බයිඩ්න් - පුටින් හමුව සිදුවේවිද ? | සිළුමිණ

බයිඩ්න් - පුටින් හමුව සිදුවේවිද ?

 

ඇමරිකාවේ සහ රුසියාවේ රාජ්‍ය නායකයන් ලබන මස ආරම්භයේදී හමුවීමට නියමිත බව මේ වන විට ලොවට රහස් නොවේ. එහෙත් තවමත් රහසක් ව පවතින්නේ එම හමුව පවත්වන්නේ කිනම් ස්ථානයකද යන්නයි.

රුසියාවේ පුටින් සහ ඇමරිකාවේ බයිඩ්න් මෙසේ හමුවක් පවත්වන්නට හේතුව කුමක්දැයි තවමත් පවතින්නේ අනුමාන කිහිපයකි.

කෙසේ වුවද රුසියානු විදේශ ඇමති සර්ජි ලැව්රොව් පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වමින් රාජ්‍ය නායකයන් දෙදෙනාගේ හමුව ස්ථාවර බව තහවුරු කර සිටියේය. ඔහු එහිදී වැඩිදුරටත් පවසා සිටියේ වොෂිංටනය සහ මොස්කව් අතර දුර්වල වෙමින් පවතින සබඳතා ශක්තිමත් කර ගැනීම කළ යුතුව පවතින බවයි.

මේ අතර ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කින්ද මාධ්‍ය හමුවේ පවසා සිටියේ යුක්රේන දේශසීමාව අසල සිදුකෙරමින් පවතින රුසියානු හමුදා ඒකරාශී වීම් සම්බන්ධව වොෂිංටනය දැඩි අවධානය යොමු කරන බවයි. එමෙන්ම ක්‍රෙම්ලිනය ඇලක්සි නවල්නිට එරෙහිව සිදුකරන බලපෑම දැඩි දේ හෙළා දකින බවද බ්ලින්කින් වැඩිදුරටත් පවසා සිටියේය.

කෙසේ වුවද ජෝ බයිඩ්න් බලයට පැමිණි වහාම රුසියාවට එරෙහිව දැඩි විවේචන එල්ල කළ බව අමතක කළ යුතු නැත. නවල්නිගේ සිදුවීම උපුටා දක්වමින් ඔහු රුසියානු ජනාධිපතිවරයා ‘ඝාතකයා’ යනුවෙන් හැඳින්වීමටද පසුබට වූයේ නැත.

එහෙත් දැන් වඩා සෞම්‍ය ප්‍රවේශයකට පැමිණෙමින් ඇමරිකාව පවසා සිටින්නේ රුසියානු සහ ඇමරිකානු නායකයන්ට වඩා සුහද ප්‍රවේශයකට පැමිණිය හැකි බවත්, එසේ වුවහොත් ලෝකය වඩා ආරක්ෂාකාරී ස්ථානයක් වනු ඇති බවත්ය.

මෙසේ පවසන අතරම ඇන්තනි බ්ලින්කින් වැඩිදුරටත් පවසා සිටින්නේ තමන් එසේ අපේක්ෂා කළද රුසියාව තවමත් ආක්‍රමණශීලී ලෙස කටයුතු කරමින් සිටින බවයි. එය එසේ වුවහොත් තමන්ගේ හිතවාදීන් එයට නිසි ප්‍රතිචාර දක්වනු ඇති බවද බ්ලින්කින් පවසා තිබේ.

රාජ්‍ය නායකයන් දෙදෙනාගේ හමුව බොහෝ දුරට ස්විස්ටර්ලන්තයේදී සිදු විය හැකි බවට මත පළ වී තිබේ.

අද වන විට ඇමරිකාවේ රාජ්‍ය නායකයා තෝරා පත් කර ගන්නේ ඇමරිකානු ජනතාවමද යන පැනය නැගිය යුතුව තිබේ. එසේ කළ යුතු වී ඇත්තේ ඇමරිකානු රාජ්‍ය නායකයා තමන්ගේ මතයට පක්ෂ පුද්ගලයකු වනු දැකීමට කැමති බොහෝ බලවත් රටවල් ඇමරිකානු ජනාධිපතිවරණයට මුදල් වැය කිරීම අරඹා ඇති බැවිනි. රුසියාවටද මේ සම්බන්ධව අවස්ථා කිහිපයක දී චෝදනා එල්ල වූ බව අමතක කළ යුතු නැත. රුසියාව හැර තවත් රටවල් රාශියක්ම ඇමරිකානු ජනාධිපතිවරණයේදී තමන්ට හිතවාදී අපේක්ෂකයා දිනවීමට මුදල් වැය කරමින් සිටින බව රහසක් නොවේ. එහෙත් පුටින් පාලනය යටතේ රුසියාව ස්ථාවරය. මේ ගමනේ කෙළවර ඇමරිකාව නවතිනු ඇත්තේ කොතැනදැයි සිතාගත නොහැකි නමුදු මේ යන ගමන ඇමරිකාවට සුභවාදී නොවන බව නම් පැවසිය යුතුය.

Comments