දිල්ලිය සුව වන විට ගෝව වැඩ අරඹයි | සිළුමිණ

දිල්ලිය සුව වන විට ගෝව වැඩ අරඹයි

 

එන්නත් ලබා දුන් රටවල සීමා ලිහිල් කෙරේ

කොවිඩ් වංසගතය ආරම්භ වී වර්ෂයක් සම්පුර්ණ වන විට ලෝකයේ විවිධ රටවල් එයට විවිධ අන්දමින් මුහුණ දෙමින් සිටින බව පෙනේ. මේ වන විට වසංගතයට දැඩි ලෙස මුහුණ දුන් ඇමරිකාව ඇතුළු බොහෝ යුරෝපීය රටවල් එන්නත්කරණයෙන් තම ජනතාවට ආරක්ෂාව ලබා දෙමින් සිටින අතර ඒ හේතුවෙන්ම එම රටවල කොවිඩ් ව්‍යප්තියේ අඩුවක්ද දැක ගැනීමට හැකි වී තිබේ. එහෙත් මේ වන විට කොවිඩ් වයිරසයේ ඉන්දියානු වර්ගය බ්‍රිතාන්‍ය පුරා වේගයෙන් පැතිර යමින් පවතින බවටද වාර්තා ලැබෙමින් තිබේ.

කෙසේ වුවද එන්නත්කරණය සම්බන්ධව වැඩි අවධානයක් ලබා නොදුන් දකුණු ආසියානු රටවල් මේ වන විට ලෝකයේ වැඩිම කොවිඩ් ව්‍යප්තියක් සහිත රටවල් බවට පත්ව තිබේ. ඉන්දියාව පසුගිය සතියේදී අප්‍රේල් මාසයෙන් පසු ප්‍රථම වරට දෛනික ආසාදිතයන් ලක්ෂ තුන දක්වා පහළ අගයක් වාර්තා කර සිටියේය.

නවදිල්ලි නගරය සම්පූර්ණයෙන් වසා දැමීම තවත් සතියක් දක්වා දීර්ඝ කිරීමට ඉන්දීය පාලකයන් කටයුතු කළ අතර මේ වන විට නවදිල්ලියෙන් වාර්තා වන ආසාදිතයන්ගේ අඩුවක් දක්නට ලැබෙන බවද වාර්තා වේ.

එසේ වුවද ගෝව නගරයෙන් මේ වන විට අති විශාල දෛනික ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වෙමින් පවතින බව ඉන්දීය මාධ්‍ය පෙන්වා දී තිබේ. කොවිඩ් වැළඳීමෙන් මියගිය මිනිසුන්ගේ සිරුරු නිසි පරිදි අවසන් කටයුතු කරා ගෙන යාමට ඇති වන අපහසුතාව වැනි ගැටලු හේතුවෙන් ගංගාවලට දැමීම වළක්වාලීමට විශේෂ පොලිස් ඒකක යෙදවීමටද ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයකට සිදුවිය. පකිස්තානයද, බංග්ලාදේශයද දෛනික කොවිඩ් ආසාදිතයන්ගේ වර්ධනයක් පෙන්නුම් කරමින් සිටිති. ශ්‍රී ලංකාවේ සහ නේපාලයේ තත්ත්වයද වෙනසක් නැත.

මේ අතර මාලදිවයින පමණක් ඉතා විධිමත් ක්‍රමවේදයක් යටතේ රටේ ජනගහනයෙන් වැඩි ප්‍රමාණයකට එන්නත ලබා දුන් බැවින් ඔවුන්ට තම ආර්ථිකය නිදහස්ව පවත්වා ගැනීමේ අවස්ථාව හිමිවී ඇතිවා පමණක් නොව රට තුළ වයිරසය ආසාදනය වීමේ ප්‍රවණතාවද අඩුවෙමින් තිබේ.

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් පසුගියදා තම රටේ ජනතාවට පවසා සිටියේ එන්නත් මාත්‍රා දෙකම ලබාගත් ජනතාවට මුව ආවරණ නොමැතිව සිටීමට හැකියාව ලැබෙන බවයි.

එහෙත් එහිදී තමා සමඟ සිටින, ගැවසෙන සෙසු ජනතාව එන්නත් මාත්‍රා දෙකම ලබාගන තිබේද යන්න සැලකිලිමත් විය යුතු වේ. එන්නත් මාත්‍රා දෙකම ලබා නොගත් පුද්ගලයන් කොවිඩ්වලින් ආරක්ෂිත නොවේ යන්න පිළිගැනීමයි.

මේ අතර ලතින් ඇමරිකානු රටවල් වඩා වේගවත් ලෙස එන්නත්කරණයට යොමු වීමෙන් සාර්ථක ප්‍රතිඵල අත් කර ගනිමින් සිටී. පැනමා රාජ්‍යය පසුගිය සඳුදා මාස 14කට පසු එකද කොවිඩ් මරණයක් හෝ වාර්තා නොවූ ප්‍රථම දිනය ලෙස වාර්තා පොතට එක් කළ අතර ඔවුන් ඒ සමඟම ජනතාවට දන්වා සිටියේ පොදු ප්‍රවාහන සේවාවල මෙතෙක් පනවා තිබූ සීමා අඩු කිරීමට කටයුතු කරන බවයි. එහෙත් ඔවුන් තවදුරටත් ජනතාවට පවසන්නේ මුව ආවරණ භාවිතය අතවශ්‍ය වන බවයි.

කොවිඩ් වයිරසය චීනයෙන් පිටතට පැමිණීමේදී ඉතා කනගාටුදායක අත්දැකීමකට මුහුණ දුන් ඉතාලිය ඒ හේතුවෙන්ම මේ දක්වා තදබල නීති පනවමින් තම ජනතාව ආරක්ෂා ක ගැනීමට කටයුතු යොදමින් සිටිනු දැකගත හැකිය.

මේ වන විටත් ඉතාලියේ ජනතාවට රාත්‍රී කාලයේදී නිදහසේ හැසිරීමට අවසර නොමැති නමුදු ඉතාලි පාලක පක්ෂය පසුගියදා ජනතාවට පවසා සිටියේ එම නිතිවල යම් ලිහිල් කිරීමක් කරන බවයි.

ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය තවමත් විදෙස් රටවල් සම්බන්ධව දැඩි සීමා පනවමින් තම රටවල ජනතාවගේ ජිවිත සමඟ තම ආර්ථිකයන්ද ආරක්ෂා කර ගැනීමට කටයුතු යොදමින් සිටී. ඔවුන් මේ වන විට දකුණු ආසියාවේ සිට පැමිණෙන සංචාරකයන්ට තම රටවලට ප්‍රවිශ්ට වීමට අවසර ලබා දී නැත.

කෙසේ වුවද ඉන්දියාවේ දරුණු ලෙස පැතිර යන කොවිඩ් තත්ත්වය ලොව පුරා රටවල් රැසකටම අතුරු බලපෑම් එල්ල කර ඇත්තේ එන්නත් හිඟයක් මවමිනි.

දකුණු ආසියාවේ රටවල් රැසක් මෙන්ම ලතින් ඇමරිකාවේ රටවල් කිහිපයක්ද ඉන්දියාවේ නිපදවන කොවැක්ස් සහ කොවිෂීල්ඩ් එන්නත් නොමැති වීමෙන් අර්බුදයන්ට මුහුණ පා සිටී. මේ අතර එන්නත් නිපදවන රටවල සිට තරමක් ඈතින් පිහිටා ඇති රටවල් කරා එන්නත් ප්‍රවාහනය කිරීමේ ගැටලුවලටද මුහුණ දීමට සිදුවී තිබේ.

කෙසේ වුවද දැනට සිදු කර ඇති අනුමානයන්ට අනුව ලොව දුගී රටවල ජතතාවගෙන් අර්ධයක් හෝ එන්නත්කරණය කිරීමට වසර 2022 මැද භාගය පමණ වනු ඇත. එතෙක් කොවිඩ් සමඟ දිවි ගෙවීමට අකමැත්තෙන් වුවද සිදුවනු නොඅනුමානය.

 

Comments