ශතක වස් මතක පුරන දේවපතිරාජ විදුහලේ ක්‍රිකට් සංස්කෘතික පෙරැළිය | සිළුමිණ

ශතක වස් මතක පුරන දේවපතිරාජ විදුහලේ ක්‍රිකට් සංස්කෘතික පෙරැළිය

 ‘ගම්පෙරළිය සමාජ පෙරැළියකි. කොග්ගල ප්‍රාඥයා දුටු එම සමාජ පෙරැළිය ඇරැඹුණේ යටත් විජිත වාදයෙන් සමාජමය වශයෙන් නිදහස් වනවාට වඩා සංස්කෘතිමය වශයෙන් අධිරාජ්‍යවාදය හා ග්‍රාමීය සමාජය දැඩිව බැඳීම පෙන්වන්ට ය. මේ එකී බැඳීම් ක්‍රීඩාව තුළ දැඩිව ග්‍රහණය කරගන්නට සුදක්ෂ වූ පාසලක කතාව ය.’

ටී.ඒ.සී.එන්. ගුණසේකර මහතා ට ඉදිරිපත් වූ යෝජනාවකට අනුව අනිල් ඊ. ද සිල්වා මහගේ ද අනුග්‍රහයක් ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කරනු ලැබුණේ ය.

පී.එච්. ආරියවංශ පළමු ක්‍රිකට් ක්‍රීඩා භාර ආචාර්යවරයා වද්දී අංජුල මෙන්ඩිස් පළමු ක්‍රිකට් පුහුණුකරුවා විය. 1998-1999 සමයේ දී එම්. මහමදාච්චි ක්‍රිකට් පුහුණුකරු ලෙස එක්විය. 2000 වර්ෂයේ දී විද්‍යාලයීය ආචාර්ය මණ්ඩලයට එක්වුණු ආදි ශිෂ්‍ය වයි. නිශාන්ත කුමාර එතැන් සිට ක්‍රිකට් භාර ආචාර්යවරයා වූ අතර, පුහුණුකරු ලෙස පී. කිෂන් ද සිල්වා එක්විය.

2000 වර්ෂයේ 17 න් පහළ තෙවැනි කොටසේ අවසන් කණ්ඩායම් 16 අතරට එක් වූ පසු කේ. රංජන් ලසන්ත ද සිල්වා මහතා පුහුණුකරු ලෙසින් සවේච්ඡාවෙන් එක්විණි.

දේවපතිරාජ ක්‍රිකට් ඉතිහාසයේ පළමු ඉහළම ජයග්‍රහණය දර්ශන ශ්‍රීමාල් හේවාවසම්ගේ නායකත්වය යටතේ 2004 දී 16 න් පහළ ඇස්ට්‍රා කුසලාන තෙවැනි කොටසේ අනුශූරයින් වීමය.

විද්‍යාලයේ විදුහල්පතිනිය වූ ඊ.එම්.සී. බන්දුනී මෙන්ම, කෙටි කලක් විදුහල්පති ලෙස කටයුතු කළ ආර්. ආනන්ද වීරවංශ ද සිල්වා ද විද්‍යාලයේ ක්‍රිකට් ක්‍රීඩාව ට අගනා දායකත්වයක් ලබාදුන්හ.

සුනාමි‌ ඛේදවාචකයෙන් අනතුරුව පුරෝගාමී මෙ‌හෙවරක් ඉටු කළ විදුහල්පති බන්දුල ජයසිංහ (2006-2012) ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ද අගනා සේවාවක් ඉටු කළේය. 2007 දී අවුරුදු 15 න් පහළ මැලේසියානු සංචාරයට එක්වූ ඩබ්ලිව්.ඒ. උමේෂ් මයුරකාන්ත එම පාසලෙන් ජාතික පාලක් නියෝජනය කළ පළමු ක්‍රීඩකයා වූ අතර 2014 දී හා 2015 දී යූ. රවීන් යසස් (2014) සහ පැතුම් මධුසංක මෙන්ඩිස් (2015) එම ගෞරවයට ලක් වූ හ.

දේවපතිරාජයේ නායකත්වය දැරූ එස්.එච්. ඉඳුනිල් කුමාර සඳලංකා, පී.එච්. තරිඳු කෞශාල් දේවපතිරාජයෙන් බිහිවූ දක්ෂ ක්‍රීඩකයෝ වෙති. එච්. මහේෂ් සඳරුවන් ද සිල්වා සහාය පුහුණුකරු ලෙසින් එක්වූ අතර 2011 වසරේදී ඩී. නිලංක රුක්ෂිතගේ නායකත්වයෙන් 13 න් පහළ දෙවැනි කොටසේ අවසන් තරගයේ දී කොළඹ රාජකීය විද්‍යාල ‘බී’ පිල පරදවා ශූරයින් විය.

ලලිත් ද සිල්වා සමරසිංහ වැඩබලන විදුහල්පති ලෙස ක්‍රියා කළ සමයේ ය. 2012 වසරේ ඔහු ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් සංචිතයට කැඳවූ අතර 2015 දී ජාතික පිලේ දොරටු විවර කර ගත්තේ ය. නිර්මන්ත තික්ෂිල ද සිල්වා ද ජාතික පිල නියෝජනය කළ ආදි දේවපතිරාජ විදුහල් ක්‍රීඩකයෙකි.

විදුහල්පතිවරුන් වන එම්.ඩබ්ලිව්.ආර්. අල්විස් ගේ හා එම්.ඩබ්ලිව්.ආර්. අල්විස් සමයේදී දේවපතිරාජය ලැබූ ජයග්‍රහණයන් රැසකි. ආර්. ඩිල්ෂාන් කාංචන, ඩී. රමිඳු නිකේෂල ද සිල්වා, ආර්. ළහිරු මධුවන්ත, යූ. රවීන් යසස්, පැතුම් මධුසංක මෙන්ඩිස් එලෙස බිහිවූ දක්ෂ ක්‍රීඩකයන් ය.

18 වසරක කාලයක් විද්‍යාලයේ ක්‍රිකට් භාර වයි. නිශාන්ත කුමාර 2018 මාර්තු මාසයේදී ස්ථාන මාරු ලැබීමෙන් පසු, රංජිත් කුඹලාතර මහතා එම වගකීම භාර ගත්තේ ය. 19න් පහළ ක්‍රික‌ට් පිල ඩබ්ලිව්. තිසර ඩිල්ෂාන්ගේ නායකත්වය යටතේ (2018/19) මෙන්ම එම්. කල්ප චේතියගේ (2019/20) නායකත්වය යටතේ පළමු කොටසේ රැඳී සිටීම ද දේවපතිරාජය ලැබූ ජයග්‍රහණයකි.

වයි. සුදීර වීරරත්නගේ නායකත්වය යටතේ 2020/2021 තරගවාරයේ දී පළමු කොටසේ ‘ටියර් බී’ තරගාවලියේ දී විශාල පෙරළියක් ඇති කරමින් අනු ශූරයින් විණි.

දේවපතිරාජය ලැබූ ක්‍රිකට් ජයග්‍රහණයන් සියල්ල වසර 20කට අධික කාලයක් විද්‍යාලයේ ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් ප්‍රධාන පුහුණුකරු ලෙසින් කටයුතු කළ කේ. රංජන් ලසන්ත ද සිල්වා මහතාගේ කැප කිරීමේ ප්‍රතිඵලයකි.

 

බාලිකා ක්‍රිකට්

විදුහලේ ලෙදර් පන්දු බාලිකා ක්‍රිකට් ඇරඹූයේ විදුහල්පති බන්දුල ජයසිංහ මහතාගේ උපදෙස් පරිදි ය.

විදුහල්පති එම්.ඩබ්ලිව්.ආර්. අල්විස් මහතා ගේ සහ ක්‍රීඩා භාර ආචාරිනී එම්. ඩබ්ලිව්. චමිලා මහත්මියගේ සහාය ඇතිව 2013 වසරේ දී එච්. මහේෂ් සඳරුවන් ද සිල්වා ගේ පුහුණුකාරීත්වය යටතේ දකුණු පළාත් ටේප් බෝල් තරගාවලියට ද එක්විය. එම්. කාවින්දි පාරමී මහිංසලාගේ නායකත්වයෙන් දකුණු පළාත් අනුශූරතාවය හිමිවිණි.

2015 වසරේ සිට 2020 දක්වා පිට පිට 6 වතාවක් සමස්ත ලංකා ක්‍රිකට් ශූරියන් දේවපතිරාජ බාලිකාවියන් ය. ක්‍රිකට් භාර ආචාර්ය වයි. නිශාන්ත කුමාර, එම්. ඩබ්ලිව්. චමිලා සහ ජී.පී. දිනූෂා මනෝජි බාලිකා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් අගනා දායකත්වයක් ලබා දුන්හ.

පාසල් වියේදීම ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලට එක්වීමට වරම් ලැබූ 17 හැවිරිදි වියේ පසුවූ ඩබ්ලිව්. කවීෂා දිල්හාරි ජාතික ක්‍රීඩා පිලක් නියෝජනය කළ දේවපතිරාජයේ පළමු ශිෂ්‍යාව ය. එම්. උමාෂා තිමේෂනී සහ පී.ඩී. සත්‍යා සංදීපනී ද ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලට එක්වෙමින් විද්‍යාලයට කීර්තියක් ගෙනදුන්හ.

ජී.පී. සචිනි නිසංසලා ලක්ෂිත, එස්. ශිඛරි රණහංසි සහ එස්. කේ. නිලක්ෂණා සඳමිණි යන දේවපතිරාජ ක්‍රීඩිකාවන් ද ශ්‍රී ලංකා නැගී එන කාන්තා පිල නියෝජනය කළහ.

2018 ‘සන්ඩේ ඔබ්සර්වර් - මොබිටෙල්’ පාසල් ක්‍රිකට් සම්මාන ප්‍රදානයේදී ඩබ්ලිව්. කවීෂා දිල්හාරි දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩිකාව විය. 2019 වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩිකාව සම්මානය එම්. උමාෂා තිමේෂනීට හිමිවිණි. එහිදී දක්ෂතම පන්දු යවන්නිය සම්මානය එස්.කේ. නිලක්ෂණා සඳමිණි ට ද, දක්ෂතම පන්දු යවන්නිය අනු ශූර සම්මානය පී.ඩී. සත්‍යා සංදීපනී ට ද පිරිනැමිණි. 2019 සහ 2020 වසර දෙකේ දී ම දක්ෂතම බාලිකා පාසල් ක්‍රිකට් කණ්ඩායම ද විණි.

2020 ‘ ඔබ්සර්වර් - මොබිටෙල්’ පාසල් ක්‍රිකට් සම්මාන ප්‍රදානයේදී ඩබ්ලිව්. කවීෂා දිල්හාරි වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩිකාව, දක්ෂතම තුන් ඉරියව් පාසල් ක්‍රිකට් වූ අතර, එම්, උමාෂා තිමේෂනී දක්ෂතම පිතිකාරිණිය විය.

මේ සියලු ජයග්‍රහණයන්ට දිනූෂා මනෝජි විජේනායක, කේ.ඒ. චරිතා ප්‍රියදර්ශනී සහ ඒ.ඩබ්ලිව්.පී.ඒ. දිනූෂා ද සිල්වා මෙන්ම ප්‍රධාන පුහුණුකරු එච්. මහේෂ් සඳරුවන් ගෙන්ද ලැබුණු දායකත්වය අගනේ ය.

බාලක සහ බාලිකා දෙඅංශයෙන්ම මෙරට පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ දක්ෂතා දක්වන මෙරට එකම පාසල ලෙස තම සිය වැනි සංවත්සරය සමරන දේවපතිරාජ විද්‍යාලය තබා ඇත්තේ අද්විතීය වාර්තාවකි.

විද්‍යාලයේ‍ බාලක සහ බාලිකා ක්‍රිකට් කණ්ඩායම්වල සහාය පුහුණුකරු ලෙස විද්‍යාලයේ ආදි ශිෂ්‍ය ටී.එච්. නිමේෂ් චතුරංග වසර 2කට අධික කාලයක් කටයුතු කරයි.

2020 වසරේ සිට විද්‍යාලයේ නව විදුහල්පති ආදි ශිෂ්‍ය කේ.ඩබ්ලිව්.එස්. ජේ. ද සිල්වා මහතාගේ දායකත්වය කොවිඩ් 19 අභියෝග ජය ගනිමින් විද්‍යාලයේ බාලක සහ බාලිකා ක්‍රිකට් කණ්ඩායම් අවසන් වරට ලද ජයග්‍රහණයන්ට බෙහෙවින් ඉවහල් විය.

විද්‍යාලයීය ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් විද්‍යාලයේ සමස්ත ආචාර්ය මහත්ම-මහත්මීන්, අනධ්‍යයන කාර්ය මණ්ඩලය, ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය, ආදි ශිෂ්‍ය මව් සංගමය, කොළඹ ආදි ශිෂ්‍ය සංගමය, විද්‍යාලයීය සුබ පතන්නන්, ආදි කර්තෘතුමන්ගේ මුනුබුරු අනිල් ඊ. ද සිල්වා, සීනිගම ගුණ ජය සතුට පදනමේ නිර්මාතෘ කුෂිල් ගුණසේකර, සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අලෙවි අධ්‍යක්ෂ කුමාර් සමරසිංහ, එංගලන්තයේ පදිංචි වීරද්දන සමන් ද සිල්වා, හෙල්පෝ ලංකා පදනම, ගාල්ල දිස්ත්‍රික් ක්‍රිකට් සංගමය, ආදි ක්‍රිකට් ක්‍රීඩක සංගමය, ක්‍රිකට් ක්‍රීඩක-ක්‍රීඩිකා දෙමව්පිය සංගමය ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් අගනා දායකත්වයක් දක්වා ඇත

ඉෂානි යද්දෙහි

Comments