නිලවරණ සටන් අවසන සැකසෙන දුර ගමන් යමු දැන | සිළුමිණ

නිලවරණ සටන් අවසන සැකසෙන දුර ගමන් යමු දැන

 

කොවිඩ් වසංගතය කියා ක්‍රීඩා නිලවරණ නොපවත්වන්නට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට අවසරයක් හිමි ව නැත. ක්‍රීඩා සංගම් සතු ව්‍යවස්ථා මඟින් ද එය තහවුරු කර තිබේ. එහෙයින් පසුගිය කාල වකවානුවේ විවිධ ක්‍රමවේද යොදා ගනිමින් නිලවරණ සංවිධානය කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශයට අනුබද්ධ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු කළේ ය. මේ එලෙස පැවැති ක්‍රීඩා නිලවරණ කීපයක තොරතුරු ය.

ශ්‍රී ලංකා හෑන්ඩ්බෝල් සම්මේලනය

ශ්‍රී ලංකා හෑන්ඩ්බෝල් සම්මේලනයේ අභිනව සභාපතිවරයා ලෙස කේ. උපාලි රාජපක්ෂ මහතා නිතරගයෙන්ම තේරී පත්විය.

2010 සිට 2014 දක්වා ශ්‍රී ලංකා හෑන්ඩ්බෝල් සම්මේලනයේ සභාපති ධුරය හෙබ වූ කේ. උපාලි රාජපක්ෂ මහතා මෙවර නිලවරණයේ දී නැවත වතාවක් අදාළ තනතුරට පත් වීම කැපී පෙනුණි.

මෙවර නිලවරණයේ දී කැපී පෙනුණු සිද්ධියක් බවට පත්වූයේ භාණ්ඩාගාරික තනතුර සඳහා පැවැති ඡන්ද විමසීම ය. එහිදී එම්. රොෂාන් නිලන්ත මහතා සහ ආර්. ඒ. එම්. ප්‍රියදර්ශනී මහත්මිය අතර පැවැති මනාප සටනින් ජයග්‍රහණය කිරීමට රොෂාන් නිලන්ත මහතාට හැකි විය.

සූම් තාක්ෂණය ඔස්සේ පැවැති ඡන්ද විමසීමේ දී රොෂාන් නිලන්ත මහතා මනාප 30 ක් ලබා ගත් අතර, ප්‍රියදර්ශනී මහත්මියට හිමි වූයේ එක් මනාපයක් පමණකි.

එච්. ඒ. එම්. එස්. බී. සේනානායක මහතාට මෙවර ලේකම් ධුරය හිමි වූ අතර සම උපසභාපතිවරුන් ලෙස සී. ඒ. මායාදුන්න, එල්. ඒ. ඒ. කුමාර, කේ. යෝගරත්නම් සහ එච්. එම්. එන්. මධුෂාන් යන මහත්වරුන් තෝරා ගැනිණි.

ටී.ඒ.ජේ.පෙරේරා මහතා උපලේකම් ලෙස පත් කෙරුණු අතර ජී. ජී. අයි. දර්ශන මහතාට උපභාණ්ඩාගාරික ධුරය හිමි විය.

ශ්‍රී ලංකා කායවර්ධන සම්මේලනය

පවතින කොවිඩ් වයිරසයෙන් ආරක්ෂා වීම සඳහා අභිනවයෙන් හඳුන්වා දෙන ලද සූම් තාක්ෂණය ඔස්සේ ම ශ්‍රී ලංකා කායවර්ධන සම්මේලන නිලවරණය ද පැවැත්විණි. එහිදී වැඩි ඡන්ද 18 ක් ලබා ගනිමින් මෙවර සභාපති ධුරයට කේ. එච්. ලයනල් මහතා තේරී පත් විය.

මෙවර සභාපති ධුරය පැවැති මනාප සටනින් ජේ. රේණුක සමන්තිලක මහතා ලබා ගන්නා ලද ඡන්ද 03 ට එරෙහිව, ඡන්ද 21 ක් ලබා ගනිමින් මෙවර සභාපති ධුරයට පත් වන්නට කේ.එච්.ලයනල් මහතාට හැකි විණි.

අදාළ නිලවරණයේදී උපලේකම් ධුරය සඳහා තුන්කොන් සටනක් ක්‍රියාත්මක වූ අතර, එහි දී වැඩි ඡන්දයෙන් ටී. කේ. කේ. චතුරංග මහතා එම තනතුරට තේරී පත් විය.

ටී.කේ.කේ.චතුරංග මහතා ඡන්ද 18 ක් ලබා ගත් අතර, පී.කේ. කොලොන්නගේ මහතාට සහ ජී.වී.වී. පීරිස් මහතා ට ලබා ගත හැකි වූයේ ඡන්ද 03 බැගිනි.

මෙවර නිලවරණයේ දී ලේකම් ධුරයට කේ. එන්. ද සිල්වා මහතා පත් කෙරුණු අතර, භාණ්ඩාගාරික ධුරය එස්. එල්. එච්. සමන්සිරි මහතා ට හිමි විය.

කිත්සිරි බණ්ඩාර මහතා සහකාර භාණ්ඩාගාරික ධුරයට පත් කෙරුණි.

ශ්‍රී ලංකා කායවර්ධන සම්මේලන ව්‍යවස්ථාවට අනුව හිමි ව ඇති උපසභාපති ධුර ත්‍රිත්වය සඳහා ම නිලධාරීන් පත් කර ගැනීමට අපොහොසත් වීම මෙදින දක්නට ලැබුණු කැපී පෙනුණු ම සිද්ධිය විය. එදින උපසභාපතිවරු දෙදෙනකු පත් කර ගැනීමට හැකි වුවත්, එක් ධුරයක් සඳහා සුදුස්සකු පත් කිරීම ඉදිරියේදී සිදු කිරීමට නිලවරණ කමිටුව තීරණය කළේ ය.

ආර්.එම්. බණ්ඩාර මහතා සහ කේ. තිලක් ජයවීර මහතා පමණක් උපසභාපතිවරුන් ලෙස පත් කෙරුණි.

ශ්‍රී ලංකා ගොල්ෆ් සම්මේලනය

ඉතාමත් සාමකාමී ස්වභාවයක් ගත් ශ්‍රී ලංකා ගොල්ෆ් සම්මේලන නිලවරණයේ දී සභාපති ඇතුළු සියලුම ධුර සඳහා නිලධාරීන් නිතරගයෙන්ම පත්විණි.

ඒ අනුව මෙවර සභාපති ධුරයට ආර්. පීරිස් මහතා පත් කෙරුණු අතර ලාල් රාජ් වික්‍රමතුංග මහතාට ලේකම් ධුරය හිමි විය.

ජී. කේ. සුදත් කුමාර මහතා භාණ්ඩාගාරික ධුරයට පත් වුණේ ය.

ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් අමල් එදිරිසූරිය මහතාගේ අධීක්ෂණය යටතේ නිලවරණ කමිටුව විසින් මෙම තාක්ෂණික හමුව ක්‍රියාත්මක කෙරුණු අතර, සෙසු නිලධාරීන් ඉදිරියේ දී පැවැත්වෙන‍ ශ්‍රී ලංකා ගොල්ෆ් සම්මේලන විධායක කමිටු රැස්වීමේ දී පත් කිරීමට නියමිත ය.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය

පසුගිය සඳුදා (07) දහවල් කොළඹ දී පැවැත්වීමට නියමිත ව තිබුණු ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන නිලවරණය දින නියමයක් නොමැති ව කල් දමන්නට සිදු වී ඇත්තේ මුළු දිවයිනටම බල පැවැත්වෙන පරිදි ජූනි 14 වැනි දින දක්වා සංචරණ සීමා පැනවීමට රජය ගත් තීරණයත් සමඟය.

මීට පෙර අවස්ථා ත්‍රිත්වයක දී ම මෙවර පාපන්දු නිලවරණය කල් දැමීමට පාපන්දු නිලවරණ කමිටුවට සිදු වීම ද ඒ අතරේ කැපී පෙනේ.

රහස් ඡන්දයක් ලෙස ක්‍රියාත්මක කෙරෙන මෙරට පාපන්දු නිලවරණය සඳහා සහභාගී වීමට නියමිත නිලධාරීන් සංඛ්‍යාව 192 කි. ඒ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ලියාපදිංචි පාපන්දු ලීග 64 ක් නියෝජනය කරමිනි.

ශ්‍රී ලංකා කැරම් සම්මේලනය

පසුගිය සඳුදා (07) දින පැවැත්වීමට සැලසුම් කර තිබුණු ශ්‍රී ලංකා කැරම් සම්මේලන නිලවරණය ද ජුනි මස 27 දින දක්වා කල් දැමීමට ක්‍රීඩා අධ්‍යක්ෂ ‍ජෙනරාල් අමල් එදිරිසූරිය මහතා පියවර ගත්තේ සංචරණ සීමා පැනවීමට රජය ගත් පියවරත් සමඟය.

27 දින පෙරවරු 10.00 ට කොළඹ දී පැවැත්වීමට සැලසුම් කර ඇති මෙවර නිලවරණය සඳහා සාමාජික සාමාජිකාවන් 100 කට ආසන්න ප්‍රමාණයක් සහභාගී වීමට නියමිත ය.

ශ්‍රී ලංකා හොකී සම්මේලනය

පසුගිය (31) දින සූම් තාක්ෂණය උපයෝගි කර ගනිමින් පැවැත්වීමට නියමිත ව තිබුණු ශ්‍රී ලංකා හොකී සම්මේලන නිලවරණය දින නියමයක් නොමැතිව කල් දමන්නට සිදු වී ඇත්තේ රාජ්‍ය සේවා හොකී සංගමයේ සභාපති ලෙස කටයුතු කරන මලීන් ලියනගේ මහතා කොළඹ දිසා අධිකරණයෙන් ලබා ගන්නා ලද වාරණ නියෝගයක් හේතුවෙනි.

රාජ්‍ය සේවා හොකී සංගමයේ විධායක කමිටු අවසරයකින් තොරව කමල් පුෂ්පකුමාර මහතා මෙවර නිලවරණයේ දී සභාපති ධුරයට ද දර්ශන විජේසිංහ මහතා උපසභාපති ධුරයට ද තරග කිරීම වළක්වාලන ලෙස ඉල්ලමින් මලීන් ලියනගේ මහතා අදාළ වාරණ නියෝගය ලබා ගෙන තිබේ.

ඒ අනුව අධිකරණ තීන්දුවෙන් අනතුරුව මෙවර නිලවරණය පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍යාංශය කටයුතු කර ගෙන යයි.

ශ්‍රී ලංකා සවි එසවීමේ සම්මේලනය

ද්වි පාර්ශ්වික සටනක් බවට පත්ව ඇති ශ්‍රී ලංකා සවි එසවීමේ සම්මේලන නිලවරණය ද දින නියමයක් නොමැතිව කල් දමන්නට සිදු වී තිබේ.

ඒ එහි එක් පාර්ශ්වයක් විසින් ලබා ගන්නා ලද වාරණ නියෝගයක් හේතුවෙනි.

මෙවර නිලවරණය සඳහා සාමාජික සංගම් නම් කිරීමේ දී අසාධාරණයක් සිදු වී ඇතැයි කියමින් අදාළ වාරණය ගෙන ඇති බව වාර්තා වෙයි.

සපුමල් වීදිය බණ්ඩාර

Comments