කොළොම් තොටෙන් හා මිණි පුරයෙන් මතුවූ චෙස් පෙතේ අනාගත ලක් රැජිණියෝ | සිළුමිණ

කොළොම් තොටෙන් හා මිණි පුරයෙන් මතුවූ චෙස් පෙතේ අනාගත ලක් රැජිණියෝ

 

ලෝක චෙස් සම්මේලනයේ කාන්තා කොමිෂන් සභාව විසින් පවත්වනු ලබන ක්වින්ස් (QUEENS) චෙස් තරගාවලියේ 1500 සිට 1699 දක්වා ශ්‍රේණිගත කිරීමේ කාණ්ඩයේ ආසියානු සුදුසුකම් ලැබීමේ තරගාවලියේ තරග වට 11 න් පහළ තරගාවලියේ දී ලකුණු 8 1/2 ක් ලබා ගනිමින් දෙවැනි ස්ථානය හිමි කර ගැනීමට කොළඹ මියුසියස් විද්‍යාලයේ සන්දුලා දහම්දි සමත් වූවා ය.

ක්වින්ස් (QUEENS) චෙස් උලෙළ යනු ලොව කාන්තා චෙස් ක්‍රීඩිකාවන් සඳහා වන ලෝක චෙස් සම්මේලනයේ කාන්තා කොමිෂන් සභාව විසින් ටෝර්නෙලෝ වේදිකාව මත (මාර්ගගත ක්‍රමයට) සංවිධානය කරන ලද විවෘත තරගාවලියකි. මෙම චෙස් ඉසව්ව කාණ්ඩ 4 කින් සමන්විත විය. ඒ ‘ඒ’ කාණ්ඩය - ශ්‍රේණිගත කිරීම් 2100 ට වැඩි, ‘බී’ කාණ්ඩය - 1800 - 2199 අතර ශ්‍රේණිගත කිරීම්, ‘සී’ කාණ්ඩය - 1500 - 1799 අතර ශ්‍රේණිගත කිරීම් සහ ‘ඩී’ කාණ්ඩය - ශ්‍රේණිගත කිරීම් 1500 ට අඩු වශයෙනි.

ආසියානු මහද්වීපයේ පවත්වනු ලබන සියලුම ක්‍රීඩා ඉසව් 2021 ජුනි 13 දින පැවැත්වුණේ ය. එය අධිවේගී චෙස් ඉසව්වක් වන අතර සෑම තරග වටයක් සඳහා ම මිනිත්තු 3 තත්පර 2 ක කාලයක් ලබා දී තිබුණේ ය. තරගාවලිය තරග වට 11 කින් යුක්ත විය.

රත්නපුර ෆර්ගියුසන් උසස් බාලිකා විද්‍යාලයේ 9 හැවිරිදි ඔෂිනි ගුණවර්ධන ද එම ඉසව්වේ ම ආසියානු සුදුසුකම් ලැබීමේ තරගාවලියේ 1500 ට අඩු ශ්‍රේණිගත කිරීම් ‘ඩී’ කාණ්ඩයේ දෙවැනි ස්ථානයට පත්විය. ඔෂිනි තරග වට 11න් ලකුණු 9 ක් ලබා ගනිමින් තවත් ක්‍රීඩිකාවන් දෙදෙනකු සමඟ සම වූ නමුත් සම ලකුණු බෙදීමේ නීතියෙන් දෙවැනි ස්ථානයට පත්වූවා ය.

‘සී’ කාණ්ඩයේ ක්‍රීඩිකාවන් දෙදෙනෙක් සහ ‘ඩී’ කාණ්ඩයේ ක්‍රීඩිකාවන් එකොළොස් දෙනෙක් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරගාවලියට සහභාගී වූහ. ඉහත ජයග්‍රාහිකාවන් සේම සචිනි රණසිංහ (NF3 චෙස් සංගමය), චනින්දි මෙවන්‍යා අත්තනායක (කොළඹ දේවි බාලිකා විද්‍යාලය), ඔනේලි විතානවසම් (වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල), ජී. එච්. එස්. සනුල්‍යා (පොලොන්නරුව රාජකීය ප්‍රාථමික විද්‍යාලය), පියුමි උත්පලා අමරතුංග (කළුතර JMC ජාත්‍යන්තර පාසල), දෙසන්දි දිහන්සා ගමගේ (කොළඹ සිරිමාවෝ බණ්ඩාරනයක විද්‍යාලය), නේමින්දි ලිනායා (වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලය,), ටෙනුලි දහම්නා රත්නායක (කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලය), සත්මි සිතුම්සා (රත්නපුර ලයිසියම් ජාත්‍යන්තර පාසල) යන ක්‍රීඩිකාවෝ ඒ අතර වූහ.

මෙම තරගාවලියේ මූලික අදියර ආසියානු, අප්‍රිකානු, අමෙරිකානු සහ යුරෝපීය මහාද්වීපික කලාප ලෙස පවත්වනු ලැබූ අතර, සෑම මහද්වීප ඉසව්වක ම ජයග්‍රහණය කළ ඉහළම ක්‍රීඩිකාවන් තිදෙනා ඊයේ (26) පැවැත්වීමට නියමිතව තිබූ ලෝක ශූරතා ඉසව්ව සඳහා ක්‍රීඩා කිරීමට සුදුසුකම් ලබා සිටිය හ.

 

Comments