![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2021/06/04/19.jpg?itok=aPBx1SP7)
රාජ්‍ය නායකයකු වීම පහසු කරුණක් නොවේ. ඒ සඳහා ජනතා කැමැත්ත ලබා ගත යුතු වන අතර තම පාලන කාලය අවසන් වන තෙක් එම කැමැත්ත රඳවා ගතබා ගැනීමටද දක්ෂ විය යුතුය. එහිදී රාජ්‍ය නායකයන්ගේ පෞද්ගලික ජිවිතයට ජනතා අවධානය හිමිවීම වැළැක්විය නොහැකිය. බොහෝ රටවල ජනතාවට මුණ ගැහෙන්නේ කීර්තිමත් පෞද්ගලික ජීවිත හිමි රාජ්‍ය නායකයන් වන අතර එය රටින් රට සංස්කෘතිය අනුව වෙනස් වන බව ද කිව යුතුය. විශේෂයෙන්ම බ්‍රිතාන්‍යයේ මෙන්ම ඇමරිකාවේ රාජ්‍ය නායකයා ආදර්ශමත් පවුල් ජීවිතයක හිමිකරුවකු විය යුතු බවට රීතියක් මේ වන විටත් දක්නට ලැබෙන බව කිව යුතුය.
මීට පෙර කසාද දෙකකින් දික්කසාද වූ, නිළියන් සහ තවත් කාන්තාවන් රැසක් සමඟ තම නම පටලවාගෙන සිටි ඩොනල්ඩ් ට්‍රම්ප් තම පාලන කාලය තුළ ඉතා අපහසුවෙන් වුවද තම තුන්වැනි බිරිය සමඟ පවුල් ජීවිතයක් ගෙන යෑමට කටයුතු කළේ එබැවිනි. සැබවින්ම ඊට පෙර ඇමරිකාවේ ජනාධිපතිවරුන් වූ බොහෝ දේශපාලනඥයන් යහපත් පවුල් ජිවිත ගත කරන බවට අවම තරමින් ලෝකය ඉදිරියේ හෝ පෙන්වීමට සමත් වූහ. කෙනඩි සහ ක්ලින්ටන් හැර බුෂ් පිය පුතුන්, ඔබාමා වැනි ජනාධිපතිවරුන් සැබවින්ම යහපත් සැමියෝ සහ පියවරු වූහ.
මේ සම්ප්‍රදාය ඇමරිකානු දේශපාලනයට පැමිණියේ බ්‍රිතාන්‍යයෙන් යැයි සිතිය හැකිය. බ්‍රිතාන්‍ය වික්ටෝරියානු සම්ප්‍රදාය තුළ යහපත් පාලකයා ආදර්ශමත් විය යුතු වූ අතර යහපත් පවුල් ජීවිතයක් ඔහු සතු වීම අනිවාර්ය විය. මේ සඳහා හොඳම උදාහරණය බ්‍රිතාන්‍ය රජ පවුල විය. බ්‍රිතාන්‍ය සම්ප්‍රදාය එළෙස වන විට, ඇමරිකානු පාලකයන් ඒ අනුව කටයුතු කරන විට ප්‍රංශය නම් තම අතිශය නිදහස් සංස්කෘතිය අනුව ආදර්ශමත් පවුල් ජීවිතයක් යන්න තුට්ටුවකට මායිම් කළේ නැත. ප්‍රංශ රාජ්‍ය නායකයන් ගේ පවුල් ජීවිත සැබවින්ම සමකාලීන ප්‍රංශයේ සමාජය නිරූපනය කිරීමට සමත්ය. ප්‍රංශය පාලනය කළ නිකලස් සාර්කෝසි, ප්‍රංශුවා ඔලන්ඩේ මෙන්ම වර්තමාන ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් ද සාම්ප්‍රදායික පවුල් ජිවිතවල හිමිකරුවන් නොවූ බව කිය යුතුය. දැන් ඔවුන්ගේ මඟ යමින් සිටින්නේ පුදුමයකට මෙන් බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන්ය.
බ්‍රිතාන්‍යයට ප්‍රංශයේ පවුල් විලාසිතා හුරු නැත. විශේෂයෙන් රාජ්‍ය පාලකයාට ටෝනි බ්ලෙයාර්ගේ වැනි පවුල් ජිවිතයක් තිබීම සාර්ථක දේශපාලනයක නිතර වීමට අමතර සුදුසුකමක් විය. එහෙත් වර්තමාන අගමැති බොරිස් ජොන්සන් නම් සැමවිටම සිටියේ එකී රාමුවට පිටතිනි.
පසුගියදා ඔහු රහසිගත කුඩා දේවමෙහෙයකින් පසු තම දරුවාගේ මව සමඟ විවාපත් වූයේය. මේ වන විට එම දරුවාට වසරකුත් මාසයක කාලයක් සම්පුර්ණ වී තිබිණි. මේ දරුවාට අමතරව බොරිස් ජොන්සන් තවත් දරුවන් සිවු දෙනෙකුට නීත්‍යනුකූල පිතෘභාවයද ලබා දී තිබේ. එසේ පැවසුවේ ඔහුගේ තවත් පෙම්වතියන්ට ඔහුගෙන් දරුවන් ලැබුණු බවටත්, තවත් අය ගැබ්ගත් නමුත් ගබ්සා වූ බවටත් වාර්තා පවතින බැවිනි. බොරිස් ජොන්සන්ගේ පසුගියදා සිදුවූ විවාහයට පෙර ඔහු දෙවරක් නිත්‍යනුකූලව විවාහ වී සිටි අතර එම විවාහයන් පවතින අතරම තවත් පෙම්වතියන් රැසක් ඇසුරු කළ බවටද තොරතුරු විය. ඔහු පළමු බිරිය සමග විවාහය පවතින අතරම දෙවැනි බිරිය සමඟද පෙම් සබඳතාවක් පැවැත්වූ අතර පළමු බිරිය දික්කසාද කොට දින දොළහකින් දෙවැනි බිරිය විවාහ කර ගත් අතර එතැන් සිට සති පහක් ගත වූ තැන දෙවැනි බිරිය ඔවුන් දෙදෙනාගේ පළමු දරුවා ප්‍රසූත කර සිටියාය.
වසර 25ක කාලයක් දෙවැනි බිරිය සමඟ විවාහ ජීවිතය ගෙවූ බොරිස් ජොන්සන් ඇයගෙන් වෙන් වූයේ වසර හතරක් පෙම්වතියක් සමඟ කල් ගෙවූවේය. ඔහුට ඔහුගේ වර්තමාන බිරිය මුණගැසුනේ ඒ අතරය.
ඇය සැබවින්ම බ්‍රිතාන්‍ය කොනසර්වටිව් පක්ෂයේ කැපී පෙනෙන සාමාජිකාවක් වූවාය. ඇය එම පක්ෂයේ මූලස්ථානයේ සේවයේ යෙදී සිටියාය. ඇයට අගමැතිවරයා මුණ ගැසෙන අතර ඔවුන් නිත්‍යනුකූලව විවාහ වීමට පෙර මව් පිය පදවි ලැබූහ. ඒ පසුගිය 2020 වසරේ අප්‍රේල් මාසයේදීය. එම මාසයේදීම කොවිඩ් ආසාදනය වීමෙන් බොරිස් ජොන්සන් අගමැතිවරයාට ද රෝහල් ගතවීමට සිදුවිය.
කෙසේ වුවද පසුගිය මැයි 29වැනිදා අගමැතිවරයා තම අලුත උපන් දරුවාගේ මව වන කැරී සිමොන්ඩ්ස් සමඟ ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් දේවස්ථානයේදී විවාපත් වූයේ ඉතාම චාම් උත්සවයක් පවත්වමිනි. ඒ අනුව ඇය අගමැතිවරයාගේ තුන්වැනි නිත්‍යනුකූල බිරිය බවට පත්වූ අතර ඒ වන විට ඇයගේ වයස අවුරුදු 33ක් පමණක් විය. බොරිස් ජොන්ස්න් අගමැතිවරයා මේ වන විට තම ජීවිතයේ පනස් හත් වැනි කඩඉම පසුකරමින් සිටින්නේය.
බොරිස් ජොන්සන්‌ගේ මේ හැසිරීම් රටාව යෝග්‍ය වන්නේ බ්‍රිතාන්‍යට නොව ප්‍රංශයට යැයි කිවහැකිය. ඒ පසුගිය කාලයේ ප්‍රංශය පාලනය කළ ජනාධිපතිවරුන්ගේ හැසිරීම් රටා දෙස බැලීමෙනි.
2007 සිට 2012 දක්වා ප්‍රංශය පාලනය කළ නිකලොස් සාර්කෝසි විවාහ වූයේ කාර්ලා බෲනි සමගය. ඇය ජනාධිපති ආර්යාව වීමට පෙර දෙවරක් සුප්‍රකට ප්ලේ බෝයි සඟරාවේ කවරයේ පෙනී සිටියාය. එමෙන්ම ඇය ඉතා දීර්ඝ කාලයක් සුප්‍රකට ගායක මයික් ජගර්ගේ අනියම් බිරිය ලෙසින්ද සිටියාය.
කෙසේ වුවද සාර්කෝසි ඇයව මැණිකක් ලෙස රැකි අතර ඇය සමඟ විසීමට තට්ටු නිවාසයක්ද මිලදී ගත්තේ දුරදිග නොසිතමිනි. එහෙත් ඔහු තමා මිලදී ගත් තට්ටු නිවාසයේ කෙළවරේ නිවස මයික් ජගර්ට අයත් බව දැනගත්තේ බිරිය සමඟ එහි පදිංචියටද ගිය පසුවය. ජනාධිපති සාර්කෝසි වහාම තමා මිලදී ගත් නිවස අතහැර වෙනත් නිවසක් කරා පදිංචිය වෙනස් කළේ මයික් ජගර්ට ඇති ජනප්‍රියත්වය හමුවේ තමා හුදෙක් ජනාධිපතිවරයා පමණක්ම බව හොඳින්ම වටහා ගත් නිසාවෙනි.
සාර්කොසිට පසුව බලයට පත් වූ ප්‍රංශුවා ඔලන්ඩේද තනිකඩයෙක් විය. එහෙත් ඔහු සෑම විටම තමා සමඟ තම පෙම්වතියද දේශපාලන වේදිකාවට පවා ගෙන ආවේය. ඇය ජනාධිපතිවරණයේදී පවා ඔහුට සහයෝගය දැක්වූවාය. ජනාධිපතිවරණයෙන් පසු ඔවුන් එක් නිවසක වාසය කළද විවාහ වූයේ නැත. පසුව ඔවුන් දෙදෙනා දෙපසකට වූ අතර පසුව පැවති මැතිවරණයෙන් එම්මානුවෙල් මැක්‍රෝන් ජය ලබා ගත්තේය.
එම්මානුවෙල් මැක්‍රෝන්ගේ පෞද්ගලික ජීවිතය සැබවින්ම සිනමා පටයකට සමාන කළ හැකි විය. ඔහු ප්‍රංශයේ ජනාධිපති ධූරයට පත් වන විට වයස යන්තම් 37ක් පමණක් විය. එහෙත් ඔහුගේ බිරිය ඒ වන විට 61 හැවිරිදි වියේ පසුවූවාය. සැබවින්ම ඇය ඔහුට වඩා වසර 24කින් වියපත් අතර ඇය ඔහුගේ උසස් පාසලේ ගුරුවරියක වූවාය. ඔවුන් මුලින්ම හමුවන විට ඇයට වයස 39ක් වූ අතර ඔහු 15 හැවිරිදි වියේ පසුවූයේය. ඇය 42වැනි වියේදී ඔහු 18 වැනි වියේදී ප්‍රේමයෙන් බැඳුණු ඔවුහු පසුව විවාපත් වූහ. අදටත් එම්මානුවෙල් මැක්‍රෝන් සාර්ථකව ප්‍රංශය පාලනය කරමින් සිටින අතර ඇය ඔහුට මනා සහයක් ලබා දෙමින් සිටින්නීය. එමෙන්ම වයස් පරතරය කොතෙක් වුවද ඔවුන් දෙදෙනා ආදරයෙන් ජිවත් වන බව නම් ලොවට පෙනේනේය.
කෙසේ වුවද ඇමරිකාව මෙන්ම බ්‍රිතාන්‍යයද තවමත් වික්ටෝරියානු සම්ප්‍රදායික සාර්ථක පවුල් ජිවිතයක් ආදර්ශමත් නායකයකු සතු විය යුතු බව විශ්වාස කරන්නේය. ඒ අනුව ඔබාමා මුළු ලෝකයේම ආදරය දිනා ගන්නා අතර ට්‍රම්ප් සහ ක්ලින්ටන් වැනි ජනාධිපතිවරු තම පවුල අමාරුවෙන් අල්ලාගෙන යමින් ජාම බේරා ගන්නෝය. මේ දෙස සිනාසෙමින් බලා සිටින රුසියාවේ පුටින් තම වියපත් බිරිය හිමින් සීරුවේ පසෙකට කරමින් සුන්දර ළාබාල තරුණියක් තම සහායට ගන්නේය. ලෝකයේ නායකත්වයට පැමිණීමේ දීර්ඝ කාලීන අරමුණෙන් යුක්තව දිගු ගමනක් යන චීන ජනාධිපතිවරයාට නම් පවුල් ජිවිතය තවත් එක් පැතිකඩක් පමණක් බව පෙනෙන්නේ ඔහු එයට ලබා දී ඇති වැදගත්කම අනුවය.
එහෙත් කිව යුතු වන්නේ පාලකයාගේ පවුල් ජිවිතය හෝ ඔහුගේ පෞද්ලිකත්වය කුමක් වුවද ඔහු තමා හොබවන ධූරයට සාධාරණයක් ඉෂ්ට කරන්නේ නම් ජනාතාවට එය ප්‍රමාණවත් වනු ඇති බවය.