
'ඇයට ඇගේ ජීවිතයේ මුල් කාලයේ හිමිවූයේ සංචාරක ජීවිතයකි. මා පියන් සමඟින් ඈ අමෙරිකාවේ නගර කීපයක සංචාරය කළා ය. අවසන ස්ථාවර පදිංචියක් තනා ගන්නා තුරු ඇගේ සංචාරක ජීවිතය ඇයට බොහෝ දේ ඉගැන්වූවා ය. කෙසේ නමුත් ඈ ඒ සෑම ගමනකදීම වර්ධනය කර ගැනීමට වෙහෙස වූයේ දක්ෂතාවය ය. ඒ දක්ෂතාවය මිල අධික බව දැන සිටි හෙයිනි. එසේ ලබාගත් දක්ෂතාවය වෙනුවෙන් ඇය පසුකාලීනව උපයාගත් ධනස්කන්ධය සුවිශාල ය. එලෙස ලද මුදලින් සැලකිය යුුතු කොටසක් සමාජ සේවා කටයුුතු වෙනුවෙන් යොදවන්නට ඇය දක්වන්නේ දැඩි කැමැත්තකි. එහෙයින් ලොව වෙසෙන දානපති ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුවට මේ වන විට ඈ එක්ව සිටින්නී ය.'
අන්තර්ජාතික ටෙනිස් ක්‍රීඩා ඉතිහාසය තුළ සදානුස්මරණීය චරිතයක් ලෙස සෙරිනා ජැමේකා විලියම්ස් හැඳින්විය හැකි ය. ඒ, ටෙනිස් ක්‍රීඩාවට ලොව කැපී පෙනෙන වැදගත්කමක් උරුම වීමට ඇයගෙන් ලද අමිල දායකත්වය හේතුවෙනි.
ඈ 1981 සැප්තැම්බර් 26 වැනි දින අමෙරිකා එක්සත් ජනපදයේ මිචිගන් ප්‍රාන්තයේ සගිනව් ප්‍රදේශයේ දී උපත ලැබුවා ය. ඇය සිව්වැනි වියේ පසුවන විට මේ පවුල සංක්‍රමණය වූයේ කැලිෆෝනියාවේ කොම්ටන් ප්‍රදේශයට ය.
සෙරිනා මුල් වරට ටෙනිස් ක්‍රීඩාවට අවතීර්ණ වූයේ ද සිව් හැවිරිදි වියේදී ම ය. ඇයගේ මුල්ම පුහුණුකරු වූයේ ඇගේ පියා ය. දියණිය අතිදක්ෂ ටෙනිස් ක්‍රීඩිකාවක වනු දැක්ම ඔහුගේ එකම අපේක්ෂාව විය.
සෙරීනා නව හැවිරිදි විය පසුවෙද්දී මේ පවුල නැවත වරක් තමන්ගේ සියලු සන්තකය පොදි බැඳ ගත් හ. එවර ඔවුන්ගේ නවාතැන වූයේ ෆ්ලොරීඩා හි වෙස්ට් පාම් බීච් පළාත ය. ඇයට ක්රමානුකූල හා විද්‍යාත්මක පදනමක් යටතේ ටෙනිස් ක්‍රීඩාවේ පුහුණුවක් ලැබීමට හැකි වූයේ මේ සංක්‍රමණයත් සමඟිනි.
දැඩි කැපවීමෙන්, සංයමයෙන්, විශ්වාසයෙන් යුතුව පුහුණුවීම්වල නිරත වීමේ ප්‍රතිඵලයක් ලෙස පියාගේ බලාපොරොත්තුව ඉටුකරලමින් සෙරීනා අතිදක්ෂ ටෙනිස් ක්‍රීඩිකාවක බවට පත්වූයේ ඇය අමෙරිකා එක්සත් ජනපදයට නැතිවම බැරි ක්‍රීඩිකාවක බවට පත්වෙමිනි.
ටෙනිස් ක්‍රීඩාවෙන් අමෙරිකාව තුළ දී ඇය අත්පත් කරගත් ජාතික මට්ටමේ ජයග්‍රහණ රැසකි. එහි ප්‍රතිඵලයක් ලෙසින් ඇය ඔලිම්පික් ක්‍රීඩා තරගාවලිවලට යොමු කිරීමට අමෙරිකාව තීරණය කළේ ය. ඒ, ඇයගේ ජයග්‍රහණය පිළිබඳ වූ අචල විශ්වාසය එතරම් දැඩි වූ හෙයිනි.
නිජබිම තමන් කෙරෙහි තැබූ ඒ විශ්වාසය ඉහළින්ම රැක ගත් ඇය ඔලිම්පික් පිටිය තුළ ප්රශස්ත දස්කම් දක්වමින් රන් පදක්කම් හතරක් දිනාගත්තා ය. ඒ, පිළිවෙළින් වසර 2000 දී සිඩ්නි හි දී (ද්විත්ව) රන් පදක්කමක් ද 2008 දී බීජිං හි දී (ද්විත්ව) රන් පදක්කමක් ද 2012 දී (ඒකල හා ද්විත්ව) රන් පදක්කම් දෙකක් ද වශයෙනි.
සෙරීනා මේ වන විට ලෝකයේ අංක 1 තත්ත්වය හිමිකර ගෙන සිටින ටෙනිස් ක්‍රීඩිකාවයි. ඇය මුල් වරට මේ ගෞරවය හිමිකර ගත්තේ 2002 ජූලි 08 වැනිදා ය. 2013 පෙබරවාරි 18 වැනි දින ඇය නැවතත් මේ ස්ථානය හිමිකර ගත්තාය.
මේ වන විට අමෙරිකානු ඩොලර් මිලියන 60 ඉක්ම වූ ත්‍යාග මුදලක් දිනාගෙන ඇති අමෙරිකානු විවෘත, ඔලිම්පික් කාන්තා ශූරතාව යන සියල්ලම ජයග්‍රහණය කර ඇති එකම ක්‍රීඩිකාව ඇය ය.
සෙරීනා ලබාගත් තවත් වැදගත් ජයග්‍රහණ අතර ග්‍රෑන්ඩ් ස්ලෑම් ඒකල ශූරතා 18 ක් හා ග්‍රෑන්ඩ් ස්ලෑම් යුගල ශූරතා 13 ක් දිනාගැනීමය. මෙතෙක් ග්‍රෑන්ඩ් ස්ලෑම් සම්මානය පිට පිටම සිව්වරක් හිමිකර ගත් වර්තමානයේ ලොව බිහිව සිටින අවසාන ක්‍රීඩිකාව වූයේ ඇයයි.
වර්ෂ 2005 දී පළවූ ‘ටෙනිස්’ සඟරාවක පසුගිය වසර පුරා බිහිවූ හොඳම ටෙනිස් ක්‍රීඩකයන් අතරින් 17 වැනි ස්ථානය හිමිකර ගෙන සිටින්නේ ද ඇය ය.
“ටෙනිස් ක්‍රීඩාවෙන් මට ලබන්න පුළුවන් ඉහළම ජයග්‍රහණ මම ලබාගෙන තිබෙනවා. මෙතනින් එහාට තවත් ජයග්‍රහණ ලබන්න දෙයක් මට ඉතිරි වෙලා නැහැ. ක්‍රීඩිකාවක් හැටියට මට මම ගැන සෑහීමකට පත්වෙන්න හැකියි.” ඇය පවසන්නේ හද පිරි සතුටිනි.
සෙරීනා මේ වන විට ෆ්ලොරීඩා හි පාම් බීච් හි බැලන් දූපතේ වාසය කරන්නේ අසීමිත ධනස්කන්ධයක උරුමකාරියක ලෙසිනි.
“මේ වෙද්දි මම ලෝකයේ හොඳම ක්‍රීඩිකාවන්ගෙන් කෙනෙක් වෙලා ඉවරයි. දැන් මට ඕනෙ ලෝකයේ හොඳම සමාජ සේවිකාවක් වෙන්නයි. විශේෂයෙන්ම මට දරුවන් වෙනුවෙන් යමක් කරන්න උවමනායි.” ඒ මහා ධනපතිනියක වන ඇය තුළ ඇති මහා දානපතිනියක වීමට ඇති කැමැත්ත ය.
ක්‍රීඩාවන් තුළින් ලද මුදල් සමාජ යහපත වෙනුවෙන් වැය කිරීමට වැඩිම කැමැත්තක් දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් දසදෙනෙකුගේ ලැයිස්තුවක් මේ වන විට සකසා ඇත. එහි තුන්වැන්නිය වන්නේ සෙරීනාය.
මේ වන විට ඇය තම ධනය වැය කරමින් ඝානාවේ අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් වෙනුවෙන් ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාදීමේ වැඩසටහනක් හා ආසියානු රටවල පාසල් ඉදිකිරීමේ වැඩසටහනක් අරඹා ඇත. තම සමාජ සේවාවන් ලෝක මටට්මෙන් පවත්වාගෙන යාම සඳහා යුනිසෙෆ් සංවිධානය ඇය වෙත කීර්ති නාම තානාපති පදවියක්ද ප්රදානය කර ඇත්තේ එහෙයිනි.
නඳුන් අමන්ද මනමේන්ද්‍ර ආරච්චි










