
ඝාතන චෝදනාවක්
වසර 8 -25 ක සිර දඬුවම් අනතුරක්
ආර්ජන්ටිනාවේ වෛද්‍ය විශේෂඥයෝ හත් දෙනෙක් ලොව සුප්‍රකට පාපන්දු වීරයකු වන දියාගෝ මැරඩෝනා ඝාතනය කරන්නට කටයුතු කළ බවට චෝදනා ලබලා.
පසුගිය වසරේ නොවැම්බර් මාසයේ තමයි මැරඩෝනා මරණයට පත් වුණේ. ඒ හදවත අක්‍රියවීම හේතුවෙනුයි. ඒ මාසයේදී ම ඔහු මොළයේ රුධිර කැටියක් සිරවීම නිසා ඇතිවුණු සංකූලතාවක් වෙනුවෙන් සාර්ථක සැත්කමකට බඳුන් වෙලා තිබුණා.
සුපිරි පාපන්දු වීරයාගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වපු අභිචෝදකයා සැකකරුවන්ට රටින් පිටවන්නට තහනම් කරන ලෙසට නියෝගයකුත් නිකුත් කරලා.
මෙහිදී ඔහු පෙන්වා දී ඇත්තේ මැරඩෝනාගේ වෛද්‍ය කණ්ඩායම තමන්ගේ රාජකාරි පැහැර හැර ඇති බවයි. සැත්කමෙන් පසු තම රෝගියා සම්බන්ධ දැරිය යුතු වගකීම් නොපිරිහෙලා ඉටුකිරීමට වෛද්‍ය කණ්ඩායම අසමත්වී ඇති බවට අධිකරණයට ඉදිරිපත් කළ ලේඛනයන්හි දක්වා ඇති බවයි සඳහන් වෙන්නේ.
ස්නායු ශල්‍ය වෛද්‍යවරයා සහ මනෝ චිකිත්සක වෛද්‍යවරුන් වශයෙන් ප්‍රකට Leopoldo Luque හා Agustina Cosachov යන වෛද්‍යවරුන් ද මෙම චෝදනා ලාභීන් අතරට අයත්. මීට පෙරදීත් මෙම මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකළ වෛද්‍ය පර්යේෂකයන් ඔවුන් දෙදෙනාට චෝදනා ඉදිරිපත් කර තිබුණා.
මේ සම්බන්ධයෙන් එල්ලවන චෝදනා පිළිබඳ වෛද්‍ය Luque පවසන්නේ, ‘මම නොසැලකිලිමත් වුණා කියලා පවසන්න කිසිවකුට හැකියාවක් නෑ.’ කියායි. පසුගිය වසරේ නොවැම්බර් මාසයේ තමා හා මැරඩෝනා අතර තිබූ පෞද්ගලික මිත්‍රත්වය හා සම්බන්ධතාව ගැන ඔහු ප්‍රකාශ කර තිබුණා.
මේ අතර චූදිතයන් ලබන 31 වැනිදා සාක්ෂි බැඳීමට නියමිතව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. එතැනදී ඔවුන්ට තිබෙන ප්‍රබල අනතුර වන්නේ යම් ආකාරයකින් අදාළ චෝදනාවන්ට වරදරුවන් බවට පත්වුවහොත් වසර අටත් විසිපහත් අතර කාලයක් සිර දඬුවම් විඳීමේ අවකාශයක් මතුව ඒම.
පරීක්ෂණ සඳහා පත්කළ වෛද්‍ය මණ්ඩලයේ වාර්තාවට අනුව මැරඩෝනා සිය මරණයට පෙර ගෙවා දැමූ අවසන් පැහ දොළහක කාලය තුළ අධික වේදනාවක් අත්විඳ ඇති බව කියැවෙනවා. යම් හෙයකින් මැරඩෝනා නිවැරදි වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුකළේ නම් ඔහුට තවත් බොහෝ කාලයක් ජීවිතය ප්‍රවේශම් කරගැනීමට හැකියාව තිබූ බවයි පරීක්ෂණ සඳහා පත්කළ වෛද්‍ය මණ්ඩලයේ අදහස වී ඇත්තේ.
මේ අතර පර්යේෂකයන් තවදුරටත් සොයා බලමින් ඇත්තේ නිවසේ සිට ප්‍රතිකාර ලැබීමට මේ සුපිරි පාපන්දු ක්‍රීඩකයා කටයුතු කර ඇත්තේ ඇයිද යන්න සම්බන්ධවයි. එසේම ඔහුට ලබාදී ඇති වෙනත් ප්‍රතිකාර හා මැරඩෝනා අත්විඳිමින් සිට ඇති සෙසු රෝගාබාධ සම්බන්ධයෙනුත් ඔවුන් සිය පර්යේෂණ ක්‍රියාත්මක කර ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.
කාන්ති ජයසිංහ
-------------------
බත්‍රාගේ හයියෙන් හොකී බලය යළි ආසියාවට
ජාත්‍යන්තර හොකී සම්මේලනයේ සාමාජික රටවල් 124 ක සහභාගීත්වයෙන් පැවති ජාත්‍යන්තර හොකී සම්මේලන වාර්ෂික සභාවාරය සහිත නිලවරණ යේ දී ආචාර්ය නරේන්ද්‍ර බත්‍රා අතිශය තියුණු තරගයකින් අනතුරුව අඛණ්ඩව දෙවැනි වතාවට ද සභාපති ධුරය හිමි කර ගැනීමට සමත් විය.
ඉන්දීය ඔලිම්පික් කමිටුවේ සභාපතිවරයා මෙන්ම ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සාමාජිකයෙකු වන නරේන්ද්‍ර බත්‍රා 2016 වසරේදී ජාත්‍යන්තර හොකී සම්මේලනයේ සභාපති ධූරයට මුලින්ම පත් විය. ඒ ඩුබායි දේශයේදී පැවති නිලවරණයේදී මනාප ඡන්ද 68 ක් ලබාගනිමිනි . ඒ මහතාගේ දෙවැනි ධූර කාලය ලබන 2024 වසර දක්වා බලපැවැත්වේ .
2020 වසරට නියමිතව තිබුණු ජාත්‍යන්තර හොකී සම්මේලන නිලවරණය කොවිඩ් -19 ගෝලීය වසංගත තත්ත්වය හමුවේ වසරකින් කල් දමන්නට ජාත්‍යන්තර හොකී සම්මේලන විධායක කමිටුව පියවර ගත්තේ පසුගිය වසරේ දී ම ය . ඒ අනුව ඉකුත් සෙනසුරාදා (22) ක්‍රියාත්මක කෙරුණු නිලවරණයේ දී සභාපති ධුරය සඳහා ද්වන්ධ සටනක් නිර්මාණය වී තිබිණි.
ඉන්දියාවේ නරේන්ද්‍ර බත්‍රා සහ ජාත්‍යන්තර හොකී තරග 358 ක අත්දැකීම් සහිත සුපිරි ක්‍රීඩකයෙකු වූ බෙල්ජියමේ මාර්ක් කොඩ්ඩ්‍ර්න් මෙවර සභාපති ධුරය සඳහා තරග වැදුණු අතර එහිදී වැඩි ඡන්ද 02 කින් ජයග්‍රහණය වාර්තා කර ගැනීම නරේන්ද්‍ර බත්‍රා ට හැකිවිය.
සපුමල් වීදිය බණ්ඩාර










