
ඉන්දියාවට කොවිඩ් මදිවට සුළි කුණාටු
අති ප්‍රබල සුලි කුණාටුවක් ලෙස හඳුන්වා ඇති ටවුකටේ සුළි කුණාටුව පසුගියදා ඉන්දියාවට කඩා වැදුණා. ඒ පසුගිය සඳුදා දිනයේදී. ගුජරාට් ප්‍රාන්තයෙන් ඉන්දියාවට ඇතුළු වූ සුළි කුණාටුව එම ප්‍රාන්තයට අධික වර්ෂාව සමඟ දැඩි සුළං තත්ත්වයක්ද ඇති කළ බව සඳහන්.
මේ සුළි කුණාටුව වර්ග කර තිබුණේ අති ප්‍රබල හෙවත් අංක තුන දරන සුළි කුණාටුවක් ලෙසයි. අඟහරුවාදා දිනය වන විට සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයන් 12 දෙනෙකු මිය ගොස් තවත් 120,000ක් පමණ අවතැන් ව සිටි බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටියා. මේ ලියන මොහොත වන විට සුළි කුණාටුව හේතුවෙන් අතුරුදන් වූ පුද්ගලයන් සංඛ්‍යාව 90ක්.
එන්නත් නැතිව නේපාලය දුකෙන්
තම රටේ ජනතාවට කොවිෂීල්ඩ් එන්නතේ ප්‍රථම මාත්‍රාව ලබාදුන් නමුත් දෙවැනි මාත්‍රාව ලබා දීමට නොහැකි වීමෙන් තමා ඉතා දුකට පත්ව සිටින බව නේපාල කොවිඩ් එන්නත්කරණ වැඩපිළිවෙලේ ප්‍රධානියා පවසා තිබුණා. ඔහු පවසා තිබුණේ එන්නතේ ප්‍රථම මාත්‍රාව ලබා ගත් නමුත් දෙවැනි මාත්‍රාව තම රටේ බොහෝ වැඩිහිටියන්ට ලබා දීමට නොහැකි වී ඇති බවයි.
නේපාලයේ සමස්ත ජනතාවගෙන් මිලියන 1.3ක් වයස අවුරුදු 65ට වැඩි අතර ඔවුන් අතර එන්නතේ ප්‍රථම මාත්‍රාව බෙදා හැර තිබුණා. එහෙත් මේ වන තෙක් දෙවැනි මාත්‍රාව ලබා ගැනීමට නේපාලයට හැකියාව ලැබී නැහැ. ඉන්දියාවේ සීරම් ආයතනයේ නිපදවන මේ එන්නත ඉන්දීය ජනතාව වෙනුවෙන් ලබා දීම හේතුවෙන් විදේශ රටවල් කරා අපනයන කිරීම තාවකාලිකව නවතා දැමීම මේ ගැටලුවට හේතුව වී තිබෙනවා.