
ගමේ වගේ නෙමේ, විමලේ දුවපන් කියලා කෑගහන්නවත් කෙනෙක් නැහැ. හැමදේටම හිටියේ අයියා විතරයි.
අපි යාපනේට යනකොට හුඟාක් හවස් වෙලා. අපේ නවාතැන වුණේ යාපනේ දුම්රිය ස්ථානාධිපතිතුමාගේ නිවස යි. ඔහුත්, බිරිඳත් අපිට ඉතා සුහදශීලිව සැලකුවා. ඒ සැලකිල්ල අමතක කරන්න බෑ
'යාල් දේවියේ නැඟ යාපා පටුනට යන්න පිටත් වීම පාසල් සිසුවෙක් වශයෙන් විමලේ තුළ ඇති කළේ මහා ආශ්වාදයක්. ඔහුට එය පසු කලෙක රටින් පිට දුර දේශයන් හි සංචාරය කරමින් ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට අවශ්‍ය පසුබිම සකස් කර දුන්නා කීව හොත් එය නිවැරැදියි. මේ විමලසේන පෙරේරාගේ ජීවිතයේ තවත් සුවිශේෂී දිගහැරුමක්.'
හිමිදිරියේ ම ගිය ඒ ගමන හරිම අපූරුයි. සති අන්තයක් නිසා හැම පෙට්ටියක ම වගේ මඟීන් පිරිලා සිටියා. වැඩියෙන් ම හිටියේ දෙමළ මිනිස්සු.
සිංහල වගේම, මුස්ලිම් මිනිස්සු කීප දෙනෙක් ම අපි ගමන් ගත්ත පෙට්ටියේ ඉන්න බව මම දැක්කා. මීට කලින් ඉස්කෝල නිවාඩුවකට අපේ තාත්තා එක්ක අපි යාපනයට ගිහින් තිබුණා. ඒකත් මේ වගේ ම අත්දැකීමක්. තාත්තා යාල් දේවියෙන් අපිව යාපනේ එක්ක ගියේ රජයේ සේවකයෙක් වශයෙනුයි. ඔහුට වාර්ෂිකව හිමි වන නිදහස් දුම්රිය ගමන් බලපත්‍රය යොදා ගෙන තමයි අපි මේ විදිහට යාපා පටුනට ගියේ. අපි ඒ ගමනේ දි බෝට්ටුවක නැඟලා නාගදීපේ වඟින්නත් ගියා. මුහුදේ ගිය ඒ ගමන අපිට අමතක නොවන අත්දැකීමක් වී තිබුණ බව දැනුත් මතක් කරන්න කැමැතියි.
'කෝච්චිය ගම්පහ පහු වෙනකොටම වගේ ඉර පායගෙන එමින් තිබුණා. මෙතෙක් වෙලා කළුවරින් වෙන් නොවුණු බිම ටිකෙන් ටික ආලෝකවත් වුණා.
රන්වන් ආකාසේ ලස්සනට පෙනුණා. ඒ ආකාසයේ සිරිපාදේ දිස් වන චමත්කාරය දැක්කම මේ වගේම උඩරට මැණිකේ කෝච්චියෙන් තාත්ත අපිව සිරීපාදේ වඟින්න එක්ක ගිය ගමන සිහිපත් වුණා. ඒ මතකය හරි අපූරුයි. තාත්තගෙ අතේ බරසාරෙට මිල මුදල් නොතිබුණත් එයා අපිව ඉස්කෝලෙ නිවාඩුවට කොහේ හරි වන්දනාවක එක්ක ගියා. ඒ එයාට රජයෙන් ලැබුණු නිදහස් ගමන් බලපත්‍රයේ බලයෙන්.
මේ වගේ සිතුවිලි දාමයක ගිලිලා කෝච්චි පෙට්ටියේ කවුළුව අස්සෙන් මගේ හිත ඈතට ගිහින් තිබුන වෙලාවේ අයිය තේ බොන්න යන්න කතා කළා. ඒ හඬට තමයි මගේ සිතිවිලි දැහැන බිඳිලා ගියේ.
අපි යාපනේට යනකොට හුඟාක් හවස් වෙලා. අපේ නවාතැන වුණේ යාපනේ දුම්රිය ස්ථානාධිපතිතුමාගේ නිවස යි. ඔහුත්, බිරිඳත් අපිට ඉතා සුහදශීලිව සැලකුවා. ඒ සැලකිල්ල අමතක කරන්න බෑ.
අයියත් දුම්රිය ස්ථානාධිපතිතුමාත් කතා බස් කළේ ඉංග්‍රීසියෙන්. ඔවුන්ට කතා කරන්ඩ ඉඩ ඇරලා මම කාමරේ ඇඳ උඩට වෙලා කල්පනා කළේ හෙට දුවන්න ඉන්න මැරතන් එක ගැනයි. යාපනේ ආරෙට සැකසුන රාත්‍රී කෑම වේල රසවත් වුණත් හෙට දවස ගැන හිතලා මම වැඩිය කෑවේ නැහැ.
රාත්‍රී ආහාරයෙන් පස්සේ කාමරයට ගිහින් නින්දත් නොනින්දත් අතර සටනක යෙදුන මට යාන්තම් ඇස් පියවුණේ එළිවෙන්න හෝරාවක් දෙකක් තිබිලා වුණාට පාන්දර හතරට තියලා තිබුන ටයිම් පීස් ඔරලෝසුවේ සද්දෙට අපි දෙන්නටම ඇහැරුණා.‘
නිවසේ දී උදෙන් ම සිය මව සාදා දෙන කිරි වීදුරුවෙන් ලැබෙන උණුසුම වෙනුවට එදා ලැබුන රසවත් එළකිරි සංග්‍රහයෙන් විමලෙට තවත් නැවුම් උණුසුමක් ලැබුණේ ය. දුම්රිය ස්ථානාධිපතිවරයා විමලෙගේ අයියාට පාපැදියක් ද සොයා දී තිබුණේ විමලෙගේ සහයට ආවරණයක් ලබා දීම සඳහා ය. ඔවුන් දෙදෙනාම සයිකලයේ නැඟී හිමිදිරියේ ම යාපනය නගර මධ්‍යයේ වූ තරගය ආරම්භ කරන ස්ථානයට පැමිණෙන විටත් සෙසු තරගකරුවන් ද එම ස්ථානයට ඒකරාශී වෙමින් තිබුණි. වසරක් පාසා මුළු දිවයිනම ආවරණය වන පරිදි යාපනය මලල ක්‍රීඩා සමාජය විසින් පවත්වනු ලබන මෙම තරගය සඳහා එකළ දිවයිනේ ප්රමුඛ පෙළේ මැරතන් ක්‍රීඩකයන් ද සහභාගි වූහ. ඒ තරගයට පුවත්පත් සහ ගුවන් විදුලිය මඟින් පුළුල් ප්‍රචාරයක් ද ලබා දී තිබුණි.
'යාපනේට වේලාසනින් ඉර පායනව කියලා මම අහලා තිබුන කතාව ඇත්ත. උදේ හය වෙන කොටත් හොඳට එළිය වැටිලා. හරියටම උදේ හය පහු වෙනකොටම වගේ රේස් එක පටන් ගත්තා. යාපනේ ඉඳලා කන්කසන්තුරේ පාරේ සැතපුම් දහතුනක් ගිහින් නැවත එන්නයි තිබුණේ. මුළු දුර සැතපුම් විසිහයයි. පුරුදු විදිහටම මම ආරම්භය ගත්තත් එක්තරා නුපුරුදු බවක් මට දැනුණා. මොකද ප්‍රධාන පාරක් උනාට ඒ කාලේ අද වගේ පාර පළල් නැහැ. එතකොට ඒ පාර පටුයි. කොහොම උනත් ටික දුරක් යනකොට මට මගේ සුපුරුදු ස්ථාවරයට එන්න පුළුවන් වුණා. මස්සිනාත් පැත්තකින් සයිකලය පැදගෙන එන ගමන් මට දුන්න ධෛර්ය තවත් ලොකු හයියක් වුණා. ගමේ වගේ නෙමේ, විමලේ දුවපන් කියලා කෑගහන්ඩවත් කෙනෙක් නැහැ. හැමදේටම හිටියේ අයියා විතරයි. කොහොම හරි උදේ නමයයි තිහ වෙනකොට තරගය නිම කරමින් මම ඒ රේස් එකෙන් දෙවැනි ස්ථානය හිමි කර ගත්තා. කුරුණෑගලින් ඇවිත් හිටිය ජී. ඒ. පාකියම් පළමු තැන දිනා ගත්තා. ඇත්තෙන්ම ඔහු දක්ෂයෙක්.'
එම යාපා පටුනේ මැරතන් තරගය සඳහා සහභාගී වූ එකම පාසල් සිසුවා වූ විමලසේන දෙවැනි ස්ථානය ලබා ගනිමින් තරගය නිමා කළේ එම ස්ථානය සඳහා එතෙක් පැවැති පැය 02 මිනිත්තු 33 තත්පර 16 වාර්තාව පැය 02 මිනිත්තු 27 තත්පර 17.08 අඩු කරමිනි. එනම් නව වාර්තාවක්ද තබමිනි.
'උදේ දහයට යෙදී තිබූ ත්‍යාග ප්‍රදානයෙන් පසුව මට ලැබුන කුසලාන හා සහතිකය අරගෙන අපි දෙන්නම දුම්රිය ස්ථානාධිපතිතුමාව මුණගැහුණා. ඔහු මගේ ජයග්‍රහණය ගැන හුඟක් සතුටු වුණා. ඇත්තෙන්ම දෙවැනි තැනට ආවත් ඒ ජයග්රහණයෙන් පස්සේ මට දැන් පුළුවන් කියන හැඟීම මගේ හිතට හොඳීන්ම දනවලා තිබුණා.'
ලබන සතියට -
විමලසේනට හමුදාවෙන් කැඳවීමක්










