
ලෝකයම චංචල භාවයක වෙළී ඇත. මෙතෙක් කලක් අධිවේගයෙන් හා නොඉවසිල්ලෙන් යුතු ව අනාගතය දෙසට දිව යමින් තිබූ ලෝකය දැන් සිටින්නේ මන්දගාමී භාවයක පමණක් නොව අවිනිශ්චිත බවක පැටලී ගෙන ය. මෙම අවිනිශ්චිත භාවය තුළින් සමාජ පද්ධතිය තුළ නිර්මාණය කරමින් ඇත්තේ අපේක්ෂා භංගත්වය ය.
එකී අපේක්ෂා භංගත්වයෙන් ලෝකය මුදා ගැනීමට වහ වහා කටයුතු කළ යුතු ව ඇත. ඒ සඳහා ප්‍රමුඛ ව පෙරට පැමිණෙන ක්ෂේත්‍ර රාශියක් වෙයි. එකී අපේක්ෂා භංගත්වයෙන් ලෝකය හා ලෝවැසියා මුදා ගැනීමට උත්සහ දරන විවිධ ක්ෂේත්‍ර අතරේ ක්‍රීඩාවට හිමි වී ඇත්තේ ප්‍රමුඛ ස්ථානයකි.
ලෝකයේ පාපන්දු පිටිය, ටෙනිස් පිටිය මෙන්ම ක්‍රිකට් පිටිය ද උණුසුම් ව තිබීම ඊට කදිම නිදර්ශනයකි. ඒවා හැකි තාක් සක්‍රිය භාවයක් දක්වමින් ඇත්තේ මෙම මූලික අරමුණ සාක්ෂාත් කර ගැනීමේ අපේක්ෂාව පෙරදැරිවය. ඒ අනුව ජපානයේ නැඟ ආ ජන විරෝධතා නොසලකා හරිමින් මානව ශිෂ්ටාචාරයේ මහා ක්‍රීඩා උලෙළ සේ සැලකෙන ඔලිම්පික් උලෙළ කෙසේ හෝ ටෝකියෝ නුවර සංවිධානය කරන්නට සැලසුම් සකස් කරනුයේ ඒ අනුව ය.
මෙම ඔලිම්පික් තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමට මේ දිනවල ලෝකය තුළ නිර්මාණය වී ඇත්තේ දැඩි උනන්දුවකි. ඇතැම් රාජ්‍යයන් ඔලිම්පික් තරගාවලිය නියෝජනය නොකරන බව දැනටමත් සැක පහළ කර තිබුණ ද සෙසු බොහෝ රටවල් තැත් දරමින් සිටිනුයේ කෙසේ හෝ ඊට සහභාගි වන්නට ය. ඒ වෙනුවෙන් අවස්ථාව දිනා ගැනීම ය. එසේ සුදුස්සන් වැඩි දෙනෙක් නිර්මාණය කර ගන්නට උත්සාහ කරන රාජ්‍යන් අතරට ශ්‍රී ලංකාව ද අයත් වන්නේ ය.
එය එසේ දැඩි උනන්දුවක් වී ඇත්තේ යම් හෙයකින් ලොව ප්‍රබල තරගකරුවන් ටෝකියෝ ඔලිම්පික් උලෙළ වර්ජනය කළ හොත් නිර්මාණය විය හැකි තත්ත්වය උපකල්පනය කරමිනි. ඇතැම් විට එවැනි තත්ත්වයක් උද්ගත වුව හොත් ඔලිම්පික් පදක්කමක් කෙසේ වෙතත් ඔලිම්පික් ක්‍රීඩා උලෙළක අවසන් පූර්ව වටයක් දක්වා පැමිණීමට හෝ අවස්ථාවක් උදා වෙතැයි අපේක්ෂා තබා ඇති රාජ්‍යයන් අතරට ශ්‍රී ලංකාව ද අයත් වන්නේ යැයි කිව හැකි ය.
දැනට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ටෝකියෝ ඔලිම්පික් තරගාවලියට සහභාගි වීම සඳහා ක්‍රීඩක, ක්‍රීඩිකාවන් කීප දෙනකුම සුදුසුකම් ලබා තිබේ. බැඩ්මින්ටන්, සංදර්ශනාත්මක තුරඟ තරග, ඉලක්කයට වෙඩි තැබීම, ජිම්නාස්ටික් සුදුසුකම් සම්පූර්ණ කළ ඒ ක්‍රීඩා අතර වෙයි.
එසේම ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඔලිම්පික් යන්නට මලල ක්‍රීඩක, ක්‍රීඩිකාවන් කීප දෙනකුම සිටිනුයේ සුදුසුකම් ලාභීන් නවාතැන් ගන්නා ක්‍රීඩක ගම්මානයේ එළිපත්තේ පොරොත්තු වෙමිනි. උස පැනීමේ ක්‍රීඩක තිවංක පෙරේරා හා මීටර් 100 ධාවක යුපුන් අබේකෝන් මෙන්ම මීටර් 3000 බාධක දිවීමේ ශූරී නිලානි රත්නායක සිටිනුයේ ඒ අතර වඩාත් ආසන්නයේ ය.
මලල ක්‍රීඩා සංගමය විශ්වාස කරන ආකාරයට මීටර් 100 ධාවන ශූර යුපුන් අබේකෝන් ලොව හොඳම ක්‍රීඩකයන් පනස් දෙනා අතරට ශ්‍රේණිගතව ඇත. එසේම මීටර් 3000 බාධක දිවීමේ ශූරී නිලානි රත්නායක රැඳී සිටිනුයේ ලොව හොඳම ක්‍රීඩිකාවන් 40 දෙනා අතර ය. ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමය නිල වශයෙන් නිවේදනය කළ දිනයක ඔවුන්ගේ ඔලිම්පික් සහභාගිත්වය නිශ්චය වීමට නියමිත ය.
මේ අතර ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය ඔලිම්පික් පරිසාධනය සහතික කර ගැනීමේ අවසන් උරගා බැලීම වශයෙන් කසකස්ථානයේ පැවැත්වීමට නියමිත වූ ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලියකට සහභාගි වීමට උත්සාහයක් ගනිමින් සිටියේ ය. එහෙත් වීසා බලපත් ලබා ගැනීමේ අපහසුතාව සහ අධික ගුවන් ගමන් ගාස්තු පියවා ගැනීම යන කරුණු සමෝධානික කර ගනිමින් එම උත්සාහය අතහැර දැමීමට මලල ක්‍රීඩා සංගමය පසුගිය දා කටයුතු කළ බව නිවේදනය කළේ ය.
එය එසේ කියා ඔලිම්පික් තරගාවලියට සහභාගි කරවන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම සීමා කිරීමට එම සංගමය කිසිදු උත්සාහයක් ගෙන නැත. කොටින්ම පවසන්නේ නම් එසේ නොහැකි යැයි කියා එකී උත්සාහය අතහැර දැමීමට එම සංගමයේ කැමැත්තක් නොවේ. එහෙයින් ඒ සඳහා අවසන් අවස්ථාව ලෙස ඉන්දියාවේ පටියාලා නුවර පැවැත්වෙන මලල ක්‍රීඩා තරගයකට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමක් සහභාගි කරවා ගැනීමට ඔවුහු දැඩි උත්සහයක නිරතව සිටින්නේ එහෙයිනි.
එහෙත් මේ අවස්ථාවේ ඉන්දියාවට ගොස් සුදුසුකම් සපුරා යළි ටෝකියෝ යන්නට පරිසාධන හැකියාවන් දිනා ගැනීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් අප ගැඹුරින් සලකා බැලිය යුතු ව තිබේ. අප එසේ කියන්නේ ඉන්දියාව මේ වන විට රටක් වශයෙන් හා ජන සමාජයක් ලෙස කොවිඩ් වසංගතයෙන් දැඩි ලෙස පීඩා විඳිමින් සිටින හෙයිනි. ඒ පීඩා විඳීම පාලනයෙන් ගිලිහුණු ස්වභාවයක් උසුලමින් තිබේ. ඉන්දියාව පූර්ණව අතීත කාලයේ දැක්වුණු ආකාරයට විසාලා මහනුවරක් වැනි ය. තැන තැන ගිනි ගන්නා මළ මිනී ය. නිවසින් නිවස වාර්තා වන්නේ රෝගී වීම්, මිය යෑම් හා පලා යෑම් ය.
දැන් ඉන්දියාවේ කොවිඩ් වයිරසයන් දෙමුහුම්, තෙමුහුම් ආදි විවිධ ස්වරූපයන්ගෙන් ව්‍යාප්ත වෙමින් ඇත. නොයෙකුත් විකෘතිකාරක කොවිඩ් වයිරසයන් එරට ජන සමාජය තුළ නිර්මාණය වෙමින් තිබේ. එසේ නම් මේ මොහොතේ ඉන්දියාවේ සංචාරය කිරීම වඩා අසීරු ය. එසේම අයෝග්‍යය ය. එහෙයින් ඔලිම්පික් සුදුසුකම් සොයා මලල ක්‍රීඩා වැනි ඉසව්වන් නියෝජනය කරන ක්‍රීඩකයන් ඉන්දියාවට යැවීම කිසිසේත්ම සුදුසු නැත.
අප එසේ කියන්නේ ඔලිම්පික් සහභාගිත්වයට සුදුසුකම් ලබා ගැනීමට වඩා රටක සමස්ත සමාජය සෞඛ්‍යාරක්ෂිතව ජීවත් කරවීම වඩා ප්‍රමුඛ තලයේ ලා සැලකිය යුතු හෙයිනි. තවත් ආකාරයකින් කියන්නේ නම් ඔලිම්පික් සභභාගිත්ව පදක්කම් සොයනවාට වඩා සෞඛ්‍යාරක්ෂාවේ පදක්කම් සොයා ගැනීම වඩා ප්‍රමුඛ ය. ජනතාවගේ ජීවත් වීමේ අයිතිය ආරක්ෂා කර දීම මූලික ය.
එහෙයින් ජාතික තලයේ මලල ක්‍රීඩකයන් ඉන්දියාවට යවා අනාරක්ෂාවකට විවෘත කිරීම කිසිසේත්ම සිදු නොකළ යුතු ය. එය ඔලිම්පික් පදක්කමකට වඩා වටිනා සෞඛ්‍යාරක්ෂිත පදක්කමක් වනු ඇතැයි මලල ක්‍රීඩා බලධාරීන් තේරුම් ගත යුතු ය. එසේම එකී තීරණය ලබා ගැනීමට ක්‍රීඩා බලධාරීන්ද පසුගාමී නොවිය යුතු යැයි කිව හැකි ය.










