එකුන් විසිපස් වසරකට එපිට ඔලිම්පික් පිටියෙන් නැ‍ෙඟන මතක | සිළුමිණ

එකුන් විසිපස් වසරකට එපිට ඔලිම්පික් පිටියෙන් නැ‍ෙඟන මතක

 

ඔලිම්පික් ක්‍රීඩා උලෙළ ලොව මහා ක්‍රීඩා සැණෙකෙළියයි. එය අද සංවිධානය කරනුයේ වසර හතරකට වතාවකි. මෙහි පළමු කොටස ග්‍රීසියෙන් ඇරැඹුණ පුරාතන ඔලිම්පික් උලෙළයි. 1896 ග්‍රීසියේ ඇතැන්ස් නුවරින් යළිත් ඇරැඹුණ ඔලිම්පික් උලෙළ දැන් හඳුන්වනු ලබන්නේ “නූතන ඔලිම්පික්” තරගාවලිය ලෙසය. ඒ අනුව මිළඟ ඔලිම්පික් උලෙළ වෙනුවෙන් ජපානයේ ටෝකියෝ නුවර සූදනම් වන්නේ ඉදිරි ජූලි මාසයේ දී එය පවත්වන්නට ය. නමුත් වර්තමාන ගෝලීය සෞඛ්‍යය තත්ත්වය හේතුවෙන් ඒ සම්බන්ධයෙන් විවිධාකාරයේ සැක සංකා මතුව විත් තිබේ.

ප්‍රථම නූතන ඔලිම්පික් උලෙළ ග්‍රීසියේ පවත්වනු ලැබුවේ 1896 අප්‍රේල් මස 6 වැනි දා සිට 15 වැනිදා දක්වා ය. එහි නිර්මාතෘ ප්‍රංශ ජාතික බැරන් පියරේ ඩි කුබර්තින් ක්‍රීඩා ප්‍රේමියාගේ අප්‍රතිහත ධෛර්යය මත එය සංවිධානය විය. නූතන ඔලිම්පික් උලෙළ අරඹා 2021 ටෝකියෝ ඔලිම්පික් පවත්වන්නට සූදානම් වන විට ඔලිම්පික් උලෙළට වසර 125 ක් සම්පූර්ණ වී ඇත. එබැවින් එය අමතක නොවන මහා ක්‍රීඩා සංවත්සරයකි.

මෙවර “ක්‍රීඩා” ඔබ වෙත රැගෙන එන්නේ 1896 ප්‍රථම නූතන ඔලිම්පික් උළෙලේ මතක සටහන් ය. එය මහා ක්‍රීඩා උලෙළක් බවට පත් කරන්නට සුළු පිරිසකගේ කැපවී අමරණීය ප්‍රයත්නයකි.

නූතන ඔලිම්පික් නිර්මාතෘ කුබර්තින්

පැරැණි ඔලිම්පික් තරග ගැන පුළුල් අධ්‍යයනයක යෙදී නැවත ඔලිම්පික් උලෙළ පවත්වන්නට පෙරමුණ ගත්තේ මොහුය. ඔලිම්පික් තරගවල වටිනාකමත් ක්‍රීඩාවේ වටිනාකම හා සමාජයීය වැදගත්මත් පෙන්වා දුන් කුබර්තින් “තරගයකට සහභාගි වීම ප්‍රථම ජයග්‍රණය” යනුවෙන් ද ප්‍රකාශ කළේය. 1894 දී ඔලිම්පික් ක්‍රීඩා සමුළුවක් කැඳවා ග්‍රීසියේ ඇතන්ස් නුවර ප්‍රථම නූතන ඔලිම්පික් උලෙළ වෙනුවෙන් තෝරා ගත්තේ ද එතුමාගේ මැදිහත් වීමෙනි. හැම ඔලිම්පික් උලෙළක දී ම එතුමාගේ දැක්ම මතු කෙරෙන්නේ මේ නිසාය.

සියය පනී

ආරම්භක උලෙළ 1892 අප්‍රේල් 6 දිනය. එදින ග්‍රීසියේ 75 වැනි නිදහස් සමරු උලෙළ යෙදී තිබිණ. ඔලිම්පික් උලෙළ විවෘත කරනු ලැබුවේ ග්‍රීසියේ පළමුවැනි ජෝර්ජ් රජතුමා විසිනි. අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති දිමිත්‍රියස් වයික්ලස් සහ ලේකම් පියරේ කුබර්තීන් ඊට එක් වූ හ. සමාප්ති උලෙළ පැවත්වුණේ 1896 අප්‍රේල් 15 දින ය. උලෙළට සහභාගි වූ ක්‍රීඩකයන්, නිලධාරීන් තරග විනිසුරුවන් සහ ඔලිම්පික් කමිටුවේ සියලු දෙනා වෙනුවෙන් සමාප්තියට පසු ජෝර්ජ් රජතුමා විසින් රාජකීය උදෑසන ආහාර සංග්‍රහයක් පවත්වනු ලැබී ය.

ඩොලර් එක් ලක්ෂ පනස් දහසේ නූතන ඔලිම්පික් නිධානය

තරග පැවැත්වුණේ ග්‍රීසියේ පැරැණි ඇතන්ස් ක්‍රීඩාංගණය මුල් කර ගනිමිනි. එය ඩොලර් 150,000 ක මුදලක් වැය කොට නවීකරණය කරන ලැබුවේ ය. තරගාවලියට පැමිණි රටවල් 13, ක්‍රිඩකයන් 311 ක්‍රීඩා 9 කින් ඉසව් 43 කට තරග වැදිණි. මලල ක්‍රීඩා, මල්ලව පොර, පිහිනුම්, බර ඉසිලීම, පාපැදි ධාවන තරග ප්‍රධානත්වයක් ගත්තේය. සමාරම්භක උලෙළ 40,000 ක පිරිසක් නැරඹූහ.

යන්තම් දෙසීය පනී

ග්‍රීසියෙන් ක්‍රීඩකයන් 214 දෙනෙකි. එක්සත් ජනපදයෙන් ක්‍රීඩකයන් 13 කි. ඔවුන් එදා ග්‍රීසියට පැමිණියේ අපමණ බාධක මධ්‍යයේය. තරගාවලියේ ජයග්‍රාහකයන් වූයේ එක්සත් ජනපදය ය. ඔවුහු ප්‍රථම ස්ථාන 11, දෙවැනි ස්ථාන 7 සහ තුන්වැනි ස්ථාන 1. තරඟ ඉසව්වක ජයග්‍රාහකයාට රිදී පදක්කමක් සමග ඔලිව් කොළ ඔටුන්නක් සහ දෙවැනියාට ලෝකඩ පදක්කමක් පිරි නැමුණේය.

තුන් පිම්මෙන් පළමු පදක්කමට පැනීම

එක්සත් ජනපදයේ ජේම්ස් කොනලි ය. ඔහු ජය ගත්තේ තුන් පිම්ම ඉසව්වයි. ජයග්‍රාහී පිම්ම මීටර් 13.71 කි. මීට අමතරව ඔහු උස පැනීමට දෙවැනි ස්ථානයත් දුර පැනීමට තුන්වැනි ස්ථානයත් දිනා ගත්තේ ය. ඇතැන්ස් ඔලිම්පික් උලෙළට සහභාගී වීම සඳහා සෙසු ඇමරිකානු ක්‍රීඩකයන් සමග කොනලිද ප්‍රමුඛව ක්‍රියා කළේ ය.

දස වස් බාල දක්ෂයා

තරගාවලියට සහභාගි වූ ළාබාලම ක්‍රීඩකයා වාර්තා වුණේ ග්‍රීසියෙනි. ඔහු දිමිත්‍රයොස් ලවුන්ඩ් රාස්. වයස අවුරුදු 10 දවස් 218 කි. සහභාගී වුණේ ජිම්නාස්ටික් තරගවලටය.

ඔලිම්පික් පදක්කම් දිනූ වයසකම වෙඩික්කාරයා

නමින් ජෝර්ජියස් ඔපර්නිඩිස්. වයස අවුරුදු 36 දවස් 102. ඉලක්කයට වෙඩි තැබීමේ ඉසව්වක් ජයග්‍රහණය කළේය.

මැරතන් නුවරට දිවූ මැරතන්

ඇතන්ස් උලෙළේ මාර්ග ධාවන තරග පැවැත් වුණේ ඇතන්ස් නගරයේ සිට මැරතන් නගරය දක්වාය. මේ නගර දෙකම සුප්‍රකටය. දුර සැතපුම් 54 කි. පැය 3 කුත් මිනිත්තු 22 තත්පර 31 කදී තරගය නිමා කළ ග්‍රීසියේ ඇලෙක්ස් කොන්ස්තන්තිනිඩ්ස් ජයග්‍රාහකයාය.

කවපෙත්තට පුහුණු වූ ගැරට්

යගුළිය විසි කිරීමේ ඉසව්වෙන් ජය ගත්තේ අමෙරිකානු කණ්ඩායමේ නායක රොබට් ගැරට්ය. ඔහුට පදක්කම ප්‍රදානය කළ අවස්ථාවේ දී කවපෙත්තෙ විසි කිරීමේ ඉසව්වටත් තරග වදිනවාදැ යි විමසූ විට කවපෙත්ත විසිකිරීම දැක තිබූ නමුත් ඉන් තරග වැදී නැති ගැරට් නිලධාරියාට මෙවැනි යෝජනාවක් කළේය. “කවපෙත්ත විසි කරන විධිය මට පෙන්නුවොත් මමත් තරග වදිනවා.”

ග්‍රීක නිලධාරියා ක්‍රීඩාංගණයේ පසෙකට ගැරට්ව කැඳවා ගෙන ගොස් කවපෙත්ත විසි කරන අන්දම ඔහුට පෙන්වා දුන්නේය. කෙටි පුහුණුවකින් පසුව ගැරට් තරග වැදුණේය. පළපුරුදු ක්‍රීඩකයින් අභිභවා ප්‍රථම වතාවට තරග වැදුණ ගැරට් ඉසව්වේ ජයග්‍රාහකයා වී පදක්කම හිමි කර ගත්තේය.

 

ක්‍රිස්ටෝපර් රණසිංහ

Comments