![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2021/06/18/9_1.jpg?itok=yIkHfYs7)
මේ දිනවල නිවෙස් තුලටම වී සිටින ජනතාවට සමාජ මාධ්‍ය තරම් ප්‍රයෝජනවත් අන් දෙයක් නොමැති තරම්ය. හුදකලාවට මිනිසුන් සොයාගත් හොඳම පිළියම ලෙමින්ද මේ සමාජ මාධ්‍ය හඳුන්වා දිය හැකිය. එමෙන්ම මේ සමාජ මාධ්‍ය භාවිතයෙන් මිනිසා සහජයෙන්ම ඉතා කැමැත්තක් දක්වන රංචු ගැසීමේ ආශාව පහසුවෙන් තෘප්තිමත් කර ගත හැකි බවද අමතක කළ යුතු නැත. එහෙත් සෑම දෙයකම හොඳ සහ නරක යනුවෙන් දෙපැත්තක් තිබෙන අතර මේ වන විට සමාජ මාධ්‍ය භාවිතයේ අයහපත් පාර්ශ්වය දැඩි සේ හිස ඔසවමින් තිබෙන බවත් ඒ හේතුවෙන් සමාජ මාධ්‍ය භාවිතය ඇතැම් අවස්ථාවල සමාජයට ගැටලුකාරී ප්‍රතිචාර ලබා දෙමින් සිටින බවත් සිහිපත් කළ යුතු නැත.
සමාජය යනු යහපත මෙන්ම අයහපතද එක්වර අත්විඳිය හැකි සමූහයකි. මෙහිදී යහපත වර්ධනය කිරීමටත් අයහපත පාලනය කිරීමටත් කටයුතු කිරීම නැතහොත් නීති බිහි කිරීම රාජ්‍ය මඟින් සිදු කරනු ලැබේ. සමාජ මාධ්‍ය යනු විසි එක්වන සියවසේ සොයා ගැනීමක් වූ අතර ඒ සම්බන්ධව භාවිතය ජනප්‍රිය වීමෙන් පසුව එහිලා අයහපත පාලනය කිරීමේ නීති රීති සම්පාදනය වෙමින් පවත්නේ ක්‍රමක්‍රමයෙනි.
මේ වන විට ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට වසර දෙකක ෆේස් බුක් තහනමක් පැනවෙන්නේ එකී නීතිමය ක්‍රියාදාමයේ එක් අවස්ථාවක් සනිටුහන් කරමිනි. ඩොනල්ඩ් ට්‍රම්ප්ට ෆේස් බුක් තහනම් වන්නේ ජනතාව කුපිත කිරීමේ චෝදනා යටතේය. මේ චෝදනාව ඔහුට එල්ල වන්නේ 2021 ජනතාවරි මස ආරම්භයේදී වොෂිංටන් නගරයේ ඇමරිකානු පාර්ලිමේන්තු ගොඩනැගිල්ල හෙවත් කැපිටල් ගොඩනැගිල්ලට සිදුවූ ජනතා පහරදීම පාදක කර ගනිමිනි.
මේ සිදුවීම සම්පූර්ණයෙන්ම එවකර ජනාධිපතිධූරයේ රැඳී සිටි ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අනුදැනුම සහ පෙලඹවීම මත සිදුවූ බවත් ඔහු ජනතාව කුපිත කිරීමට සමාජ මාධ්‍ය යොදා ගත් බවත් ට්‍රම්ප්ට එල්ල වූ චෝදනාව විය. එහිලා ඇතැම් සමාජ මාධ්‍ය ක්ෂණිකව ප්‍රතිචාර දක්වනු ද දැක ගත හැකි විය. මේ සිදුවීම් සිදුවූ ජනවාරි 7 වැනිදා සහ ඒ ආසන්න දිනවල ට්විටර් මාධය ජාලය ඩොනල්ට් ට්‍රම්ප්ගේ ට්විටර් ගිණුම කිහිප වරක්ම අත්හිටුවීමට කටයුතු යෙදීය. ඒ ජනාධිපති ට්‍රම්ප් තම ට්විටර් ගිණුම හරහා වරින් වර කැපිටල් ගොඩනැගිල්ලට කඩා වැදුණු ජනතාව ධෛර්යමත් කරවන අන්දමේ ප්‍රකාශ නිකුත් කළ බැවිනි.
කෙසේ වුවද මේ සිදුවීමෙන් මාස හයක් ඉක්ම ගිය ගැන ෆේස් බුක් සමාජ මාධ්‍ය ජාලයද ට්‍රම්ප්ගේ ෆේස් බුක් ගිණුම තහනම් කරන්නේ ඔහුට එම අවස්ථාවේදී තම ෆේස් බුක් ගිණුම අවභාවිත කිරීම සම්බන්ධව එල්ල වූ චෝදනා දීර්ඝව නිරීක්ෂණය කිරීමේ ප්‍රතිඵලයක් වශයෙනි. ඒ අනුව ට්‍රම්ප්ගේ ෆේස් බුක් ගිණුම 2023 වන තෙක් අවහිර කෙරෙණු ඇති අතර මේ ක්‍රියාව තමාට කළ ‘මදි පුංචිකමක්’ වශයෙන් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් හඳුන්වා දී තිබේ. කෙසේ වුවද මේ චෝදනාවලට ප්‍රතිචාර ලෙස සමාජ මාධ්‍ය පාලනාධිකාරීන් විසින් පෙන්වා දෙනු ලබන්නේ තමන් ඉතා විධිමත් ක්‍රියාවලියක් ඔස්සේ තම පරිශීලකයන් නිරික්ෂණය කරන බවයි. එමෙන්ම ඔනෑම කෙනෙකුට චෝදනා එල්ල කිරීමේ හැකියාව පැවතුනද තමන් වෙත එල්ල වන චෝදනා එකවර ක්‍රියාත්මක කිරීමෙන් තොරව ඉතා විධිමත්ව එම චෝදනා සලකා බලන බව එම සමාගම් නිරතුරුව පෙන්වා දෙති . එමෙන්ම රටින් රට මේ සමාජ මාධ්‍ය භාවිතයට ලැබෙන නිදහසද, ඒවා භාවිතය සඳහා පනවා ඇති නීති රීති මාලාවන්ද එකිනෙක වෙනස් බව ද පැවසිය යුතුය.