපාලනයේ ලොව උසම තැන සිට දේශපාලනය ගැන කතාකළ අමෙරිකානුවෝ

 

'ක්‍රීඩාව නිර්දේශපාලනිකය. ක්‍රීඩාව හා දේශපාලනය අතර සෘජු ස්පර්ශ වීමක් නොමැති ය. දේශපාලකයන් ඇති කරන බලපෑම ක්‍රීඩා භූමිය තුළ වලංගු නැත. ගෝලීය දේශපාලනයේ බලවන්තයන් වුව ද ක්‍රීඩාවේ පාලන අධිකාරීන් ඉදිරියේ දණ නවන්නට සිදුවන්නේ මෙම නිර්දේශපාලනික භාවය සහ ගෝලීය ආකර්ෂණය හේතුවෙනි. සැබැවින්ම කියන්නේ නම් ලොව ප්‍රබලම සංස්ථාව, අවි ආයුධ යාන්ත්‍රණය ඇත්තේ ක්‍රීඩාව තුළ ය. ඒ එමඟින් විශාල පිරිසක් එකවර ආමන්ත්‍රණය කළ හැකි හෙයිනි. මේ එවැනි නිර්දේශපාලනික ක්‍රීඩාව තුළ දේශපාලනය කතා බහ කළ අවස්ථාවකි.'

1968 මෙක්සිකෝ ඔලිම්පික් උලෙළ කරුණු කීපයක් නිසා ඉතිහාසගත ය. පළමු වැන්න එය මුහුදු මට්ටමින් ඉහළ ප්‍රදේශයක පැවැත්වීම ය. ජිම් හයින්ස්ගේ මීටර් 100 වාර්තාවත්, බොබ් බීමන්ගේ විස්මිත ලෝක දුර පැනීමේ වාර්තාවත් නිසා ද එය චිර ප්‍රසිද්ධ ය.

නමුත් ඒ සියල්ලටම වඩා ඔලිම්පික් තරගාවලිය අවසානයේ ප්‍රකට වුණේ නොසිතූ සිදුවීමකි.

එහි දී පිරිමි මීටර් 200 අවසාන තරගයෙන් ලෝක වාර්තාවක් පිහිටුවා රන් පදක්කම දිනා ගත්තේ එක්සත් ජනපදයේ ටොමි ස්මිත් ය. ඔහු පිහිටු වූ ලෝක වාර්තාව තත්පර 19.83 කි. අප කියන සිදුවීම මතු වුණේ ජයග්‍රාහකයන්ට පදක්කම් ප්‍රදානය කළ අවස්ථාවේදී ය.

පදක්කම් ලබා ගත්තාට පසු රන් පදක්කම දිනූ ටොමි ස්මිත් සමඟ ලෝකඩ පදක්කම දිනූ ජෝන් කාලෝස් දෙදෙනා අතක කළු වැසුමක් ලා ගෙන එම අත් ඉහළට එසවූහ. එවිට ඔවුන් තම හිස පහත් කොට ගෙන සිටි අතර එහි දී පෙන්වූයේ “කළු බලය’‘ නමැති විරෝධය බව පසුව කියැවිණි. මේ අවස්ථාවේ දී රිදී පදක්කම දිනූ ඔස්ට්‍රේලියාවේ පීටර් නෝමන් සිටියේ නිහඬව ය.

ස්මිත් සහ කාලෝස් දෙදෙනා මෙලෙස විරෝධය පෑවේ එක්සත් ජනපදය තුළ පැවැති කළු ජාතිකයන් ගෙන ගිය සිවිල් අයිතිවාසිකම් දිනා ගැනීමේ සටන වෙනුවෙනි. 1968 වර්ෂය එක්සත් ජනපදය පුරාම විරෝධතා පෙළපාළි සහ උද්ඝෝෂණ පැවැති සමයකි. මෙම තත්ත්වය උදා වුණේ වියට්නාම් යුද්ධයේ දී අමෙරිකානු හමුදා විසින් කරනු ලැබූ මිනිස් ඝාතන හෙළා දැකීමක් ලෙස ය. කළු ජාතිකයන් මෙහිලා මූලිකත්වය ගෙන ක්‍රියා කළහ.

ස්මිත් සහ කාලෝස් දෙදෙනා පදක්කම් ප්‍රදානය අවස්ථාවේ පාවහන් පැලඳ සිටියේ ද නැත. මෙම විරෝධය එදා නම් කොට තිබුණේ “කළු ජාතිකයන්ගේ ආචාර දැක්ම” කියා ය.

කෙසේ වෙතත් ස්මිත් කාලෝස් දෙදෙනාගේ විරෝධ ක්‍රියාව එක්සත් ජනපදයේ ජාතික ඔලිම්පික් කමිටුව විසින් අනුමත කළේ නැත. ඔවුන් වහා තීරණයක් ගෙන දැනුම් දුන්නේ ස්මිත් සහ කාලෝස් දෙදෙනා වහාම ඔලිම්පික් ගම්මානයෙන් පිටව සිය රට බලා පැමිණිය යුතු බවයි. මේ අනුව ඔවුන් දෙදෙනා පැය විසි හතරක් ඇතුළත එක්සත් ජනපදයට ගෙන්වා ගනු ලැබූ හ. දෙදෙනාට ම බලධාරින් විසින් අවවාද කරනු ලැබුව ද දිනා ගත් පදක්කම් අවලංගු කිරීමක් සිදු නොවීය.

“ඔලිම්පික් බිමේ දී එවැනි ක්‍රියාවක් කිරීම ගැන ඇත්තෙන්ම මා කනගාටු වනවා. නමුත් අවස්ථාවේ හැටියට එය වැදගත් ප්‍රකාශයක් වුණා. මෙය දැන් ඉතිහාසයට එකතු වෙලා හමාරයි.” ජෝන් කාලෝස් පසු කලෙක ඒ සම්බන්ධයෙන් පවසා තිබිණි.

මෙම සිදුවීමට දැන් අවුරුදු 52 ක් පමණ ගෙවී ගොසිනි. නමුත් හැම ඔලිම්පික් තරග සමයක දී ම එය පුවත් අතරට එක් වෙයි. මෙවර ටෝකියෝ ඔලිම්පික් උලෙළ අවස්ථාවේ දී ත් එය එලෙසම මතුව එනු ඇත. ස්මිත් සහ කාලෝස් දෙදෙනා සිදු කළ මෙම සිදුවීම අලළා වාර්තා චිත්‍රපටයක් ද නිපද වූ අතර එය 2012 ලන්ඩන් ඔලිම්පික් උලෙළ් දී එළි දැක්විණි.

එය නම් කොට තිබුණේ “ස්ලූට්” කියාය. මෙහි විශේෂ අවස්ථාවට සහභාගි වීම සඳහා 68 හැවිරිදි ටොමි ස්මිත් ලන්ඩන් නුවරට පැමිණ සිටියේ ය.

“එදා මම ලෝක අවධානයට ලක් වුණා. මම කළේ එදාට උවමනා මිනිස් ක්‍රියාවක් පමණයි.” ස්මිත් එසේ ලන්ඩන් නුවරට පැමිණ එම අවස්ථාවට එක්වීමෙන් අනතුරුව ප්‍රකාශ කළේ ය.

1968 මෙක්සිකෝ නුවරින් පෙරළා සිය රට පැමිණි පසු ස්මිත් සහ කාලෝස් දෙදෙනාට ම බාධක රැසක් මතු විණි. ඒ ඇතැම් වර්ගවාදීන්ගේ සමාජ පීඩනයයි. ටික කාලයක් යන තුරු පීඩාවට ලක් වූ දෙදෙනාගේ ම ජීවිත ආලෝකමත් වුණේ පසු කලෙකය. මොන තරම් විවේචනවලට ලක් වුණත්, සමාජයේ සමහර කොටස්වල අවමානයට ලක් වුවත් මේ ශූරයන් දෙදෙනා නොසැලුණ හ. තමන් දැරූ මතය ම නියෝජනය කරනු ලැබූ හ. සැබැවින්ම ඔලිම්පික් ඉතිහාසය ගැන කතා කරද්දී මෙය නම් කිසි දිනක අමතක නොවන ඔලිම්පික් කතාවකි.

 

Comments