මියන්මාරයට සම්බාධක පැනවීමට ඇමරිකාවේ අවධානය | සිළුමිණ

මියන්මාරයට සම්බාධක පැනවීමට ඇමරිකාවේ අවධානය

 

මියන්මාර් ජනතාවට ඇහුම්කන් දීමට හමුදා ප්‍රධානීන් සූදානම් නොමැති බැවින් ඇමරිකාව කටයුතු කරමින් සිටින බව ඇසෝසියේට් ප්‍රෙස් මාධ්‍ය පසුගියදා වාර්තා කර සිටියේය. එහි එක් පියවරක් ලෙස මියන්මාරයේ පාලක ජුන්ටාවේ සාමාජිකයන් රාශියක් ආර්ථිකමය වශයෙන් අසාදු ලේඛනගත කිරීමට ඇමරිකාව පසුගියදා කටයුතු යෙදීය.

ඒ යටතේ ඇමරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ විදේශ සබඳතා කාර්යාලය දැනුම් දී සිටියේ මියන්මාර රාජ්‍ය පරිපාලන කවුන්සිලයේ සාමාජිකයන් ලෙස අලු‌තෙන් පත්වීම් ලැබූ තවත් 16 දෙනෙකු මෙසේ අසාදු ලේඛන ගත කළ බවයි. මේ් අතරින් දහතුන් දෙනෙකු මියන්මාර හමුදාවේ උසස් නිලතල හොබවන පුද්ගලයන් බව ප්‍රකාශ වී තිබේ. ඇමරිකාව චෝදනා කරන්නේ මේ පුද්ගලයන් ප්‍රජාතන්ත්‍රවාදීව පත්වූ මියන්මාර ආණ්ඩුව පෙරළා දැමීමට මෙන්ම පසුගිය පෙබරවාරි සිට පුද්ගලයන් සිය ගණනක් මරා දැමීමට අණ දීමටද ඍජුව සම්බන්ධ බවයි. අසාදු ලේඛනගත කරනු ලැබූ සෙසු පුද්ගලයන් තිදෙනා මේ හමුදා සාමජිකයන්ගේ වැඩිහිටි දරුවන් බවද සඳහන් වේ.

ඇමරිකානු භාණ්ඩාගාරය පසුගිය අඟහරුවාදා නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ මියන්මාරයට සම්බාධක පැණවීමට තමන් කටයුතු කරන්නේ හමුදා රජය සිදුකරමින් සිටින මහා සිවිල් ඝාතන හේතුවෙන් බවයි.

පසුගිය වසරේ නොවැම්බර් 8වැනිදා පැවති මියන්මාර මැතිවරණයෙන් අවුන් සාන් සුකී ගේ පක්ෂය අති විශාල බහුතර ඡන්ද සංඛ්‍යාවක් ලබා ගනිමින් ජයග්‍රහණය වාර්තා කළ අතර ඔවුන්ට ආණ්ඩුව ගන යෑමට හැකි වූයේ මාස තුනක් වැනි කෙටි කාලයක් පමණි.

පසුගිය පෙබරවාරි පළමුවැනිදා මියන්මාර හමුදාව එරට පාලන බලය ලබා ගත්තේ සු කී ඇතුළු ආණ්ඩුවේ ප්‍රධානීන් අත්අඩංගුවට ගනිමිනි. එතැන් සිට මේ දක්වා අවුන් සාන් සුකී ඇතුළු මියන්මාර ආණ්ඩුවේ ප්‍රධානීන්ට සිදුවීයේ කුමක්ද යන්නට කිසිදු තොරතුරක් ඉදිරිපත් වී නොමැත.

කෙසේ වුවද මියන්මායේ ඉතිහාසය විමසීමේදී පෙනී යන්නේ 2015 දක්වා වසර 50කට අධික කාලයක් මියන්මාරය පාලනය කර ඇත්තේ හමුදා ජුන්ටාවක් විසින් බවයි.

මේ ජුන්ටා පාලනය සඳහා අසල්වැසි චීනයේ සහයද නොඅඩුව ලැබෙන බවද සඳහන්ය. එමෙන්ම අවුන් සාන් සුකී ඇමරිකාව ඇතුළු බටහිර රටවල ආශිර්වාදය ලබන බවද රහසක් වන්නේ නැත.

ඒ අනුව මියන්මාර ජනතාව තම රට තුළ තමන්ට අවශ්‍ය පාලනයක් ස්ථාපිත කර ගැනීමට කොතෙක් වෙහෙස දැරූවද සැබවින්ම සිදුවෙමින් පවතින්නේ රටෙන් පිට ලෝක බලවතුන්ට අවශ්‍ය පාලනයක් ස්ථාපිත වනවා මිස රටේ ජනතාවට අවශ්‍ය පාලනයක් ස්ථාපිත වීම නොවන බව පැහැදිලිය

Comments