ගඩාෆි මරා දමා වසර දහයයි ලිබියාව දැන් අන්ත අසරණයි | සිළුමිණ

ගඩාෆි මරා දමා වසර දහයයි ලිබියාව දැන් අන්ත අසරණයි

 

ඒකාධිපතියකු පාලනය කරන රටක් අපායක් වීමට ඇත්තේ විශාල ඉඩකි. එහෙත් ඒකාධිපතියකු බලයෙන් පහ කළ පසු රටක් අපායක් බවට පත් වන්නේ නම් එය යළි යළිත් විමසිල්ලට ලක් කළ යුතු තත්වයකි. විශ්වාස කිරීමට අපහසු වුවද මේ වන විට ලිබියාවට සිදුවී ඇත්තේ එයයි.

මුවම්මර් ගඩාෆි යනු වසර 42ක් ලිබියාව පාලනය කළ ඒකාධිපතියෙකි. ඔහුට විරුද්ධව එරට ජනතාවට චෝදනා තිබූ අතර ඔහුට පක්ෂව ද බොහෝ අදහස් ජනතාව තුළ විය. එහෙත් බහුතරයක් ජනතාව තුළ විශ්වාස කර සිටියේ දශක හතරකට වඩා වැඩි ගඩාෆි පාලනය තුරන් වුවහොත් ලිබියාවට වඩාත් යහපත උදා වනු ඇති බවයි. ඒ අදහස ජනතාව තුළ ඇති කරලීමට බොහෝ විදේශ බලපෑම් ක්‍රියාත්මක වූ බවත් ඒවා සාර්ථක වූ බවත් ජනතාව වටහා ගත්තේ පසුවය. ඒ වන විට ගඩාෆි පාලනය අවසන් වී තිබිණි. එහෙත් ලිබියාව පෙර තිබූ ලිබියාව බවට තවමත් පත්වී නොතිබුණි. ගඩාෆිගේ ලිබියාවට වඩා යහපත් ලිබියාවක් පැතූ ජනතාවට අවම වශයෙන් ගඩාෆිගේ ලිබියාව තරම්වත් යහපත් ලිබියාවක් ලබා ගැනීමට තවමත් හැකියාවක් ලැබී නැත. ඒ ගඩාෆි මරා දැමීමෙන් වසර දහයක්ද ඉක්ම ගිය තැනදීය.

ගඩාෆි යනු එක් අතකින් විප්ලවාදියෙකි. ඔහු ගොඩනැගෙන්නේ ප්‍රංශ අධිරාජ්‍යයට විරුද්ධව ලිබියානුවන් ගෙන ගිය අධිරාජ්‍ය විරෝධී කැරැල්ලේ සුවඳ විඳිමිනි. අනික් අතට ලිබියාව යනු එක් කලෙක ලෝකයේ කළු රත්තරං යනුවෙන් හැඳින්වූ, මුළු ලෝකයේම බලය ආකර්ෂණය කර ගැනීමට සමත් වූ ඛනිජ තෙල් සම්පත නොඅඩුව පිහිටි රටකි. ගඩාෆි ලිබියාවේ බලයට පැමිණීමෙන් පසුව මේ තෙල් සම්පත රටට අවශ්‍ය ලෙස උපයෝගී කර ගත් අතර ඔහුගේ දූර්දර්ශී පාලනය යටතේ විදෙස් බලපෑම්වලට ලිබියාවට ඇඟිලි ගැසීමට ලැබුණු අවස්ථා අවම විය.

ගඩාෆි කලාපය තුළ ප්‍රසිද්ධ වූයේ හිතුවක්කාර පාලකයකු වශයෙනි. ඔහු කිසිවකුට බිය වූයේ නැත. ඔහුගේ දේශපාලන පරමාදර්ශය ඊජිප්තුවේ නසාර් විය. අනික් අතට නසාර්ගෙන් ගඩාෆිට නොඅඩුව ගුරුහරුකම්ද හිමි විය. මේ සියල්ලේ මිශ්‍රණය වූයේ ණය නැති ලිබියාවක් බිහි වීමය. වර්තමාන ලෝකයේ කිසිඳු විදේශයකට ණය නැති රටක් යනු කිසිවකු නොමළ නිවසකින් අබ මිටකටත් වඩා දුර්ලභ බව අමුතුවෙන් කිව යුතු නොවේය. එහෙත් ගඩාෆි තම රටේ සම්පත් තම රටේ ජනතාවගේ යහපත වෙනුවෙන් යෙදවූවේය.

එසේ යොදවන අතර ජනතාව එකක් දෙන විට තමාට සහ පවුලට හතරක් වෙන් කර ගත් බවට ජනතාව ගඩාෆිට චෝදනා කළ බවට අමතක කළ යුතු නැත. 2011 වසරේ ගඩාෆිට එරෙහිව උසිගැන්වෙන්නේ චෝදනා ඉදිරිපත් කළ ජනතාවය. ඔවුන්ගේ තර්කය ද අමතක කළ යුතු නැත. පාලකයා සර්ව බලධාරී නොවේය. රට ඔහුගේ නොවේය. නියම පාලකයා ජමාට වඩා රට ගැන සිතිය යුතුය. ජනතාවට හතරක් දෙන විට තමාට එකක් වෙන් කර ගත්තාට කමක් නැතැයි සිතිය හැකිය. එහෙත් ගඩාෆි පවුල සතු වූ අසමාන වත්කම් සම්බන්ධව දූශමාන නොවූ ආරංචි බොහෝ විය.

ලෝකයේ දේශපාලන බලය එක් කාලයකදී ඛනිජ තෙල් මූලික කර ගනිමින් කේන්ද්‍ර ගත වූ බව සිහිපත් කළ යුතුය. එකළ තර්කය වූයේ ඛනිජ තෙල් සම්පත කා සතු වේද ලෝකයේ බලය එම පාර්ශ්වයට හිමි වන බවයි. එකළ ඇමරිකා - රුසියා සීතල යුද්ධයද බලවත් ලෙස ක්‍රියාත්මක වූ අතර ඇෆ්ගිනස්ථානය තීරුවලට ඉරී යෑමට මේ සීතල යුද්ධය හේතු විය. ඉරාකය සොහොන් බිමක් බවට පත් වූයේද ඛනිජ තෙල් සම්පත තමන් සතු කර ගැනීමේ මහා ව්‍යපෘතියේ එක් අංගයක් ලෙස බව ලොවම දන්නා කරුණක් විය.

ලිබියාව සහ වෙනිාසියුලාවද විනාශ වීමට ප්‍රධාන හේතුව ඛනිජ තෙල් බව ද පැහැදිලි කරුණකි. ගඩාෆිට එරෙහිව ජනතා උද්ඝෝෂණ ආරම්භ වන විට ඒ සඳහා නේටෝ සංවිධානය ප්‍රධාන විදෙස් බලපෑම් සහයට පැමිණීම ගැටලුවක් වන්නේ එවැනි පසුබිමක් යටතේය. කෙසේ වුවද තම රට කිසිඳු විදේශ බලපෑමක් එල්ල වීමට නොදී පාලකයා ලෙස රට ඉදිරියට ගෙන ගිය ගඩාෆි ඉවත් කිරීමත් සමඟ ඉරාකය මෙන් ලිබියාව මත තමන්ට හිතවාදී පාලනයක් ස්ථාපිත කිරීමට ගඩාෆි ඉවත් කිරීමට කටයුතු කළ විදෙස් බලපෑම් කටයුතු නොකළේ මන්ද යන පැනය ඇති වේ. එහෙත් අමතක කළ යුතු නොවන්නේ මේ වන විට ඛනිජ තෙල් සතුව පැවති බලය ක්‍රමයෙන් වියුක්ත වෙමන් බවතින බවයි. ඒ අනුව ලිබියාව යනු කුණාටු මුහුදක අතරමංව පාවෙන කපිතාන්වරයකු රහිත නෞකාවකට සමාන කළ හැකිය.

ගඩාෆි මිය ගොස් වසර දහයක් ගත වී ඇතද ලිබියාවට තවමත් මඟ හසර සොයා ගැනීමට නොහැකි වී ඇත. ජනතාව දිනෙන් දින දුගී බවට වැටෙමින් සිටිති. ලිබියාව අද පවතින්නේ කණගාටුදායක තත්ත්වයකය. වඩාත් කණගාටුව වන්නේ එය ගඩාෆිගේ ලිබියාවට වඩා අතිශයින් කණගාටුදායක වීමය.

 

Comments