ජාතිය වඳ වීමෙන් බේරෙන්නට චීන රජය නීති ලිහිල් කරයි | සිළුමිණ

ජාතිය වඳ වීමෙන් බේරෙන්නට චීන රජය නීති ලිහිල් කරයි

 

ජනගහනය යනු සම්පතක් නොව බෝම්බයක් බව අදින් දශක තුනකට පමණ පෙරදී විශේෂඥයන් සතුව පැවති විශ්වාසය විය. ඒ වර්ධනය වන වේගය අනුව අනාගතය නිශ්චය කිරීමෙන් ලැබුණු මතයකි. ඒ අනුව ලෝකයේ බොහෝ රටවල් ජනගහන වර්ධන වේගය පාලනය කිරීමට තම ජනතාවට උපදෙස් ලබා දුන්හ.

යුරෝපය පවුල් ඒකකය දරුවන් දෙදෙනකුට සීමා කිරීමට ජනතාවට උපදෙස් දෙන විට ඒ වන විටත් ලෝකයේ වැඩිම ජනගහනයට අදාළ වාර්තා තබා සිටි චීනය දරුවන් සෑදීම සම්බන්ධව තම රටේ ජනතාව අධෛර්යවත් කිරීමට කටයුතු කළේය. එහි අවසන් ප්‍රතිඵලය වූයේ එයින් දශක තුනක් - හතරක් ගත වන විට චිනයේ විවාහ වයස් කාණ්ඩයේ සිට පහළට තරුණ පරපුරේ හිඟයක් ඇති වීම යැයි කිව හැකිය.

මේ වන විට චීනය යළිත් තම රටේ ජනතාවට දරුවන් සෑදීම සම්බන්ධව දිරි දෙමින් සිටින්නේය. මීට පෙර අවස්ථාවකදී පනවන ලද නිති සංශෝධනය කරමින් දරුවන් දෙදෙනෙකු සෑදීමට අවස්ථාව ලැබෙන බව ජනතාවට දැනුම් දුන් චීන බලධාරීන් පසුගියදා ජනතාවට ප්‍රකාශ කර සිටියේ එක් පවුලකට දරුවන් තිදෙනෙකු ලැබීමේ අවස්ථාව හිමි වන බවයි.

දශක කිහිපයක් තිස්සේ දරුවන් ප්‍රතික්ෂේප කිරීමට හැඩගස්වනු ලැබූ චීන ජන සමාජය මේ වන විට පවුලකට එක් දරුවක් හෝ සෑදීමෙන් වැළකීමේ ප්‍රවණතාවක් ඇති වී ඇතැයි බෙයිජිං වාර්තා අනුව පැහැදිලි වේ. ඇතැම් චීන තරුණ පිරිස් විවාහය පවා ප්‍රතික්ෂේප කිරීමට පෙලඹී තිබේ.

ඇති වෙමින් තිබෙන සමාජ ප්‍රවණතාව වටහා ගත් චීන බලධාරීන් 1979 දී පනවනු ලැබූ එක් දරු ප්‍රතිපත්තිය දරුවන් දෙදෙනකු දක්වා වැඩි කිරීමට අවසර ලබා දුන්නේ 2015 වසරේදීය. එහෙත් එතැනින් වසර පහක් ගත වූ තැන එය දරුවන් තිදෙනෙකු දක්වා වැඩි කිරීමට අවසර ලබා දීමටත්, දරුවන් සෑදීමට ජනතාව පෙලඹවීටත් කටයුතු කිරීමට චීන බලධාරීන්ට සිදුවී තිබේ.

පසුගිය දශකය තුළ චීනයේ ජනගහණ වර්ධනය සිදුවී තිබුනේ සියයට 0.53කිනි. එය සෙසු රටවල් සමඟ සලකන විට ඉතා අවම ජනගහන වර්ධන වේගයකි. දරුවන් දෙදෙනකු සෑදීමට අවස්ථාව ලබා දෙමින් නීති ලිහිල් කළද වසරින් වසර ජනගහන වර්ධන වේගය පහළ යනු විනා වර්ධනය නොවන බව වටහාගත් චීන බලධාරීන් මෙලෙස යළිත් නීති ලිහිල් කිරීමට තීරණය කර තිබේ.

මේ සම්බන්ධළු අදහස් දක්වන චීන සමාජ විද්‍යාඥයන්ගේ අදහස වී තිබෙන්නේ දශක හතරක පමණ කාලයක් තිස්සේ එක් දරු ප්‍රතිපත්තිය මත කටයුතු කළ ජනතාව මේ වන විට ඒ සම්බන්ධව සමාජ පුරුදු ඇති කරගෙන සිටින බැවින් ඒවා වෙනස් කිරීම පහසු නොවන බවයි. එම සමාජ පුරුදු කලානුරූපව ක්‍රමිකව වෙනස් කළ යුතු බව ඔවුන් පෙන්වා දී තිබේ.

එක් පවුලකට එක් දරුවකු යන ප්‍රතිපත්තිය යටතේ දරුන්ගේ අධ්‍යාපනය, සමාජ ක්‍රියාකාරකම් මෙන්ම පවුල හා බැඳුණු සෙසු ක්‍රියාකාරකම්වලදීද නොයෙක් හුරුපුරුදු ඇති කර ගැනීමට චීන ජනතාව කටයුතු කර තිබේ. දැන් වෙනස් කළ යුතු වන්නේ ජනතාව හා බැදුණු මේ පුරුදු බව සමාජ විද්‍යාඥයෝ පෙන්වා දී තිබේ.

එමෙන්ම මේ ජනගහන පාලන ප්‍රතිපත්ති හේතුවෙන් චීනය මේ වන විට නොසිතූ අර්බුදයකටද මුහුණ දෙමින් සිටින බව පැවසේ . ඒ ඔවුන් සතුව තිරසාර ජනගහනයක් නොපැවතීමයි. මේ වන විට දශක හතරක් තිස්සේ ළමා පරපුරක් මෙන්ම තරුණ පරපුරක්ද ප්‍රමාණවත් පරිදි බිහි නොවීමෙන් මේ වන විට අනාගතයේ ශ්‍රම බළකාය සම්බන්ධ විශාල ගැටලුවකට මුහුණ දීමට චීනයට සිදු වනු ඇතැයි ගණන් බලා තිබේ. ඔවුන් එය හඳුන්වා දී ඇත්තේ ‘තිරසාර ජනගහනයක් නොපැවතීම හේතුවෙන් පැන නගිනු ඇති ගැටලු’ යනුවෙනි.

පසුගිය 2020 වසරේදී මිලියන 12ක දරු උපත් චීනය තුළ සිදුවී තිබේ. එහෙත් වාර්ෂිකව චීනය තුළ සිදුවන මරණ සංඛ්‍යාව මිලියන 10කි. එබැවින් මේ අවම දරු උපත් සංඛ්‍යාව සමග අනාගත චීනයේ වැඩපිළිවෙළ කරා යෑම ප්‍රබල බාධකයක් වනු ඇති බවට සැකයක් නැත. ඇතැම් විට රජයේ පෙලඹවීම මත මෙතැන් සිට චීන ජනතාව තම අදහස් වෙනස් කර නොගන්නේ නම් චීන ජනතාව අනාගතයේදී වඳවෙමින් යන ජනවර්ගයක් බවට පත්වීම වැළැක්විය නොහැකි වනු ඇත.

Comments