![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2021/05/20/1_0.jpg?itok=LBs4wlrx)
ඊශ්‍රාෙයල් අගමැති මේ රඟදක්වන්නේ මෝදිගේ චරිතයද?
තමන්ගේ බැරිකම වසා ගැනීමට, තම අරමුණ කරා යාමට රුධිර ගංගාවක පිහිනීමට වුවද හැකි බවත්, මළ මිනී කඳු මතින් වුවද ගමන් කළ හැකි බවත් තවත් රාජ්‍ය නායකයකු මේ වන විට මුළු ලොවටම පෙන්වා දෙමින් සිටී. ඔහු අන් කිසිවකු නොව ඊශ්‍රායෙල් අගමැති බෙන්ජමින් නෙතන්යාහුය. ඔහුගේ නියමය මත දැනට සති දෙකකට ආසන්න කාලයක් පුරා පලස්තීනයේ ගාසා තීරය වෙත මිසයිල වර්ෂා ඇද වැටෙමින් තිබේ. පලස්තීන පාර්ශ්වයෙන්ද මේ සම්බන්ධව යම් යම් ප්‍රතිචාර දක්නට ලැබෙන නමුදු මෙය සැබවින්ම එක් පාර්ශ්වයකට දැඩි වාසි සහගත වාතාවරණයක සිදුවන යුද්ධයක් බව අමුතුවෙන් පැවසිය යුතු නොවේ. සැබවින්ම ඊශ්‍රායලය විසින් පලස්තීනය බිමට සමතලා කර දමා බොහෝ කල්ය. එවැනි රටකින්, දැඩි අස්ථාවර ආර්ථිකයක් සහිත රටකින් එල්ල විය හැකි ප්‍රති ප්‍රහාර පිළිබඳ නෙතන්යාහු දක්වන බිය සහ ඔහුට එයට ලබා දෙන ප්‍රතිචාර පුදුම සහගතය.
හමාස් සංවිධානය සහ ඊශ්‍රායෙල් හමුදා අතර සුළු සුළු ගැටුම් ඇතිවීම ඉතා සුලබ දෙයකි. එහෙත් නෙත්නයාහු මෙවර හමාස් පාලන ප්‍රදේශයට අති ප්‍රබල ප්‍රහාර එල්ල කිරීමට මේ කරුණු නිදහසට හේතුවක් කර ගෙන ඇති බව පෙනේ. දැනටම විදෙස් මාධ්‍ය පැහැදිලිව දක්වා ඇත්තේ 2014න් පසු ඊශ්‍රායලය එල්ල කළ ප්‍රබලතම ප්‍රහාරය මෙය බවයි.
ඊශ්‍රායලය නමින් රටක් බිහි කිරීමේ සිට පලස්තීනය අසාධාරණය ලක් වූ බව ලෝක ඉතිහාසය දන්නා සැමට අමුතු කරුණක් නොවේ. තමන්ගේ රටේ භූමිය බලහත්කාරයෙන් අත්පත් කර ගනිමින් තවත් රටක් එහි ස්ථාපිත කිරීම යනු රටක ජනතාවකට බියකරු සිහිනයක්ම පමණි. එහෙත් පලස්තීන ජනතාව මේ වන විට දශක හතකට වඩා කාලයක් තිස්සේ පරම්පරා පහක් පමණ එම සිහිනය සැබෑවට අත්විඳිමින් සිටිති. එපමණක්ද නොවේ ඊශ්‍රායලය තමන්ට හිමිවූ බිම් කොටස ව්‍යප්ත කර ගත්තේ ක්‍රමයෙනි. ක්‍රමිකව පලස්තීන බිම අත්පත් කර ගත් ඊශ්‍රායලය තම දේශසීමාව ව්‍යප්ත කර ගත් අන්දම දන්නේ පලස්තීනයේ ජනතාව මිස අන් කවරකුවත් නොවේ.
ඊශ්‍රායලය යනු අති දක්ෂ, දැඩි අධිෂ්ඨානයෙන් යුතු මිනිසුන් ජීවත්වන රටකි. ඔවුන් ස්වභාවික සම්පත්වලින් හීන භූමි ප්‍රදේශයක් ධනයෙන් ආඪ්‍ය රටක් බවට පත් කරගන්නේ එකී හේතුවෙන්මය. ඔවුන් ජාතියක් වශයෙන් අසාධාරණයට ලක් වූ බවටද කිසිඳු තර්කයක් නැත. එහෙත් එසේ වූ පමණින් ඔවුන් සිදුකරන සියල්ල සාධාරණ යැයි පැවසිය හැකි වන්නේ කෙසේදැයි ඇසිය යුතුය.
ඊශ්‍රායලය මේ වන විටත් ගාසා තීරයට අඛණ්ඩව රොකට් ප්‍රහාර එල්ල කරමින් සිටින අතර මේ ප්‍රහාර දෙස බැලූ විට පෙනී යන්නේ කිසියම් අරමුණක් මෙන්ම විනාශ කළ යුතු ගොඩනැගිලි සම්බන්ධව නිශ්චිත මානයන් ඔවුන් සතුව පවතින බවයි. ඒ සඳහා හොඳම උදාහරණ වන්නේ ඔවුන් මෙතෙක් අල් ජසීරා මාධ්‍ය ආයතන ශාඛාවක් පවත්වාගනෙ පැමිණි ගොඩනැගිල්ල විනාශ කර දැමීමයි. ඊශ්‍රායලය අල් ජසීරා මාධ්‍ය කාර්යාලය පිහිටි ගොඩනැගිල්ලට පහර එල්ල කරන්නේ එහි සිටින පිරිසට ඉවත් වීම සඳහා පැයක කාලයක් ලබා දෙමිනි . ඒ සමඟින් ප්‍රහාර එල්ල කෙරුණු අතර ගොඩනැගිල්ල බිමට සමතලා විය. මේ සිදුවීමෙන් පෙනී යන්නේ පලස්තීනයට පමණක් නොව කටාර් රාජ්‍යය සමඟද කෝන්තරයක් ඊශ්‍රායලය සතුව පවතින බවයි.
අල් ජසීරා මාධ්‍ය යනු මැද පෙරදිගට හිසරදයක් වූ මාධ්‍ය ජාලයකි. මේ මාධ්‍ය ජාලය පවත්වාගෙන යනු ලබන්නේ කටාර් හි බලය හිමි අල් තානි පවුල විසිනි. කොටින්ම කිවහොත් අල් ජසීරා යනු කටාර්හි මාධ්‍ය ජාලය ලෙසින්ද හැඳින්විය හැකිය. අල් ජසීරා පමණක් නොව කටාර් රාජ්‍යයද මැද පෙරදිගට මෙන්ම ඇමරිකාවටද හිසරදයක් වී ඇති රටකි. ඔවුන්ගෙ චෝදනාව වන්නේ කටාර් රාජ්‍යය මුස්ලිම් අන්තවාදයට සහයෝගය දක්වන බවයි. එහෙත් අවස්ථාව දැන ක්‍රියා කිරීමට මනා හික්මීමක් සහිත කටාර් පාලකයෝ ඇමරිකාවේ පක්ෂ බේදය මනාව භාවිත කරමින් තමන්ට සහය දක්වන පාලකයා බලයට ගෙන ඒමට මුදල් වියදම් කිරීමට කටයුතු කරති. ඒ අනුව මෙවර ජෝ බයිඩ්න්ට කොන්ද කෙළින් තබා ගනිමින් කටාර් රාජ්‍යයට තර්ජනය කිරීමට හැකිදැයි වෙනම විමසා බැලිය යුතුය. කෙසේ වුවද හැමදා ඇමරිකාවේ මිතුරන් වූ සෞදි අරාබියද කටාර් රාජ්‍යය සමඟ සිටින්නේ හිත නොහොඳිනි. කෙසේ වුවද ඊශ්‍රායෙල් ප්‍රහාර කිසිසේත් සාධාරණිකරණය කිරීමට නම් හැකියාවක් නැත. ඒ ඊශ්‍රායල් පාලකයන්ට හමාස් සංවිධානයට රිදෙන්නට පහර දිය යුතු බව සිහිපත් වන්නේ එක්වරම වන බැවිනි.
ඊශ්‍රායෙල් පාලකයෝ තම ජනතාවගේ විශ්වාසය දිනා ගැනීමට මේ වන විට අසමත්ව සිටිති. එහිදී පාලකයෝ යනුවෙන් අදහස් කරන්නේ සියලුම දේශපාලනඥයෝ යන්නයි. ඒ මන්දයත් මේ වන විට පුරා වසර දෙකක කාලයක් මැතිවරණ හතරක් පැවැත්වීමෙන් පසුත් එරට තුළ ක්‍රියාත්මක එකද පක්ෂයක් හෝ පැහැදිලි බහුතර බලයක් ලබා ගැනීමට අසමත් වූ බැවිනි.
එහි අප්‍රකාශිත යථාර්ථය වන්නේ එකද දේශපාලනඥයකු හෝ දේශපාලන පක්ෂයක් කෙරෙහි ජනතාව විශ්වාසය තබා නොමැති බවයි. බෙන්ජමින් නෙතන්යාහු පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබා ගැනීමට පිටපිටම අසමත් වී තිබේ. ඔහු සියලුම දේශපාලන පක්ෂ අතරින් වැඩි ඡන්ද සංඛ්‍යාවක් සහ පාර්ලිමේන්තුවේ වැඩි ආසන සංඛ්‍යාවක් ලබා ගැනීමට සමත් වුවද එය පාර්ලිමේන්තුවේ බහුතරය නොවන බව සිහියේ තබා ගත යුතුය. ඒ අනුව බෙන්ජමින් නෙතන්යාහු යනු ඊශ්‍රායෙල් ජනතාවට අනුව අසමත් පාලකයෙකි.
නෙත්නයාහු තම දක්ෂතාව දක්වමින් එරට තුළ කොවිඩ් වසංගතය ඉතා සංවිධානාත්මක ලෙස පාලනය කළේය. වසර දෙකක් තුළ සිවු වරක් මැතිවරණ පවත්වමින් ජයග්‍රහණය ස්ථාවර කර ගැනීමටද, තම ජනතාවගේ විශ්වාසය සහ ආදරය දිනා ගැනීමටද උත්සාහ කළේය. එහෙත් ඒ එකකින්වත් තම රටේ බුද්ධිමත් ජනතාව වසඟ කර ගැනීමට ඔහුට හැකියාව ලැබුණේ නැත. දැන් නෙතන්යාහු අන්තිම තුරුම්පුව ගසමින් සිටින්නේය. ඔහුට මේ සඳහා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගෙන් උපදෙස් ලැබුණාදැයි දන්නේ නැත. එහෙත් ඔහු මේ අනුගමනය කරමින් සිටින්නේ මෝදි වර්ගයේ තුරුම්පුවක් බව හොඳින්ම පැහැදිලිය.
මෝදි තම දෙවැනි වර ධූර කාලය සඳහා මැතිවරණය කැඳවන විට රාහුල් ගාන්ධි සිටියේ දිනුම අත උඩ තබා ගනිමිනි. එහෙත් මෝදි මැතිවරණය දින කිහිපයක් තබා , කොටින්ම කිවහොත් ප්‍රචාරක කටයුතු පවා අත්හිටවු අවස්ථාවක පකිස්තානයට හමුදා මෙහෙයවන්නේ ජනතාව ඉදිරියේ වීරයකු වෙමිනි. පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ඉතා ඉවසීමෙන් යුක්තව තමන්ට යුද්ධයක් අවශ්‍ය නොවන බව පවසද්දීත් මෝදි පකිස්තානයට විරුද්ධව ගුවන් ප්‍රහාර එල්ල කරවන්නේ හැමවිටම හැඟීමෙන් මුල්තැන ගන්නා ඉන්දීය ජනතාවගේ අති විශාල ඡන්ද ප්‍රමාණයක්ද තම සාක්කුවට දමා. ගනිමිනි. මේ සිදුවීම් මාලාවේ අවසානය වූයේ ජයග්‍රහණය අත උඩ තබා සිටි රාහුල් ගාන්ධි ඉවතට විසිවීමත් මෝදි දෙවැනි ධූර කාලයට පත්වීමත්ය.
දැන් නෙතන්යාහු මේ තුරුම්පුවම ගසමින් සිටිණු පෙනේ. ඔහු හමාස් සංවිධානය ගැටුමට පටලවා ගනිමින් සාර්ථක ලෙස ගාසා තීරය බිමට සමතලා කරමින් සිටින්නේය. මේ ප්‍රහාර හෙලා දකින චීනය ටියුනීසියාව සහ නෝර්වේ සමඟ එක්ව ඊශ්‍රායලයට විරුද්ධ යෝජනාවක් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් කිරීමට උත්සාහ දැරුවද එය අසාර්ථක වන්නේ ඇමරිකාව එයට විරෝධය දැක්වීම නිසාය.
සැබවින්ම ලෝකයේ කොතැනක වුවද සිදුවන ගැටුමක මූලය වන්නේ එම ගැටුම සිදුවන රට පසුපස සිටින බලවතාගේ ඇඟිලි ගැසීම්වලට අනුවය. ඊශ්‍රායලයට බලපැම් කිරීමේ දී ඇමරිකාව විරුද්ධ වන්නේ සේම මියන්මාරයට විරෝධය පෑමේදී චීනය බාධා කරමින් සිටින බවද අමතක කළ යුතු නැත.
එහෙත් මේ සියල්ල අතර ගාසා තීරයේ අහිංසක දරුවන් ඇතුළු සාමාන්‍ය මිනිසුන් මියයමින් සිටින බව අමතක කළ යුතු නැත. එහෙත් එසේ අමතක නොකළද එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළුව මේ ප්‍රහාරයන් හෙළා දකින බොහෝ රටවල් කිසිවක් කර කියා ගත නොහැකිව අසරණව සිටින බවද පැවසිය යුතුය. එබැවින්ම සඳහන් කළ යුතු වන්නේ මේ අප දකිමින් සිටින්නේ ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදය කොතරම් අවිනිශ්චිත මට්ටමක පවතින බවද යනුයි. සැබවින්ම මෙසේ හිතුමතේ ප්‍රහාර එල්ල කරමින් සාමාන්‍ය ජනතාව මරා දමන්නට නම් ලෝකයේ මේ වන විට ප්‍රජාතන්ත්‍රවාදය යනුවෙන් දෙයක් ක්‍රියාත්මක වනවාද යන්න මුල සිට විමසා බැලිය යුතුව තිබේ.