හිමි අහිමිකම් මැද Stuck නොවුණු Stockwell අභියෝග මැද හිනැහෙන්නී | සිළුමිණ

හිමි අහිමිකම් මැද Stuck නොවුණු Stockwell අභියෝග මැද හිනැහෙන්නී

 

MELISSA s tockwell

 

අහිමි වීම් දෙසත් සුබවාදීව බලන්න

අපි පුරුදු නොවුණොත් ජීවිතය පැත්තෙන් අපි අසාර්ථකයි.

'ඇය පෙනී සිටියේ අරමුණු වෙනුවෙනි. අරමුණ නිශ්චල, වඩා පැහැදිලි එකක් විය. ඒ රට නියෝජනය කිරීම ය. ඈ කලක් තම රට නියෝජනය කළේ යුද පෙරමුණේ දී ය. දැන් ඈ තම රට නියෝජනය කරන්නේ ක්‍රීඩා පිටියේ දී ය. භෞතික සම්පත් වෙනස් වුව ද ඒකීය ආධයාත්මික අරමුණක් වෙනුවෙන් කටයුතු කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් මෙලිසා ස්ටොක්වෙල් ජීවමාන සාක්ෂියකි.'

තම නිජබිමට ඇලුම් කිරීම උසස් ගුණාංගයකි. බොහෝ විට එවැනි මිනිසුන් තම රට වෙනුවෙන් ඕනෑම කැප කිරීමකට සූදානම් ය. මෙලිසා ස්ටොක්වෙල් ද එවැන්නියකි.

මෙලිසා ස්ටොක්වෙල් උපත ලැබුවේ 1980 ජනවාරි 31 වැනි දින අමෙරිකා එක්සත් ජනපදයේ මිචිගන් ප්‍රාන්තයේ ග්‍රෑන්ඩ් හැවන් හි දී ය.

කුඩා කල සිටම මෙලිසා මනා කායික ශක්තියකින් හා පුෂ්ටිමත් බවකින් යුතු වූවා ය. ඒ නිසාම කය වෙහෙසා කරන ක්‍රීඩාවනට ඇය දැක්වූයේ අසීමිත ඇල්මකි. ඇය වඩාත් ප්‍රිය කළේ ජිම්නාස්ටික් ක්‍රීඩාවට ය.

“කවදා හරි ඔලිම්පික් යන්නයි මගේ බලාපොරොත්තුව. ඒ, ජිම්නාස්ටික් ක්‍රීඩිකාවක් හැටියට යි.” එසේ කියූ මෙලිසා සිය අනාගත බලාපොරොත්තුව සැබෑ කරගැනීමට නිරතුරුවම සිහින මැවුවා ය.

නව යෞවනියක වූ මෙලිසා තුළ තම නිජබිම කෙරෙහි පැවැතියේ අප්‍රමාණ වූ ඇල්මකි. අමෙරිකානු ජාතිකයකු වශයෙන් උපත ලැබීම ඇය සැලකුවේ තමා මේ භවයේ දී ලද ඉමහත් භාග්‍යයක් ලෙසිනි. වෙනත් නව යෞවනියන් තම කාමර සරසා ගන්නේ තමන් වඩාත් ඇලුම් කරන ගායක ගායිකාවන්ගේ, නළු නිළියන්ගේ රූපවලිනි. නමුත් මෙලිසාගේ කාමරයේ බිත්ති වැසී තිබුණේ අමෙරිකානු ජාතික ධජවලිනි. නිරතුරුවම සවන් දුන්නේ අමෙරිකානු ජාතික ගීයට ය.

මේ අතර මෙලිසා 2002 දී කොලරාඩෝ විශ්වවිද්‍යාලයෙන් උපාධිය සමත් වූවා ය. ඉන් මඳ කලක් ඇවෑමෙන් මව්බිම වෙනුවෙන් තම යුතුකම් වගකීම් ඉටු කිරීමට තීරණය කළ ඇය අමෙරිකානු යුද හමුදාවට එක්වූවා ය. ඒ, දෙවැනි ලුතිනන්වරියක ලෙසිනි.

2004 දී අමෙරිකානු හමුදා ඛණ්ඩයක් ඉරාකය වෙත යැවිණි. ඒ අතර මෙලිසා ද වූවා ය. දිනක් ඇය තමා නායකත්වය දුන් හමුදා සේනාංකයත් සමඟින් බැග්ඩෑඩ් ගුවන් තොටුපොළට නුදුරින් පිහිටි හමුදා කඳවුර වෙත පැමිණෙමින් සිටියා ය. එහෙත් ඇගේ එම ගමනට මාර්ගයේ අටවා තිබූ බෝම්බයක් බාධා කළේ කිසිසේත් අපේක්ෂා නොකළ ආකාරයට ය. එය පුපුරා ගියේ ය. ඉන් මෙලිසා ගමන් ගත් රථයට දැඩි හානි සිදුවිය. ඉන් ඇයට සිදුවූ අනර්ථය නම් සිය වම් පාදයේ දණහිසට ඉහළ කලවය තෙක් කොටස අහිමි වීමය.

“මගේ කකුල නැති වුණ එක ගැන කිසිම දුකක් නැහැ. මගේ රට වෙනුවෙන් ඒක පරිත්‍යාග කළා වගේ හැඟීමක්, සතුටක් තමයි මගේ හිතට දැනෙන්නෙ.” ඇය සිය අවංක හැඟීම පළ කළේ සැබෑ දේශප්‍රේමියක විලසිනි.

මෙලිසාට ලෝහවලින් කළ කෘත්‍රිම පාදයක් සවි කෙරිණි. එය හැරුණු විට එවන් තවත් පාද කිහිපයක් පරිත්‍යාග ලෙසින් ලැබිණි. ඇයට හමුදා සේවයෙන් විශ්‍රාම ලැබුණු අතර අමෙරිකානු යුද හමුදාවේ අවධානය, සැලකිල්ල නොඅඩුව හා නිරතුරුව ලැබිණි.

පාදයක් අහිමි වුවද සවිය මඳකිනුදු අඩු නොවූ මෙලිසාගේ සිතෙහි නව බලාපොරොත්තුවක් ජනිත වූයේ මේ අතරේ ය. ඒ, පිහිනීමේ ක්‍රීඩාවට යොමුවීම ය. ඒ උදෙසා ඇයට ඇමරිකානු යුද හමුදාවෙන් ඉහළම සහයෝගයක් ලැබුණේ ය. පිහිනීම මැනවින් පුහුණු වූ ඇය 2008 දී බීජිං හි පැවැති පැරාලිම්පික් තරගාවලියට ඉදිරිපත් වූයේ නව යොවුන් වියේ දී දුටු ඔලිම්පික් සිහිනය සැබෑවක් බවට පත්වෙමිනි. එහිදී මීටර් 100 නිදහස් ආර, මීටර් 400 නිදහස් ආර හා මීටර් 100 සමනල ආර තරගවලට ඉදිරිපත් වී පිළිවෙළින් 6 වැනි, 5 වැනි හා 4 වැනි ස්ථාන දිනාගත්තා ය.

මේ තරගාවලියේ සමාප්ත උළෙලේදී අමෙරිකානු පැරාලිම්පික් ක්‍රීඩක කණ්ඩායම පෙරටු කොටගෙන අමෙරිකානු ජාතික ධජය රැගෙන යෑමේ භාග්‍යය ඇයට හිමිවිය.

2016 දී රියෝ ඩි ජැනයිරෝ හි පැවැති පැරාලිම්පික් ක්‍රීඩා තරගාවලියේ දී ඈ අමෙරිකාවට ලෝකඩ පදක්කමක් උරුම කර දුන්නා ය.

පිහිනුම් ශූරියක ලෙස ලෝක ශූරතා තරගාවලියට තම රට නියෝජනය කරමින් ඉදිරිපත් වූ මෙලිසා ජයග්‍රහණයන් කිහිපයක් අත්පත් කර ගත්තා ය. ඒ, 2010 දී බුඩාපෙස්ට්, 2011 දී බීජිං, 2012 ඕක්ලන්ඩ් හි දී රන් පදක්කම් 3 ක් ද, 2013 දී ලන්ඩන් හි දී රිදී පදක්කමක් ද 2015 දී චිකාගෝ හි දී ලෝකඩ පදක්කමක්ද දිනාගනිමිනි.

මෙලිසා තවමත් සිය නිජබිම වෙනුවෙන් වැදගත් සමාජ මෙහෙවරක ද නිරතව සිටින්නීය. ඒ. මානසිකව කඩා වැටීමට ලක්ව සිටින්නවුන් වෙනුවෙන් දිරිමත් කිරීමේ දේශකවරියක් ලෙසින් කටයුතු කරමිනි.

“ලැබීම්, නොලැබීම් හැම දෙනාටම පොදුයි.

ලැබීම් වගේම අහිමි වීම් දෙසත් සුබවාදීව බලන්න අපි පුරුදු නොවුණොත් ජීවිතය පැත්තෙන් අපි අසාර්ථකයි. ඒ බව අවබෝධයෙන් කටයුතු කළ යුතුයි.” ඒ මෙලිසා සමස්ත මානව වර්ගයා වෙනුවෙන්ම දෙන පණිවිඩයයි.

නඳුන් අමන්ද මනමේන්ද්‍ර ආරච්චි

Comments