ලොව වටා | සිළුමිණ

ලොව වටා

 

 

පුටින් බයිඩ්න් ජිනීවාහිදී හමුවේ

 

පසුගිය බදාදා දිනය ස්විට්සර්ලන්තයට විශේෂ දිනයක් වූයේ ලෝකයේ ප්‍රබලයන් දෙදෙනකුගේ අති දුර්ලභ හමුවීමක් සඳහා පහසුකම් සැපයීමට සිදුවීම හේතුවෙනි. ඒ ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ය. ඔවුන් දෙදෙනාගෙ හමුව හේතුවෙන් ජිනිවා නගරයේ ගුවන් කලාපය දින දෙකකට වසා දැමීමටද ස්විස්ටර්ලන්ත රජය කටයුතු යෙදීය.

කෙසේ වුවද මේ ලෝක ප්‍රභලයන් දෙදෙනා ජිනීවාහිදී හමුවී දෙරටටම පමණක් නොව මූළු ලොවටම වැදගත් වන කරුණු කිහිපයක් සම්බන්ධව තම අවධානය යොමු කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි. මේ හමුවීමට පෙර මේ රාජ්‍ය නායකයන් දෙදෙනාම එකිනෙකා වෙත තර්ජනාංගුලිය එල්ල කර ගත් අතර දෙපැත්තටම යම් යම් සිදුවීම් සම්බනධව චෝදනාද එල්ල විය.

 

 

ජී 7 සමුළුවේ අවධානය

කොවිඩ් වැක්සීන් ගැන

 

කොවිඩ් වයිසරය පැතිරයැම හේතුවෙන් පසුගිය වසරේ නොපැවැත්වුණු ජී 7 සමුළුව පසුගියදා බ්‍රිතාන්‍යයේදී පැවැත්විණි. ලෝකයේ බලවත්ම යැයි සැලකිය හැකි රටවල් හතක නායක එකුමුතුවෙන් සංවිධානය වී ඇති මේ සමුළුව සඳහා මෙවර රාජ්‍ය නායකයන් සහභාගී වී සිටියද සියලු දෙනාම නිරෝධායන නීති අනුගමනය කිරීමට අමතක කර තිබුණේ නැත. මෙවර ලොව ප්‍රබල රටවල් ලෙස තම අවධානය යොමු වන්නේ දුගී සහ මධ්‍ය ආදායම් රටවලට කොවිඩ් එන්නත් ප්‍රමාණවත් තරම් සම්පාදනය කිරිම සම්බන්ධයෙන් බව එහිදී ජී 7 රටවල රාජ්‍ය නායකයන් ප්‍රකාශ කර සිටි අතර ජූනි මාසය අවසන් වීමට පෙර එන්නත් මිලියන 500ක් ලොව සෙසු රටවල් අතර බෙදා හැරීමට කටයුතු කරන බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් එහිදී පවසා සිටියේය.

 

 

 

ලෙබනනය

තෙල් නැතුව අමාරුවේ

 

පසුගිය සතියේදී ලෙබනනයේ ජනතාවගේ දිනෙදා සාමාන්‍ය ජන ජීවිතය බෙහෙවින් අඩාළ විය. දරුවන්ට පාසල් යෑමට නොහැකි වූ අතර බොහෝ දෙනාට රැකියා සඳහා වාර්තා කිරීමට නොහැකි වූයේ ප්‍රවාහන සේවා නොමැති වීමෙනි. එසේ වීමට හේතුව වූයේ රට තුළ දරුණු ඉන්ධන හිඟයක් ඇති වීමය.මේ හදිසි ඉන්ධන හිඟයට හේතු වී තිබුණේ ලෙබනනය මේ වන විට මුහුණ දී සිටින දැවැන්ත මූල්‍ය අර්බුදයයි. ප්‍රමාණවත් ඉන්ධන තොග මිලදී ගැනිමට අවශ්‍ය මුල්‍ය වත්කම් නොමැති වීම හේතුවෙන් ඉන්ධන තොග අවසන් වුවද ඉන්ධන ගෙන්වා ගැනීමට ලෙබනන පාලකයන්ට නොහැකි වී තිබේ. මේ වන විට සමස්ත ලෙබනනයම මූල්‍ය අර්බුදයද ඇතුළු අර්බුද රැසක පැටලී ඇති අතර ප්‍රංශය ඇතුළු රටවල් කිහිපයක්ම ලෙබනනයට ආධාර ලබා දීම සම්බන්ධව අවධානය යොමු කර ඇතැයි වාර්තා වේ.

 

 

සැම්බියා ජනාධිපති

රූපවාහිනී වැඩසටහනක්

අතර ඇද වැටෙයි

 

සැම්බියා ජනාධීපති එඩ්ගාර් ලුන්ගා පසුගියදා එරට රූපවාහිනියේ සජීවී වැඩසටහනක් විකාශය වෙමින් පවතින අතර සිහි නැතිව ඇද වැටුණේය. සැම්බියාවේ ජාතික ආරක්ෂක අංශ දිනය සැමරීම සඳහා විශේෂ උත්සවයක් පැවැත්වෙමින් තිබුණු අතර ඒ සඳහා සජීවී රූපවාහිනී වැඩසටහනක් සංවිධානය කර තිබිණි. ජනාධිපතිවරයා සිහි නැතිව ඇද වැටී ඇත්තේ මේ වැඩසටහන අතරතුරදීය.

මේ සිදුවීමත් සමඟම වැඩසටහන නවතා දැමුණු අතර ජනාධිපතිවරයා රෝහල් ගත කිරීමට කටයුතු කර තිබීණි. මෙසේ සිහි නැතිව ඇද වැටීමට හේතු වී ඇත්තේ ජනාධිපතිවරයා අධික වෙහෙසට පත්ව සිටිම යැයි ප්‍රකාශ වී තිබුණු අතර ජනාධිතිවරයාට ස්නායු ආබාධයක් පවතින බවටද තොරතුරු අන්තර්ජාලයේ දක්නට විය.

Comments