සුනංගු වුණොත් නම්බුවට තොණ්ඩුව වැටෙන | සිළුමිණ

සුනංගු වුණොත් නම්බුවට තොණ්ඩුව වැටෙන

 

'තියුණු බව වැඩිවන්නේ ජයග්‍රහණය සඳහා ඇති අවස්ථා සීමාසහිත වනවිට ය. සාමාන්‍යයෙන් ශූරයෝ, අනුශූරයෝ මෙන්ම දෙවැනි අනුශූරයෝ යැයි ජයග්‍රහණ පංගු කරන්නට සමාජය කැමතිය. එහෙත් සත්‍ය වශයෙන්ම එය බෙදිය හැක්කේ ශූරයන් හා පරාජිතයන් යන කාණ්ඩ දෙකට ය. දැන් ක්‍රිකට් පිටියේ ලෝක කුසලාන ජයග්‍රහණයක් ලබාගැනීමත් සුවිශාල සටනක් බවට පත්වන බව ප්‍රකට කර ඇත්තේ ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමට තරග වැදිය යුතු රටවල් සංඛ්‍යාව දින දින ඉහළ යමින් තිබෙන නිසා ය.'

2023 ඉන්දියාවේ පැවැත්වීමට නියමිත මීළඟ ලෝක කුසලාන තරගාවලියේ අවසන් වටය සඳහා ඉඩකඩ සැලසෙන්නේ රටවල් 10 කට පමණකි.මේ වනවිට මෙම ස්ථාන 10 සඳහා ජගත් ක්‍රිකට් සමුළුව යටතේ සිටින රටවල් 104 අතරින් රටවල් 32 ක් තරග බිමට අවතීර්ණව සිටී.

මේ අතරින් වත්මන් ටෙස්ට් පිටියේ සිටින එංගලන්තය, ඔස්ට්‍රේලියාව,ඉන්දියාව,පාකිස්තානය,කොදෙව්,ශ්‍රී ලංකාව,නවසීලන්තය,දකුණු අප්‍රිකාව,සිම්බාබ්වේ,බංගලි දේශය,ඇෆ්ගනිස්තානය,අයර්ලන්තය යන කණ්ඩායම් 12 ට අමතරව 2015-17 අයි.සි.සි. ක්‍රිකට් ලිග් ශුරයින් (ටෙස්ට් තත්ත්වය නොමැති රටවල් අතර තරගාවලිය) වන නෙදර්ලන්තය යන කණ්ඩායම් සුපර් ලීග් කොටසට අයත්වේ.

මෙම සුපර් ලීග් වටයේ තරග 2020 වසරේ සංවිධානය කෙරුණු එංගලන්ත-අයර්ලන්ත තරගාවලියෙන් ආරම්භ විය. එම අවස්ථාවේදී තරග දෙකක් ජයගත් එංගලන්තයට ලකුණු 20 ක් හිමිවූ අතර එක් තරගයක් ජයගත් අයර්ලන්තයට ලකුණු 10 ක් හිමි විය. සුපර් ලීග් වටයේ සිටින රටවල් අතරින් එක රටක් රටවල් අටක් සමඟින් තරග තුන බැගින් වන තරගමාලා අටකට මුහුණ දිය යුතු ය.

මින් තරගමාලා හතරක් තම මව්භුමිය තුළ ද, තවත් තරග හතරක් විදේශයන් හි දී ද පැවැත්වේ. මේ අනුව මෙම වටයේ එක කණ්ඩායමක් මුහුණ දිය යුතු තරග ගණන 24 කි. එක තරගයක් ජයගතහොත් හිමිවන ප්‍රසාද ලකුණු ගණන 10 කි.තීරණය නොවිසඳුණු තරගයක් සඳහා දෙපිලටම ලකුණු 05 බැගින් හිමිවන අතර සුපර් ලීග් වටය අවසානයේ ප්‍රසාද ලකුණු සටහනෙහි ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් හත සමග සත්කාරක ඉන්දියාව අනිවාර්යයෙන්ම තරගාවලියට තෝරා ගනු ලැබේ.

මේ අනුව ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් දැනට ඉතිරිව ඇත්තේ තවත් ස්ථාන දෙකක් පමණි.සුපර් ලිග් වටයේ සුදුසුකම් නොලබා ඉතිරි වන කණ්ඩායම් පහ මේ අනුව තවත් තෝරා ගැනීමේ වටයකට මුහුණ දිය යුතුය.

මෙම සුපර් ලීග් වටය මෙසේ පැවැත්වෙන අතරතුර ටෙස්ට් තත්ත්වය නොමැති ස්කොට්ලන්තය,එක්සත් අරාබි එමිරය,නේපාලය,නැමීබියාව,ඕමානය,පැපුවා නිව් ගිනියාව, අමෙරිකා එක්සත් ජනපදය යන ජගත් ක්‍රිකට් සමුළු වර්ගීකරණයට අනුව අංක 14 වන ස්ථානයේ සිට 20 දක්වා වූ රටවල් 07 ලෝක කුසලාන ලිග් 02 යටතේ තරග වදී. මේ අතරින් මුල් ස්ථාන තුන හිමි කර ගන්නා කණ්ඩායම් තුනට මීළඟ අදියරට යාමේ අවසරය හිමිවේ. මේ අනුව ඔවුන් කලින් සඳහන් කළ සුපර් ලිග් වටයේ සුදුසුකම් නොලබා ඉතිරිවූ කණ්ඩායම් පහ සමග එක්වීමට නියමිතව ඇත.

එමෙන්ම ජගත් ක්‍රිකට් සමුළු වර්ගීකරණය යටතේ අංක 21 සිට 32 දක්වා පෙළ ගැසී තිබු රටවල් වන කැනඩාව,ඩෙන්මාර්කය,මැලේසියාව,කටාර්,සිංගප්පුරුව,වනියුටාව,යන රටවල් ඒ කොටසටද බර්මුඩා,හොංකො,ඉතාලිය,ජර්සි,කෙන්යාව,උගන්ඩාව යන රටවල් බි කොටසට ද ඇතුළත් ක්‍රිකට් ලෝක කුසලාන අභියෝගතා ලිග් තරගාවලිය පැවැත්වෙනු ඇති අතර මෙම තරගාවලියේ ජයග්‍රාහී කණ්ඩායම් දෙක හා ලෝක කුසලාන ලිග් 02 තරගාවලියේ අවසන් ස්ථාන හතරට පැමිණි කණ්ඩායම් හතර අතර කණ්ඩායම් හයක තරගාවලියක් පැවැත්වීමට සැලසුම් සකස් කර තිබේ.

මේ අනුව මෙම තරගාවලියේ ඉදිරියෙන් සිටින කණ්ඩායම් දෙක ලෝක කුසලාන ලිග් තරගාවලියේ මුල් ස්ථාන අත් කරගත් කණ්ඩායම් තුන සමග සුපර් ලීග් වටයේ අවසන් ස්ථාන පහට පැමිණි කණ්ඩායම් එක්වීමෙන් සෑදෙන කණ්ඩායම් 10 ක් (මෙම කණ්ඩායම් 10 අතරට අනිවාර්යයෙන්ම ටෙස්ට් කණ්ඩායම් හතරක් හෝ පහක් ඇතුළත්වනු ඇත.) අතර වන සුදුසුකම් ලබා ගැනීමේ වටය 2023 ජුනි,ජුලි පමණ සිම්බාබ්වෙහිදී පැවැත්වේ. මෙම කණ්ඩායම් 10 අතරින් මුල් තැනට එන කණ්ඩායම් දෙකට පමණක් මේ වනවිට සුපර් ලිග් වටය යටතේ මුලින්ම සුදුසුකම් ලැබූ කණ්ඩායම් අට අතරට එක්වී 2023 ලෝක කුසලාන තරගාවලිය සඳහා ඉන්දියාවේ තරග වැදීමේ අවස්ථාව හිමි වේ.

දැනට සුපර් ලිග් වටයේ මේ වනවිට පැවත්වී ඇති තරගවලට අනුව (ජුනි මස 07 වන දින වන විට) එම ශ්‍රේණි සටහනේ පිළිවෙලින් කණ්ඩායම් පසුවන්නේ මෙසේය. බංග්ලාදේශය, එංගලන්තය, පාකිස්තානය,ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, ඇෆ්ගනිස්තානය, කොදෙව්, ඉන්දියාව,නෙදර්ලන්තය, අයර්ලන්තය, සිම්බාබ්වේ, දකුණු අප්‍රිකාව, හා ශ්‍රී ලංකාව ලෙස ය. මේ අනුව මුල් ස්ථාන හත අතරට ඒමට ඉන්දියාව හැර සෙසු රටවල් අතර පවතිනුයේ තියුණු සටනකි.

කෙසේ නමුත් අවසන් කණ්ඩායම් අට අතරට පැමිණීමට අනිවාර්යයෙන්ම ටෙස්ට් තත්ත්වයේ සිටින කණ්ඩායම් හතරකට හෝ පහකට නොහැකි වනු ඇතැයි පිළිගත යුතු ය. මේ අනුව ඔවුනට කලින් සඳහන් කළ පරිදි අනෙකුත් ටෙස්ට් වරම් නොමැති රටවල් සමග අවසන් ස්ථාන දෙක සඳහා සටන් වැදීමට සිදුවීම අනිවාර්ය තත්ත්වයකි. එමෙන්ම දැනට පවතින තත්ත්වයට අනුව තවත් අමතක නොකළ යුතු කරුණක් වන්නේ 2023 න් පසු 2027 පැවැත්වෙන ලෝක කුසලාන තරගමාලාවේ සුපර් ලීග් වටයට කෙලින්ම තෝරා ගැනෙනුයේ මෙවර සුපර් ලීග් වටයේ පිළිවෙලින් 12 වැනි ස්ථානය දක්වා පැමිණෙන කණ්ඩායම් පමණක් වීමය.

මෙවර 13 වැනියා යම් හෙයකින් තෝරා ගැනීමේ වටයේ දී ලිග් 02 ශුරයින්හට වඩා පසු පසට ගියහොත් ලීග් 02 ශුරයින් මීළඟ තරගාවලියේ (2027) අංක 13 ස්ථානය හිමිකර ගෙන සුපර් ලීග් වටයේ තරග වදිනු ඇත. එවිට මෙවර 13 වැනි ස්ථානය හිමි කර ගන්නා කණ්ඩායම ටෙස්ට් තත්ත්වයේ කණ්ඩායමක් වුවද බොහෝ දුරට සිදුවනු ඇත්තේ 2027 තරගමාලාව සඳහා සුපර් ලීග් වටයේ නොව ලිග් 02 යටතේ ටෙස්ට් වරම් නොමැති රටවල් සමග මුලින්ම සුදුසුකම් අත් කරගැනීමේ තරගවලට මුහුණ දීමට ය.

(2027 තරගමාලාව සඳහා කණ්ඩායම් 14 ක් සහභාගී කරවීමට පසුගියදා ජගත් ක්‍රිකට් සමුළුව ගත් තීරණයට අනුව සමහර විට ඉදිරියේදී මෙහි යම් වෙනසක් සිදුවිමට ඉඩ තිබේ.)

 

Comments