![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2021/05/20/3_1.jpg?itok=H-_DtrwI)
ලෝක ඉතිහාසයේ ප්‍රථම වරට හරි හැටි තම මුහුණ නොපෙන්වූ, එසේත් නැතහොත් මුහුණු ආවරණය කරගත් තරුණියන් පිරිසක් වේදිකාව මත සිටියදී විශ්ව රූ රැජින 2021 තරගය පසුගියදා පැවැත්විණි. එහි අවසානය සටහන් වූයේ මෙක්සිකෝ රූ රැජින 2021
විශ්ව රූ රැජින ලෙස කිරුළු පලඳවමිනි.
මෙවර විශ්ව රූ රැජින තරගය පැවැත්වීම සංවිධායකයන්ට අභියෝගයක් වූයේ කොවිඩ් වසංගතය තවමත් අවසන්ව නොමැති වාතාවරණයක් යටතේය.
කෙසේ වුවද තවමත් පිරිසකට ආරක්ෂිතව ඒකරාශී විය නොහැකි බැවින් වේදිකාව මතදී අවසන් 21 දෙනා අතරට තේරුණු රූප සුන්දරියන්ට මුව ආවරණ මගින් තම මුහුණෙන් අඩක් වසා ගනිමින් පෙනී සිටීමට සිදුවිය.
මෙය ඓතිහාසික අවස්ථාවක් ලෙස හඳුන්වා දිය හැකි වන්නේ රූප සුන්දරියකගේ මුහුණ ආවරණය කර තිබිම එතරම් සුලබ කරුණක් නොවන බැවිනි.
එහෙත් තරගකාරියන් තනිතනිව වේදිකාවට පැමිණි සුළු තරග අවස්ථාවලදී මුව ආවරණ නොමැතිව වේදිකාවේ පෙනී සිටීමේ අවස්ථාව රූ රැජිනන්ට හිමි වී තිබිණි.
කෙසේ වුවද අවසන් තරගකාරියන් දෙදෙනා මුව ආවරණ පැලඳ නොසිටි අතර ඔවුන් දෙදෙනා සමාජ දුරස්ථතාව පවත්වා ගත යුතු බවැනි අවසන් ප්‍රතිඵල නිවේදනය කරන අවස්ථාවෙදී මීටර් දෙකක දුරින් රැඳී සිටිමින් දෙදෙනා දැත් අල්වාගෙන සිටින අයුරු නිරූපනය කළහ. අවසානයේ මෙක්සිකෝ රූ රුජින වූ 26 හැවිරිදි අන්ද්‍රා මේසා 2021 විශ්ව රූ රැජින ලෙස කිරුළු පැලඳුවාය.
පසුගිය 2020 වසරේ විශ්ව රූ රැජින තරගාවලි නොපැවැත්වූයේ කොවිඩ් වසංගතය හේතුවෙනි. එහෙත් මෙවර එය සමාජ දුරස්ථකරන නීති යටතේ ඇමරිකාවේ ෆ්ලොරිඩා හිදී පැවැත්වීමට සංවිධායකවරු සමත් වූහ.
මෙවර රූ රැජින තරගයේ තවත් වැදගත් අවස්ථාවක් වූයේ මියන්මාර් රූ රැජින වේදිකාවට පැමිණ තම රට වෙනුවෙන් ලෝකයට පණිවිඩයක් ගෙන යාමට එය අවස්ථාවක් කර ගත් බැවිනි. එහිදී ඇය පුවරුවක් ඔසවා නරඹන්නන් වෙත දැක්වූ අතර එහි සඳහන් වූයේ ‘මියන්මාරය වෙනුවෙන් යාඥා කරන්න’ යනුයි.
මීට අමතරව සිංප්පූරු රූ රැජිනද තම ඇඳුමේ දේශපාලනික පණිවිඩයක් සටහන් කර සිටියාය. රතු සහ සුදු පැහැති වූ ඇයගෙ ඇඳුමේ පසුපස ‘ආසියාතිකයන්ව පිළිකුල් කිරීම නවත්වන්න’ යනුවෙන් සටහන් කර තිබිණි. නව රූ රැජිනට ඔටුනු පැලඳිමට පැමිණි 2019 වසරේ රූ රැජින මුව ආවරණ පැලඳ නොසිටියද වේදිකාව මතට පැමිණි සෙසු අමුත්තන්, සංවිධායක මණ්ඩලයේ සියල්ලන්ද මුව ආවරණ පැලඳ සෞඛ්‍ය නිර්දේශ අනුව කටයුතු කරුණු දැක ගත හැකි විය.