සූම් තාක්ෂණයෙන් සොයන හොකී බාරකාරයෝ | සිළුමිණ

සූම් තාක්ෂණයෙන් සොයන හොකී බාරකාරයෝ

 

අවස්ථා දෙකකදීම කල් දමන්නට යෙදුණු ශ්‍රී ලංකා හොකී සම්මේලන වාර්ෂික සභා වාරය සහිත නිලවරණය මැයි මස 31 වැනි දින කොළඹ ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට පියවර ගෙන තිබේ.

ඉතිහාසයේ ප්‍රථම වතාවට මෙවර නිලවරණය සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා පියවර ගෙන තිබීම කැපී පෙනේ.

ඡන්දය දීමෙන් වැළකී මැදහත්ව සිටින ශ්‍රී ලංකා පාසල් සංගමය හැරුණු කොට ශ්‍රී ලංකා හොකී සම්මේලනයට අනුබද්ධ සංගම් සංඛ්‍යාව 16 කි. ඒ අනුව නියෝජිතයන් 48 දෙනකු

මෙදින නිලවරණයේදී ඡන්දය භාවිතා කිරීමට නියමිත ය.

පසුගිය 10 දින පළමු වරට ද 19 දින දෙවැනි වරටද කොළඹ දී පැවැත්වීමට මුලින්ම සැලසුම් කර තිබුණු හොකී සම්මේලන නිලවරණය පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ කල් දමන්නට තීරණය කෙරුණි.

දෙවනුව යොදාගත් දිනයේදී හොකී සම්මේලන නිලවරණය පැවැත්වීමේ නොහැකියාව මතු වූයේ පළාත් අතර සංචරණ සීමා පැනවීමට රජය ගත් තීරණයත් සමඟ ඇති වූ තත්ත්වය හේතුවෙනි. දුර බැහැර දිස්ත්‍රික් සංගම් නියෝජිතයන් කිහිප දෙනකු ට

නියමිත වේලාවට පැමිණීමේ ඇති අපහසුව හා ආපසු යාමට ඇති නොහැකියාව හේතුවෙන් මෙම තීරණය ගත් බව පසුව වාර්තා විය.

මීළඟ ශ්‍රී ලංකා හොකී සම්මේලන සභාපති ධූරය අපේක්ෂාවෙන් පුද්ගලයින් 06 දෙනකු නාමයෝජනා භාර දුන් නමුත් අදාළ තනතුරු සඳහා ප්‍රමාණවත් සුදුසුකම් ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම හේතුවෙන් මුරාඩ් අමර්ඩීන් මහතාගේ සහ එස්. රූපසිංහ මහත්මියගේ නාමයෝජනා

ප්‍රතික්ෂේප කිරීමට නිලවරණ කමිටුවට සිදුවිණි.

ඒ අනුව හිටපු සභාපතිවරයකු වන ‍ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ කුමාර දිසානායක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කමල් පුෂ්පකුමාර, හිටපු උපසභාපතිවරයකු වූ ආර්. මහේෂ්වරන් සහ හිටපු උප සභාපතිවරයකු වූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හිටපු අන්තර්ජාතික ක්‍රීඩක දර්ශන විජේසිංහ යන මහත්වරුන් මීළඟ සභාපති ධුරයට තරග වදිති.

මෙම තරගකරුවන් අතරේ කමල් පුෂ්පකුමාර මහතා සහ රෝහණ කුමාර දිසානායක මහතා අතර ද්වන්ධ සටනක් මේ වන විට නිර්මාණය වී තිබීම කැපී පෙනේ. දර්ශන විජේසිංහ සහ ආර්.මහේෂ්වරන් මහත්වරුන්ගේ සහයෝගය කමල් පුෂ්පකුමාර මහතා වෙත ලබාදී තිබීම හේතුවෙන් මෙවන් තත්ත්වයක් උද්ගතව තිබේ.

වත්මන් සභාපති ධුරය හොබවන පී. විශ්වනාදන් මහතා සහ හිටපු සභාපතිවරයකු මෙන්ම වත්මන් ලේකම් ධුරය හොබවන විශ්‍රාමලත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සුමිත් එදිරිසිංහ මහතා මෙවර නිලවරණයේ දී පාර්ශ්ව දෙකෙන් තරග කිරීම විශේෂත්වයකි.

රෝහණ දිසානායක මහතාට සහයෝගය දක්වමින් සුමිත් එදිරිසිංහ මහතා උපසභාපති ධුරයකට තරග කරන අතර කමල් පුෂ්පකුමාර මහතාට සහයෝගය දක්වමින් ලේකම් ධුරය සඳහා පී. විශ්වනාදන් මහතා තරග කිරීම කැපී පෙනේ.

පී.විශ්වනාදන් මහතාට සහයෝගය දක්වමින් ආර්.මහේෂ්වරන් සහ ටී.බී බස්නායක එක් පාර්ශ්වයකින් ද තිළිණ කරුණාරත්න මහතා තවත් පාර්ශ්වයකින් ද මෙවර ලේකම් ධුරය සඳහා තරග වදිති

සපුමල් වීදිය බණ්ඩාර

Comments