
රෝහණ දිසානායක
ලෝකයේ උපකාර අරං ශ්‍රී ලංකාවේ හොකී නැංවිය හැකියි
මම සල්ලි ඉදිරියේ රහසින්වත් වැරැදි පැත්තට ගිය මිනිහෙක් නොවෙයි
මම මගේ ප්‍රතිවාදීන් ගැන හිතන්නේ නෑ. අපි කණ්ඩායමක් වශයෙන් වැඩකරනවා.
ඔහු රෝහණ දිසානායක ය. මාතලේ පුරවරයේ හොකී තොටිල්ලේ ඉපිද, ඉන් ලැබූ පන්නරය සමඟ මේ වන විට දේශපාලන පිටියනියෝජනය කරන කලක් ශ්‍රී ලංකා හොකී සම්මේලනයේ සභාපතිවරයා වශයෙන් ද කටයුතු කර ඇත්තෙකි. වර්තමානයේ මාතලේ දිස්ත්‍රික් හොකී සංගමයේ සභාපතිවරයා වනුයේ ද ඔහු ය. නුදුරේ පැවැත්වීමට යෝජිත ශ්‍රී ලංකා හොකී සම්මේලනයේ නිලවර්ණයේදී සභාපති ධුරය වෙනුවෙන් තරග වදින්නට සූදානමින් සිටින ඔහු හා ‘ක්‍රීඩා’ ප්‍රතිමුඛ වූයේ මන්ත්‍රීකම පිරුවටයක් කර ක්‍රීඩා සම්මේලනයක මුලසුන ලබාගැනීමට හැකියාවක් පවතින්නේ ද යන්න හා ඔහුගේ හොකී වැඩපිළිවෙල ගැන සාකච්ඡා කිරීමට ය.
කොවිඩ් අස්සෙම අලුත් වගකීමක් ගන්න සූදානමින් ඉන්නවා කියන කතාව ඇත්ත ද?
ඔව්. මේ ගමන හොකී නිලවරණයේ දී සභාපති ධුරයට තරග වදින්න මම නාමයෝජනා බාරදීලා ඉන්නේ. මේ මාසයේ 31 වැනි දා හොකී නිලවරණය පැවැත්වෙන්න නියමිතයි. ඒ වෙනුවෙන් මමත් මගේ කණ්ඩායමත් තරග වදිනවා. ඒ තරග වදින්නේ නිලවරණයට විතරයි. ඊට පස්සේ අපි හොකී ක්‍රීඩාව කරන රටේ සියලු පාර්ශ්වයන් එක් වෙලා ක්‍රීඩාව ලෝකය තුළ තවත් ඉදිරියට රැගෙන යාමේ සටන ආරම්භ කරනවා.
ඒ කියන්නේ නිලවරණයෙන් පස්සේ විරසක නෑ, පක්ෂ, පාර්ශ්ව නෑ. ඔක්කොම එකයි කියන එක ද?
සැබැවින්ම. රටට ආදර්ශමත් දිස්ත්‍රික් ජනතා නියෝජිතයෙක් වශයෙන් අපි වැඩකරන්නේ ඒ විධිහටයි. කැමැත්ත, අකමැත්ත අනුව විවිධ පාර්ශ්ව බෙදිලා නිලවරණ, ඡන්දවලදී සටන් කරනවා. ඒක අදහස් යුද්ධයක්. නමුත් වැඩ කළ යුත්තේ සියලු දෙනා එකතුවෙලා. එහෙම නැතිව එක පාර්ශ්වයක් විතරක් ඒක කරලා වැඩක් නෑ. ප්‍රතිඵල ගන්න නම් සියලු පාර්ශ්ව වැඩ කළ යුතුයි. අපේ පාර්ශ්වය ඒ වෙනුවෙන් වැඩ කරන්න සැමවිටම සූදානම්.
දැන් හොකී නිලවරණය ළඟ නිසා කඩදාසි කොළවලට, ලිපි ශීර්ෂයට සීමාවුණු, හතු පිපෙන්නා වගේ හදිසියේ පිපුණු ක්‍රීඩා සමාජ ආරම්භ වනවා. ඒ ගැන ඔබේ අදහස දැනගන්න කැමතියි?
මම ඒ ගැන සංවේදියි. වැඩක් නොකරන, ඡන්දය වෙනුවෙන් පමණක් ස්ථාපනය කරන අනුබද්ධ ක්‍රීඩා සංගම් ගැන අපි සැලකිලිමත් වන්න අවශ්‍යයි. මොකද මෙතැනදී තෝරන්නේ රටේම හොකී ක්‍රීඩාව බාරගන්න නිලධාරී මණ්ඩලය කවුරුන්ද කියලයි. ඉතින් කඩදාසි කොළවලට සීමාවුණු අනුබද්ධ සංගම් පවතින්නේ නිලවරණයේ දී ඡන්දය දීලා තමන්ගේ කණ්ඩායමක් පත්කරවා ගන්න මිසක් ක්‍රීඩාවට ආදරයෙන් නෙවෙයි. ඒක දැවැන්ත අර්බූදයක්. කොයි කවුරු නිලවරණයකට ගියත් මෙවැනි දේ අත්හිටුවිය යුතුයි.
ඒ කියන්නේ ලිපි ශීර්ෂවලට සීමා වුණු හදිසියේ පිපුණු සංගම් ඔබට සහාය දෙන්නේ නෑ කියලා ඔබ දන්නවා කියන එක ද?
නෑ. ඒක නොවෙයි මම කියන්නේ. මම වැඩපිළිවෙලක් ඉදිරිපත් කරලා තිබෙනවා. මට වැඩකරන්න ප්‍රමාණවත් ශක්තියක් තිබෙනවා. මම හොකී ක්‍රීඩා කරපු, ක්‍රීඩාව එක්ක හිටපු පුද්ගලයෙක්. දැනටත් මම තමයි මාතලේ දිස්ත්‍රික් හොකී සංගමයේ සභාපතිවරයා වෙන්නේ. ඉතින් මට ලිපි ශීර්ෂ සංගම් මඟින් ඡන්දය දෙනවාද නැද්ද කියලා තීරණය කරන්නේ ඔවුන්. ඒත් අපි කවුරු වුණත් ක්‍රීඩාව පැත්තෙන් ඵලදායී දෙයක් නොකරන සංගම් ගැන ගැඹුරින් සිතා බලන්න ඕනෑ. ඒක කොයි පාර්ශ්වයට ද පක්ෂ කියන එක ගැන බලලා නොවෙයි. අපි එතැනදී තීරණ ගත යුත්තේ කුමක් ද හරි කියන එක බලලයි.
දැන් ඔබ මාතලේ දිස්ත්‍රික් හොකී සභාපති. ඒ වුණාට මාතලේ කෘත්‍රිම හොකී පිට්ටනියත් අභාවයට ගිහිල්ලා නෙ. රටක හොකී හදන්න ඉස්සෙල්ලා ගමේ හොකී හදාගෙන ඉන්න ඕනෑ නේද ?
අපි ඒ ගැන ක්‍රියාත්මක වෙලා තිබෙන්නේ. ක්‍රීඩා ඇමැතිතුමා ඇවිත් ඊට අවශ්‍ය සියලු පහසුකම් සපයා දුන්නා. දැන් ක්‍රීඩාංගණය නවීකරණය කිරීම යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මැතිතුමා විසින් බාර අරගෙන තිබෙනවා. එය අලුත්වැඩියා කරන්න කළ යුතු සියලු වැඩකටයුතු සිදුකරමින් ඉන්න විට තමයි ලෝකයම මේ මහා ව්‍යසන රෝගයකට ගොදුරු වුණේ. නුදුරු කාලයේදීම අපට මාතලේ කෘත්‍රිම හොකී පලස නැවත ක්‍රීඩක අයිතියට බාර දෙන්න හැකි වේවි.
ඒත් ඒක වෙනම කතාවක් නෙ. ඔබ සභාපති වශයෙන් සිටි කාලය තුළ මාතලේ හොකීවලට දැනෙන දෙයක් කළා ද කියන ප්‍රශ්නය අප තුළ තිබෙනවා?
මාතලේට ඇවිත් බලන්නකො. මාතලේ හොකී ක්‍රීඩකයන්ගෙන් අහලා බලන්න. එතකොට පිළිතුරු ලබාගන්න පිළිවන්. මම මෙහෙම කියන්නම්කො දිස්ත්‍රික් හොකී සංගමයක් වශයෙන් මේ අවුරුද්දේ පැවැත්විය යුතු සියලු තරග සංවිධානය කරන්න මාතලේ දිස්ත්‍රික් සංගමයට හැකිවුණා. රට ඇතුළේ සාර්ථක ලීග් තරගාවලියක් සංවිධානය කරන්නත් අපිට පුළුවන් වුණා. අනෙත් කාරණය රෝහණ දිසානායක කියන්නේ හොකී විතරක් ක්‍රීඩා කරපු කෙනෙක් නොවෙයි. රෝහණ කියන්නේ ක්‍රීඩාව එක්ක ගැඹුරින් බද්ධ වුණු මිනිහෙක්. මාතලේ පැසිපන්දු, මලල ක්‍රීඩා එහෙමත් නැත්නම් වෙනත් ක්‍රීඩාවක් ගැන බැලුවත් ඒවා දියුණු කරන්න, යටිතල පහසුකම් නංවන්න මේ රෝහණ දිසානායක ක්‍රියාකරලා තිබෙනවා කියන එකත් අමතක කරන්න එපා. දිස්ත්‍රික්කයේ ජනතාව එක්ක, තරුණ, තරුණියන් එක්ක ඉන්න වැඩිමහලු සහෝදරයෙක්. බර්නාඩ් අලුවිහාරේ පිට්ටනියට කරලා තියෙන දේවල් බලන්න. ප්‍රදේශයේ අලුත් ක්‍රීඩා පිටි කපන්න කරලා තිබෙන බලපෑම බලන්න. අපිට බලයක් නොතිබුණු කාලයක් තිබුණා. ඒ කාලේ සිදුනොකරපු දේ නිසා අපි අසරණවෙලා හිටියා. නමුත් අපේ ආණ්ඩුවක් බලයට ආවට පස්සේ අපි ක්‍රීඩාව වෙනුවෙන් බොහෝ දේ සිදුකරලා හා සිදුකරමින් ඉන්නවා. අපිට පුළුවන් වුණා ‘නිජබිම’ හොකී තරගාවලිය සංවිධානය කරන්න, විවිධ රටවල කණ්ඩායම් රැගෙනවිත් ඔවුන් සමඟ තරග සංවිධානය කරන්න හැකි වුණේ මගේ සභාපතිත්වය යටතෙයි. මම වැඩක් කළා ද කියලා ඔබට වැටහීමක් ඇතිකරගන්න මේවා ප්‍රධාන කාරණා කීපයක් විතරයි.
මාතලේ හොකී සභාපතිතුමා, ඔබට හොකී ක්‍රීඩාවේ තියෙන අයිතිවාසිකම මොකක් ද කියලා පැහැදිලි කරන්න කැමති ද?
ඇයි නැත්තේ. මම හොකී ක්‍රීඩකයෙක්. වෙළෙඳ සේවා හොකී කණ්ඩායමට ක්‍රීඩා කරලා අපි ශූරතාව පවා දිනූ කණ්ඩායමක්. මාතලේ තිබුණු ‘ග්‍රාස් හොපර්ස්’ කියන ශක්තිමත් හොකී කණ්ඩායමේ මමත් සාමාජිකයෙක්. පාසල් මට්ටමේ දී, දිස්ත්‍රික් මට්ටමේ දී වගේම වෙළෙඳ සේවා මට්ටමේදීත් මම හොකී ක්‍රීඩාවෙන් දස්කම් දක්වලා තිබෙනවා. මෙවර නිලවරණයට ඉදිරිපත් වන ඇතැමුන්ට වැඩිය මම ඒ ක්‍රීඩාවේ ස්ථාවරව සිටි ක්‍රීඩකයෙක්.
ඒ කියන්නේ ඔබ හිතන්නේ ‘තණකොළ පෙත්තෙක්’ වුණ පළියට මෙවර නිලවරණයේ බලය ගන්න හැකිවේවි කියල ද?
නිසැකවම. මා එක්ක ප්‍රවීණ මම ඇතුළු කණ්ඩායම බලයට පත්වෙනවා. ඒ වෙනුවෙන් යහපත් හා කාර්යක්ෂම වැඩපිළිවෙලක් අප සතුයි. සල්ලි සොයන්න, ක්‍රීඩා අමාත්‍යාංශය මත පමණක් නොයැපී ඉන්න, ක්‍රීඩකයන්ගේ පුහුණු අවශ්‍යතා, තරග සංචාර, සංචිත පවත්වාගෙන යන්න අවශ්‍ය මූල්‍ය බර සොයා ගන්නත් මට වැඩපිළිවෙළක් තිබෙනවා. කොටින්ම කියනවා නම් හොකී ක්‍රීඩාව නඟාලන්න, ජයග්‍රාහී අරමුණු කරා ගෙනයන්න පිළිවන් වැඩසටහනකින් මගේ කණ්ඩායම පොහොසත්. අපි විශ්වාස කරනවා අපිට බලය දෙන්න බුද්ධිමත් සංගම් නියෝජිතයන් තමන්ගේ අත ඔසවාවි කියලා.
දැන් ඔබ හොකී සභාපති ධුරය බාර අරගෙන ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ මොකක් ද?
මම මගේ වැඩපිළිවෙළ ගැන ක්‍රීඩා සමාජ නියෝජිතයන් දැනුවත් කරලා තිබෙනවා. එතැන කරුණු කීපයක් මම ගෙනහැර දක්වන්නම්. එකක් තමයි ප්‍රමිතියෙන් යුතු හොකී පථ ඉදිකිරීම. දෙවැන්න දිස්ත්‍රික් වශයෙන් හොකී පුහුණු මධ්‍යස්ථාන ඇතිකිරීම. ක්‍රීඩා සමාජාන්තර හොකී වැඩිදියුණු කිරීම වගේම ලීග් හොකී තරගාවලියක් ආරම්භ කිරීම ප්‍රධාන අපේක්ෂාවන් කීපයක්. අපි බලයට ඇවිත් හොකී ඇකඩමි ආරම්භ කරනවා. ජාත්‍යන්තර සම්බන්ධතා සමඟ වැඩකරලා අපේ රටේ හොකි ක්‍රීඩාව නඟාලන්න අපි ගාව වැඩපිළිවෙළක් තිබෙනවා.
කෘත්‍රිම හොකී පථ ප්‍රමිතියෙන් යුතුව සපයන්නෙ නැතිව, ක්‍රීඩකයන් බලගන්වන්නේ නැතිව කොහොමද ක්‍රීඩාව රට ඇතුළේ දියුණු කරන්න හැකිවෙන්නේ කියන ප්‍රශ්නයක් තිබෙනවා. ඔබ මොකද ඒ ගැන කියන්නේ?
මම කියන්නේ අපි කෘත්‍රිම තණතීරු පහක් වත් රට ඇතුළේ එළිය යුතුයි කියලයි. ක්‍රීඩකයන්ගේ ආර්ථික ශක්තිය, ඔවුන්ගේ රැකියා අවස්ථා වැඩිදියුණු කරන්න අපිට හැකියාව තිබිය යුතුයි. හොකී ක්‍රීඩකයෙක් කිව්වාම සමාජය පිළිගන්න තත්ත්වයක් ඇතිකිරීම අත්‍යවශ්‍යයි. එහෙම තමයි ක්‍රීඩාව දියුණු කරන්න හැකිවන්නේ. අපිට ඒ වෙනුවෙන් සැලසුම් තිබෙනවා. විදේශයෙන් කෘත්‍රිම හොකී පලස් රැගෙන ඇවිත් රට ඇතුළේ අතුරන්න අපිටත් වැඩ පිළිවෙළක් තිබෙනවා. බොරලු, තණකොළ පිටිවල ගහලා අන්තර්ජාතික වශයෙන් ජයග්‍රහණය ලබන්න බැරි බව අපි දන්නවා. මොකද තණකොළ පිටියේ බෝලේ ගලා යන විධිහ හා සඳහන් කොට කෘත්‍රිම තණ පලසේ බෝලය ඇදී යන විධිය, වේගය, උඩ එන ප්‍රමාණය වෙනස්. ජාත්‍යන්තරය දිනන්න නම් ඒ වෙනුවෙන් ප්‍රමිතියෙන් යුතු කෘත්‍රිම හොකී තණතීරු අවශ්‍යයි. එවැනි තණතීරු අපේ ක්‍රීඩකයන්ට ලබාදෙන්න අපි වැඩකරනවා.
ඔබ දැන් මාතලේ දිස්ත්‍රික්කයේ ජනතා නියෝජිතයෙක්. කැබිනට් සංශෝධනයකදී නිසැක වශයෙන්ම මාතලේට ලබාදෙන ඊළඟ අමාත්‍ය ධූරය හිමිවන්නේ ඔබට. දේශපාලන ආරංචි මාර්ග විශ්වාස කරන්නේ එහෙම. කොටින්ම කියනවා නම් ඔබත් ඇමැති කමක් ගන්න කැමැත්තෙන් ඉන්නවානෙ. එහෙම දෙයක් වුණොත් එහෙම හොකීවලට අබසරණයි නේද?
නැහැනෙ. ඔබ රෝහණ දිසානායකගේ දේශපාලනය, පරිපාලනය ගැන දන්නේ නැති නිසානෙ ඔහොම කියන්නේ. දේශපාලනයේදී ඇමැතිකමක් දෙන්න ජනාධිපතිතුමා, අගමැතිතුමා ඇතුළු පක්ෂයේ ඉහළ පෙළේ නිලධාරීන් කටයුතු කරාවි කියලා මට විශ්වාසයි. නමුත් ඒක එහෙම වුණා කියලා ක්‍රීඩාවේ හා සමාජමය වශයෙන් මම දරණ වගකීම් කිසිම දෙයක් අතපසු වෙන්නේ නෑ. ඔබ දන්නවා ද මගේ ධාරිතාව කොපමණ ද කියලා? රෝහණ කියන්නේ හිටපු ක්‍රීඩකයෙක්. දිස්ත්‍රික්කයක ජනතාවක් විශ්වාසය තබපු ජනතා නායකයෙක්. රටක හොකී ප්‍රජාව මා කෙරෙහි තබපු විශ්වාසය මම බිඳින්නේ නැතිව වැඩකරන්න දන්නවා. අනෙක මේ වැඩේට අවශ්‍ය කරන නායකත්වය මම ලබාදෙද්දී ක්‍රීඩාව අරගෙන දුවන්න පිළිවන් කාර්යශූර නිලධාරීන් පිරිසක් මා සතුයි. ඒ නිසා හොකීවලට අබසරණ වෙන්නේ නෑ. අබසරණ වෙන්නේ හොකීවලින් හොරා කන්න හදන උදවියට තමයි.
දේශපාලනඥයෝ බහුතරයක් කතා සාප්පු දාන්න දක්ෂයි. හැබැයි වේදිකාවේ කියන දේවල් ප්‍රායෝගික ලෝකයේ යථාර්ථයක් බවට පත්කරද්දී විවිධ අසීරුතා දකින්න පිළිවන්. මේක හොකී ගැන කතාකරද්දී රෝහණ දිසානායක කියන දේශපාලනඥයාටත් අදාළ වෙයි ද?
අපි දේශපාලන වේදිකාවෙත් බොරු කියන්නේ නෑ. රටට, සමාජයට කරන්න යන දේවල් ගැන තමයි කතාකරන්නේ. මම හොකී වෙනුවෙන්, ක්‍රීඩාව වෙනුවෙන් මාතලේ දිසාවේ ජනතාවට දීපූ හැම පොරොන්දුවක්ම ඉටුකරලා තිබෙනවා. මාතලේ බර්නාඩ් අළුවිහාරේ ක්‍රීඩාංගණය හදන්න සල්ලි ගේන්න පොරොන්දු වුණා. ඉටු කළා. කෘත්‍රිම හොකී පලස යළි ප්‍රතිස්ථාපනය කරලා දෙනවා කිව්වා. ක්‍රීඩා අමාත්‍යවරයාගේ ආශිර්වාදය සහිතව එය කරන්න පටන් අරගෙන තිබෙනවා. මම කටින් බතල හිටවන දේශපාලනඥයෙක් නෙවෙයි. හරි පැත්තේ හිටගෙන ඉන්න, මුදලට, අල්ලසට පැති මාරු නො කළ නියම ප්‍රතිපත්තියක් වෙනුවෙන් පෙනී සිටින දේශපාලනඥයෙක්. ඒක අමතක කරන්න එපා.
ප්‍රතිවාදීන් ගැන ඔබේ තිබෙන තක්සේරුව මොකක් ද?
මම මගේ ප්‍රතිවාදීන් ගැන හිතන්නේ නෑ. අපි කණ්ඩායමක් වශයෙන් වැඩකරනවා. අපි ජයගන්නවා. අපිට හොද වැඩපිළිවෙළක් තිබෙනවා. ක්‍රීඩාව ගැන විද්‍යාත්මක දැක්මක්, පළපුරුද්දක් තිබෙනවා. අපි ක්‍රීඩකයෝ හැටියට හොකී පිට්ටනියේ ගතකරපු අය. එහෙම නැතිව උඩින් පාත්වෙලා, ඉඳලා හිටලා වැස්සට ඉස්කෝලේ ගියා වගේ පිට්ටනියට බැහැපු අය නොවෙයි. අපි භූමියේ හොකී ගහපු අය. ඒ නිසා මට ප්‍රතිවාදීන් ගැන ප්‍රශ්නයක් නෑ. අපි රටම හොකී තොටිල්ලක් බවට පත්කරන්න කටයුතු කරනවා.
මීට කාලයකට පෙරත් ඔබ හොකී සම්මේලනයේ සභාපති ධුරය බාරගත්තා නේද? ඒ කාලය ගැන ඔබ තෘප්තිමත් ද?
ඔව්. 2006 තමයි මම සභාපතිත්වය ඉසිලුවේ. දකුණු ආසියානු හොකී තරගාවලිය අපිට ශ්‍රී ලංකාවේ සංවිධානය කරන්න හැකියාව ලැබුණා. එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආශිර්වාදය සහිතව හොකී සම්මේලනයේ සභාපති වශයෙන් මම මැලේසියාවේ පැවැති හොකී සමුළුවේදී කලාපයේ ප්‍රබල රටවල් අභිභවා තරගාවලිය අපේ රටට රැගෙන එන්නට හැකියාව උදාකරගත්තා. මැලේසියානු රජු තමයි හොකී සම්මේලනයේ සභාපති, මැලේසියාවේ පොලිස්පතිවරයාත් එහි තනතුරක් දැරුවා. එතැනදි තමයි මම ලංකාවට ඒ සත්කාරකත්වය දිනාගත්තේ. ඒක තිබ්බේ මාතලේ. එම තරගාවලියේ දී අපිට ලෝකඩ පදක්කම දිනාගන්න හැකිවුණා. එය මගේ සභාපති කාල සීමාවේ ලබාගත්තු සුවිශේෂ ජයග්‍රහණයක්.
ඔබ හිතනවා ද හොකී ගහලා අපිට ලෝකයේ තැනකට යන්න පුළුවන් කියලා?
ඇයි බැරි. ක්‍රිකට්වලින් ලෝකයේ යම් තැනකට අපි ආවා නම් හොකී වලිනුත් අපිට එතැනට එන්න පිළිවන්. කණ්ඩායම් ක්‍රීඩා අතර ක්‍රිකට් වගේම හොකී කියන්නේ ස්වර්ණමය ගමනක් සහිත ක්‍රීඩාවක්. අපි සභාපති ධුරය බාරගන්න තීරණය කළේ මේ ක්‍රීඩාව එවැනි තැනකට රැගෙන යන්න ඇති දැක්ම රට සහ ක්‍රීඩාව වෙනුවෙන් ඉටු කරන්නයි.
කසුන් ඉරුගල්බණ්ඩාර










