අඳුර මැද උදුලන ට්‍රිගායි තරු මිණි | සිළුමිණ

අඳුර මැද උදුලන ට්‍රිගායි තරු මිණි

 

රිගායිවරු තබන ලෝක වාර්තා තවමත් ලියැවෙන්නේ ඉතියෝපියාවේ නාම‍යෙනි

 

'අප්‍රිකාවේ කාන්තාර බහුල ය. ඇතැමුන් අප්‍රිකාව හඳුන්වන්නේ කාන්තාර දේශය කියා ය. එහෙයින් ලොව ප්‍රසිද්ධ සහරා කාන්තාරය නමින් ද අප්‍රිකානු දේශය හඳුනා ගන්නෝ බොහෝ ය. කාන්තාර දේශය, දරා ගැනීමේ දේශය ලෙස ද හැඳින්විය හැක්කේ එම කලාපයෙන් බිහි වන දිගු දුර ධාවකයන් සම්බන්ධයෙන් සලකා බලන කල්හි ය. මේ සහරාවේ දිගු දුර ධාවකයන් බිහි කරන කර්මාන්තශාලා භූමියක් බඳු නිදහස හා ස්වාධීනත්වය සොයා අරගල කරන රාජ්‍යයක් සම්බන්ධව ය. '

 

දිගු දුර දිවීම බෙහෙවින්ම දුෂ්කර සහ වෙහෙසකර කාර්යයකි. නමුත් වියළි කතරක උපන් අප්‍රිකානුවන්ට එය අපහසු නොවේ. දුෂ්කර බව, පීඩාව ඔවුන්ට හොඳින්ම හුරු ය. ඔවුන් වෙසෙන බොහෝ රටවල ආර්ථිකය ද දේශගුණය තරම්ම කර්කශ වෙයි.

මන්දපෝෂණය, කුසගින්න, පිපාසය දරාගෙන ජීවත් වන්නට ඔවුන් හොඳ පුරුදුකාරයෝය. අමෙරිකානු, යුරෝපානු කලාපීය රටවල ක්‍රීඩකයන්ට‍ තරම් සුඛෝපභෝගී අනුග්‍රහයන් ඔවුන්ට ලැබෙන්නේ ද නැත. ඒ හැම ගින්නක්ම දරාගෙන ඔවුන් දුවන දුර ප්‍රශංසා සහගත ය.

ට්‍රිගායි යනු ලෝක වාර්තා තැබූ දිගු දුර ධාවකයන් බිහි කළ අභිමාවනත් දේශයකි. දේශයක් යැයි කීවාට ට්‍රිගායි තවමත් ස්වාධීන දේශයක් නොවේ. වසර ගණනාවක් ඉතියෝපියාවෙන් ‍වෙන් වන්නට ඔවුහු අරගල කරති. මේ වන විට ඔවුන් ඉතියෝපියාවෙන් බොහෝ දුරට වෙන්ව සිටියත් ස්වාධීන පාලනයක් නොමැති නිසා තවමත් පාලනය වන්නේ ඉතියෝපියාව යටතේ ය.

එබැවින් ට්‍රිගායිවරු තබන ලෝක වාර්තා තවමත් ලියැවෙන්නේ ඉතියෝපියාවේ නාම‍යෙනි. කෙසේ නමුත් කුසගින්න. මන්දපෝෂණය, දුප්පත්කම, අපරාධ, ගැටුම්, දේශ සීමා අරගල නිමක් නැති ට්‍රිගායි හි ලෝක වාර්තා තබන දිගු දුර දක්ෂයන් බිහි වීම අතිශයින්ම ප්‍රශංසනීය ය. මෙය බොහෝ දෙනෙක් නොදන්නා ට්‍රිගායි ‍දේශයෙන් බිහි වූ දිගු දුර තාරකාවන් පිළිබඳ සටහනකි.

 

ලෙටසේන්බෙට් ගිඩේ

නොබෝදා ට්‍රිගායි නාමය ලෝකය තුළ ඉහළට ම එසවූයේ දිගු දුර ධාවන ශූරියක වන 23 හැවිරිදි ලෙටසේන්බෙට් ගිඩේ ය. පසුගිය දා ටෝකියෝ ඔලිම්පික් උලෙළ සඳහා ක්‍රීඩකයන් තෝරා ගැනීමේ තරගාවලියක දී ගිඩේ කිලෝ මීටර් 10 දුර දිවීමේ තරගය වාර්තාගත කාලයකින් නිම කළාය. එය එම ඉසව්වේ ඉහළම ලෝක වාර්තාව යැයි කිව හැකි ය. ගිඩේ එසේ බිඳ දැමුවේ නෙදර්ලන්ත දිගු දුර ධාවන ශූරියක වන සිෆානි හසාන් විසින් පිහිටුවා තිබූ වාර්තාවකි.

වඩාත් සුවිශේෂී කරුණ වන්නේ සිෆානි මෙම වාර්තාව පිහිටුවා දින දෙකක් ගත වීමටත් මත්තෙන් ගිඩේ එය බිඳ දැමීම යි. කිලෝ මීටර් දහයක දුරක් ධාවනයේ නියැළීමට ගිඩේට ගත වී තිබුණේ මිනිත්තු 29 තත්පර 1 දශම 3ක කාලයකි. කෙසේ නමුත් ගිඩේ විසින් පිහිටුවා ඇති එකම ලෝක වාර්තාව මෙය නොවේ. ඈ දිගු දුර ධාවනයේ කිලෝමීටර් 5, 15 (මාර්ග) ඉසව්වල ලෝක වාර්තාවන්ට හිමිකම් කියන්නී ය.

ඇය දිගු දුර ධාවනයේ 5 km ඉසව්වේ ලෝක වාර්තාවට හිමිකම් කීවේ 2020 වසරේ ඔක්තෝබර් මාසයේ දී ය. ඒ කිලෝමීටර් 5 ක දුරක් දිව යෑමට මිනිත්තු 14 තත්පර 6 දශම 62 ක කාලයක් වැය කරමිනි. එසේ ම ධාවන පථයෙන් එපිට මාර්ග ධාවනයේ කිලෝ මීටර් 15 දුර ධාවන කාලයේ ලෝක වාර්තාව ද ලියැවී ඇත්තේ ඈ නමින්ම ය. ඒ වෙනුවෙන් මිනිත්තු 44 තත්පර 20 ක් ගත වී තිබේ.

ගිඩේ 2019 වසරේ දෝහා කටාර් හි පැවැති ලෝක ශූරතා තරගාවලියේ කිලෝ මීටර් 10 දුර ධාවන අංශයෙන් රිදී පදක්කමක් දිනා ඇත. ඊට අමතරව ජාත්‍යන්තර තරගාවලි කිහිපයක් නියෝජනය කර ඇති ඈ රන් පදක්කම් 5 ක් සහ එක් ලෝකඩ පදක්කමක් දිනා ඇත.

 

ගුඩාෆ් සෙගේ

23 හැවිරිදි ගුඩාෆ් සෙගේ ද ලෝක දුර ධාවනයේ ට්‍රිගායි නියෝජනයකි. මීටර් 1500 ගෘහස්ථ ධාවන අංශයේ හොඳම කාලයට හිමි ලෝක වාර්තාව පිහිටුවා ඇත්තේ ‍සෙගේ ය. 2021 පෙබරවාරියේ ප්‍රංශයේ දී එම වාර්තාව පිහිටු වූ ඇයට ඒ සඳහා මිනිත්තු 3 තත්පර 53 දශම 9 ක කාලයක් ගත විය. සෙගේ ද මේ වන විට අන්තර්ජාතික මට්ටමේ තරගවල දී ලෝකඩ පදක්කම් දෙකක් සහ රිදී පදක්කම් දෙකක් දිනා ඇත්තියකි. 2019 දෝහා කටාර් ලෝක ශූරතා තරගාවලියේ දී මීටර් 1500 ධාවන ඉසව්වේ ලෝකඩ පදක්කමට හිමිකම් කීවේ ද ට්‍රිගායි ක්‍රීඩිකා සෙගේ ය. සෙගේ 2016 වසරේ ඔලිම්පික් උලෙළ ද නියෝජනය කළා ය.

 

ට්සිගි ගෙ‍බ්‍රෙසිලාමා

21 හැවිරිදි ට්සිගි ගෙබ්‍රෙසිලාමා ද ට්‍රිගායි මැරතන් ශූරියකි. නෙදර්ලන්ත මොන්ට්ෆර්ලන්ඩ් ධාවන තරගයේ 2019 වර්ෂයේ කාන්තා ශූරිය වූයේ ගෙබ්‍රෙසිලාමා ය. එහි කිලෝමීටර් පහළොවක ධාවන දුර නිමා කිරීමට ඇයට ගත වූයේ මිනිත්තු 47 තත්පර 29 ක කාලයකි.

එය වසර 25 ක ඉතිහාසයක් ඇති මෙම තරගාවලියේ ක්‍රීඩිකාවක් වාර්තා කළ හොඳම කාලය සේ සැලකෙයි. එසේම තුර්කි ඉස්තාන්බුල් මැරතන් තරගාවලියේ කිලෝ මීටර් 15 ඉසව්වේ ද පළමු ස්ථානය හිමි කර ගත්තේ ගෙබ්‍රෙසිලාමා ය. එයට අමතරව ඇය අන්තර්ජාතික දිගු දුර ධාවන තරගවල දී ලෝකඩ පදක්කම් දෙකකට හිමිකම් කියා ඇත. ඒ අතරින් 2018 පින්ලන්තයේ පැවැති 20 න් පහළ ලෝක ශූරතා තරගාවලියේ මීටර් 3000 අංශයෙන් ඇය දිනූ ලෝකඩ පදක්කම සුවිශේෂී වෙයි.

 

Comments