
කොංගෝවේ ගිනි කඳු නගරය යළි ජනාවාස වේ
පසුගිය මැයි 22 වැනිදා හදිසියේ පුපුරා ගිය කොංගෝවේ නයිරාගොන්ගෝ ගිනිකන්ද හේතුවෙන් ජනශූන්‍ය කරවනු ලැබූ ගෝමා නගරයට මේ වන විට යළිත් ජනතාව පැමිණෙමින් සිටින බව වාර්තා වේ. නගරයේ බොහෝ ගොඩනැගිලි කිනි කන්දේ බලපැම හේතුවෙන් කැඩී බිඳී ගොස් තිබෙන බවත්, ඒ අතර නගරයේ ප්‍රධාන රෝහලද වන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.
ගිනිකන්ද පුපුරා යෑමෙන් ලාවා ගංගා දෙකක් නිර්මාණය වී නගරය දෙසට ගලා ආ අතර පුද්ගලයන් 150ක පමණ පිරිසක් ඒ හේතුවෙන් මරුමුවට පත් වූහ. ඒ සමඟම ගිනිකන්දට ඉතා ආසන්නයේ පිහිටා තිබූ ගෝමා නගරයෙන් ලක්ෂ හතරක පමණ ජනතාවක් ඉවත් කිරීමට කොංගෝ රජය කටයුතු යෙදීය. නගරයේ සමස්ත ජනගහනය ලක්ෂ හයක් පමණ විය.
ලෙබනනය බිමටම හාන්සියි
ලෙබනනයේ මේ වන විට ඇතිවී තිබෙන ආර්ථික අර්බුදය 19 වැනි සියවසෙන් පසු ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුද අතරින් එකක් වන බව පසුගියදා ලෝක බැංකුව ප්‍රකාශ කර සිටියේය. මේ වන විට ඉදිරිපත්කර ඇති වාර්තා අනුව 2020 වසරේදී ලෙබනන ආර්ථිකය සියයට 10කින් පහත වැටී තිබිණි.
බිඳ වැටෙන ලෙබනන ආර්ථිකයට ශක්තිය දීමට පවත්නා පාලනයට නොහැකි වී ඇති අතර මේ වන විට ලෙබනන දේශපාලනයද අසමත් බව තහවුරු වෙමින් තිබේ. ලෙබනන ජනතාවගේ ආදායම් ඉතා විශාල වශයෙන් පහත වැටෙමින් පවතින අතර බොහෝ දෙනා රැකියා අපේක්ෂාවෙන් විදේශ ගත වෙමින් සිටින බවද වාර්තා වේ.
කඩෙන් ගන්න මවු කිරි
ඇමරිකානු ආධාර මත ක්‍රියාත්මක වන පර්යේෂණාගාරයක විද්‍යාඥයන් පිරිසක් පසුගියදා ප්‍රකාශ කර සිටියේ ඔවුන් ලොව ප්‍රථම වරට මවු කිරි විදශාගාරයක් තුළදී සාර්ථකව නිපදවූ බවයි. මේ පර්යේෂණ මේ වන විට වසර පහකට අධික කාලයක් පුරා ක්‍රියාත්මකව පැවති අතර පසුගියදා ඔවුන්ට සාර්ථක ප්‍රතිඵල අත් කර ගැනීමට හැකියාව ලැබී තිබේ.
ඉදිරියේදී මේ මවු කිරි නිෂ්පාදනය වෙළෙඳ පොළටද ඉදිරිපත් කිරීමට ඔවුන් අදහස් කරන අතර එය නම් කරනු ඇත්තේ ‘බයෝමිල්ක්’ යන නමිනි. ඒ අනුව යම් හේතු මත තම දරුවන්ට මවු කිරි දීමට අපොහොසත් වන මවුවරුන්ට මේ මවු කිරි කඩෙන් මිලදී ගෙන තම දරුවන්ට ලබා දීමට හැකියාව ලැබෙනු ඇත.
කෙසේ වුවද බයෝ මිල්ක් මිලදී ගැනීමට තවත් වසර තුනක්වත් ගත වනු ඇති බව විද්‍යාඥයන් දැනුම් දී තිබේ.
ඉරානය කොයිබටද?
ඉරාන ජනතාවට නව ජනාධිපතිවරයකු පත් කර ගැනීමේ අවස්ථාව මේ මාසයේදී හිමිවීමට නියමිතය. ඉරානය ලෝකයේ හිතුවක්කාර රටවල් කිහිපය අතර ඉදිරියෙන්ම සිටියද එය ප්‍රජාතන්ත්‍රවාදය ඉහළින්ම ක්‍රියාත්මක වන රටක් බව අමතක කළ යුතු නැත. එහි ආධ්‍යාත්මික නායකයා වෙනස් නොවූවද පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය මෙන්ම පක්ෂ දේශපාලනයද ක්‍රියාත්මකය.
පසුගිය 2017 වසරේදී පැවති ජනාධිපතිවරණයෙන් පසුව මේ වන විට ඉරානයේ දේශපාලනය ඉතා ප්‍රබල වෙනස්කම්වලට භාජනය වෙමින් තිබේ. ඒ සඳහා ගත වූ වසර කිහිපයේදී ඉරානයට මුහුණ දීමට සිදුවූ සිදුවීම්වලද අතුරු බලපෑම් තිබූ බව අමතක කළ යුතු නැත.
කෙසේ වුවද මේ මාසයේදී ඉරානය ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිත අතර එරට නව පාලකයා කවරෙක්දැයි ජනතාව තීරණය කරනු ඇත.
පකිස්තානය යන්තම් ගොඩ
පසුගිය වසරෙදී සිදුවූ දළ දේශීය නිෂ්පාදිතයේ සියයට 4ක වර්ධනයත් සමඟ පකිස්තානය මෙතෙක් පැවති දරුණු ආර්ථික තත්ත්වයෙන් මිදී ඇතැයි ප්‍රකාශ කළ හැකි බව පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් පසුගියදා පවසා සිටියේය.
පකිස්තානය පසුගිය දශකයක පමණ කාලය පුරා ආර්ථික අර්බුදයකට ගමන් කරමින් තිබූ අතර එහි දරුණුතම අවස්ථාව අදින් වසර තුනකට පමණ පෙර දී අත්දකින්නට එරට ජනතාවට සිදුවිය. එම අවස්ථාව වන විට ඉම්රාන් ඛාන් අගමැති ධූරයට පත්වී ගත වී තිබුණේ කෙටි කාලයක් පමණක් වූ අතර ඔහු දැඩි ආයාසයෙන් යුතුව රටේ ආර්ථික අවපාතය යළි සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒමට කටයුතු යෙදුවේය. දැන් ඔහු මෙවර ආඩම්බරයෙන් යුතුව පවසා සිටින්නේ රටේ ආර්ථිකය ක්‍රමයෙන් යළි යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන බවයි.