
ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්රය නැවතිලා ද කියන ප්රශ්නය කාගෙත් හිතට නැඟෙනු ඇත. මන්ද ක්‍රීඩා ජයග්‍රහණය ලෙස තවමත් අපි සිහි කරන්නේ වසර විස්සකට එහා, එනම් 1996 දී ශ්‍රී ලංකාව දිනාගත් ක්‍රිකට් ලෝක කුසලාන හා 2000 වසරේ දී සුසන්තිකා ජයසිංහ මීටර් 200 ඉසව්වෙන් දිනාගත් ඔලිම්පික් රිදී පදක්කම ය. මෙයට හේතුව මෑත කාලයේ දී දක්ෂ ක්‍රීඩකයන් බිහි නොවීම නොවේ. එලෙස උපතින්ම ක්‍රීඩාව ට දක්ෂ ක්‍රීඩකයන්, විවිධ හේතූන් මත ඉක්මනින් ක්‍රීඩාව ට සමුදීම වේ. මෙවන් පසුබිමක වුව ද ආර්ථික අපහසුතා දරාගෙන, සමබර, සාර්ථක දිවියක් ගත කරන ක්‍රීඩක, ක්‍රීඩිකාවන් ද අප රටේ සිටී. එවැනි අයෝමය ක්‍රීඩිකාවක් අපට හමුවිය. පුරා වසර 4 ක් අඛණ්ඩව මිටිය විසිකිරීම ඉසව්වේ ජාතික වාර්තාව ඉසිලූ ඇය නමින් අයේෂා මධුවන්ති ය.
මොනරාගල නගරයේ සිට කිලෝමීටර් 90කට ඈතින් පිහිටි සෙවනගල ප්‍රදේශයේ ගොවි මහතකු වන ගුණසේන කොඩි-තුවක්කු හා මැණිකේ රණසිංහ යන දෙපළට දාව උපන් අයේෂා, හය දෙනකුගෙන් යුත් පවුලේ පස්වැන්නා විය. ඇය හෝඩියේ සිට උසස් පෙළ දක්වාම සිප්සතර හැදෑරුවේ සෙවනගල මහා විද්‍යාලයෙනි. කුඩා කල සිට පොතේ පතේ වැඩවලට මෙන්ම බාහිර ක්‍රියාකාරකම්වලටද දැඩි ඇල්මක් දැක් වූ පුංචි අයේෂා ක්‍රීඩා පිටියට පය තිබ්බේ වයස අවුරුදු දහයේ දී ය. ඒ නිවාසාන්තර මීටර් 50 හා 75 දිවීම හා උස පැනීමේ ඉසව්වලට සහභාගි වෙමිනි. ඈ එකී ඉසව් තුනෙන්ම මුල් ස්ථාන දිනාගෙන වයස 11 න් පහළ කාණ්ඩයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙසද සම්මාන දිනාගත්තා ය.
2004 වසරේ දී 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන විට, සෞඛ්‍ය විෂයේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් ලෙස විසිකිරීමේ ඉසව්ව ඉගැන් වූ උපුල් රණසිංහ ගුරුතුමා පන්තියේ සිසු සිසුවියන් හැමදෙනෙකුට ම කවපෙත්ත විසිකිරීමට නියම කළේ ය.
සියලු පිරිමි ළමයින් අභිභවමින් එහිදී අයේෂා වැඩිම දුරක් කවපෙත්ත විසි කළාය. ඒ අහඹු සිදුවීම ජාතික ශූරියක් බිහිවීමේ හැරවුමක ඇරඹුම විය.
2004 පාසල් නිවාසාන්තර තරගවල 17 න් පහළ මීටර් 100 දිවීම, යගුලිය, කවපෙත්ත හා හෙල්ල විසිකිරීම් යන ඉසව් සියල්ලේම පළමු තැන දිනාගැනීමට අයේෂාට හැකි විණි.
එතැනින් නොනැවතුන අයේෂා 17 න් පහළ කවපෙත්ත විසිකිරීමේ ඉසව්වෙන් කොට්ටාශ හා පළාත් තරගවල පළමුවැනියා විය. ඉනුදු නොනැවතී ජාතික පාසල් තරගාවලියට සහභාගි වී ලෝකඩ පදක්කම දිනා ගත්තා ය.
ඒ ඇගේ පාසලින් පළමුව ජාතික පාසල් ක්‍රීඩා උළෙලට සහභාගි වූ පළමුවැන්නා ද විය. සාමාන්‍ය පෙළ විභාගය පේන මානයේ තිබිය දී පැවති 2005 ජාතික පාසල් තරගාවලියේ දී 17 න් පහළ කවපෙත්ත විසිකිරීමේ රිදී පදක්කම දිනාගැනීමටව ද අයේෂාට හැකිවිණි.
අයේෂා උසස්පෙළ හැදෑරුවේ කලා විෂය ධාරාවෙනි. මේ අතර 2006 වසරේ පැවති යොවුන් ජාතික ක්‍රීඩා උලෙළෙ දී කවපෙත්ත විසිකිරීමේ ඉසව්වෙන් රන්පදක්කම දිනාගැනීමට ඈ සමත් වූවා ය. එහෙත් මාස කිහිපයක් ගතවද්දී අනපේක්ෂිත ලෙස ඇගේ මව පිළිකා රෝගයෙන් ඈමිය ගියා ය.
2008 උසස් පෙළ විභාගයට පෙනීසිටි ඈ B සාමාර්ථ 2ක් හා S සාමාර්ථයක් සමඟ ඉන් සමත් වූවාය. මේ අතර පුංවි අවදියේ සිහිනයක්ව තිබූ ගුරු වෘත්තියට මංපෙත් විවර වෙමින්, 2009දී බණ්ඩාරවෙල විද්‍යාපීඨයට සුදුසුකම් ලැබූවත්, ක්‍රීඩාව වෙනුවෙන් කුඩාකල සිහිනය කැපකරන්නේ මේ අනුවය. ඉනික්බිතිව ඈ ගුවන්හමුදා මලල ක්‍රීඩා කණ්ඩායම 2009 වසරේ අගදී අයේෂා සම්බන්ධ විය.
ඒ අනුව 2010 - 13 කාල වකවානුවේ දී, කවපෙත්ත විසකිරීමේ ඉසව්වෙන් ලබාගත්
ජාතික තලයේ ජයග්‍රහණ රැසකි. කෙසේ නමුත් 2013 වසරේ කවපෙත්ත විසිකිරීමේ පුහුණුවීම්වල දී අයේෂා ආබාධයකට ගොදුරු වූවා ය. මේ කාලයේ දී සිය පුහුණුකරු වූ මාධව බණ්ඩාර සෙනරත් මහතා අයේෂාට යෝජනා කළේ මිටිය විසිකිරීමේ ඉසව්වට අවතීර්ණ වන ලෙසය.
කෙටි කලක් පුහුණු වී සහභාගී වූ ජාතික ක්‍රීඩා උලෙළේ දී මිටිය විසිකිරීම හා කවපෙත්ත
විසිකිරීම යන ඉසව් දෙකෙන්ම රන් පදක්කම් හිමිකරගත්තා ය. එහිදී ඈ මිටිය විසිකිරීමේ ජාතික වාර්තාවට ද හිමිකම් කියූවා ය. ඒ මීටර් 42.74 ක් දුරට මිටිය විසිකරමිනි. මෙය
අයේෂාගේ ජීවිතයේ අමතක නොවන සිදුවීමකි. එය ක්‍රීඩා පිටියේ මුහුණ දුන් ආබාධයක් ආශිර්වාදයක් වූ අවස්ථාවක් ලෙස දැක්වීමට පිළිවන.
ඒ අනුව ඈ වසර 4 ක් (2014 - 18) මිටිය විසිකිරීමේ වාර්තාවේ හිමිකාරිනිය විය. කෙසේ නමුත් ඈ 2019 වසරේ ගුවන් හමුදාවෙන්
ඉවත් වී, 2019 වසරේ මාර්තු මස ඔස්ට්‍රේලියාවට පිටත්ව ගියා ය. ඒ එඩිත් කොවන් විශ්වවිද්‍යාල යේ (Edith Cowan) ව්‍යාපාරික කළමනාකරණය හා ආගන්තුක සේවා (Business Management & Hospitality ) උපාධිය හැදෑරීමට ය.
ඔස්ට්‍රේලියානු ජීවිතයේ රැකියා 2 ක නිරත වෙමින් ඈ ඉගෙන ගත්තා ය. උදේ 5 සිට දවල් 12 වනතුරු වෙළෙඳසලක
මුදල් අයකැමියෙකු ලෙසත්, හවස 5 සිට රාත්‍රී 10 වනතුරු ආපනශාලාවකත් සේවය කළ ඈ සිය උපාධියේ දේශන වලටද ගැටලුවකින් තොරව සහභාගි වූවා ය. ඉඩක් ලද විගස, ව්යායායම්වල
නිරතවීමට ද ඈ අමතක කළේ නැත.
කාර්යය බහුල දිවියක් ගත කළ නිසා, මලල ක්‍රීඩාවෙන් වසර 2ක් ඈත්වී සිටියත් තවදුරටත් අයේෂාට පිටියට පිවිසීමට බලසිටීමට නොහැකි විය. Ringwood Athletic Club හා සම්බන්ධ වී ඔගස්තියන් පිපුපෝලෙ පුහුණුකරු යටතේ පුහුණුවීම් ආරම්භ කර, 2021 වසරේ AVSL තරගාවලියේ 7, 8 හා 9 වට වලට සහභාගි වී ඔස්ට්‍රේලියානු
විසිකිරීමේ ඉසව් තරගාවලියේ දී මීටර් 46.50 ක දුරක් වාර්තා කර ජාතික තරගාවලියට සුදුසුකම් සපුරා ගත්තා ය. ඒ අනුව අප්‍රේල් 13 -23 අතර පැවති ඔස්ට්‍රේලියානු ජාතික තරගවලට සහභාගී වී මිටිය විසිකිරීමේ ඉසව්වෙන් 12 වැනියා විය.
අයේෂාගේ උපාධිය මෙම වසරේ (2021) ඔක්තෝබර් මස අවසන් වීමට නියමිතය. ඇගේ අනාගත සැලසුම් ඇගේ ම වචනයෙන් කියන්නේ නම් මෙසේ ය.
“මම මුලින්ම මගේ උපාධිය සම්පූර්ණ කරනවා. ඔක්තෝබර් මාසේ ලංකාවට ඇවිත් පුහුණුවීම් කරලා, ශ්‍රී ලංකා වාර්තාව දිනා ගැනීම තමයි අරමුණ. 2022 එංගලන්තයේ දී පවත්වන පොදුරාජ්‍ය මණ්ඩල තරගාවලියට සහභාගි වෙන එක දෙවැනි බලාපොරොත්තුව.
ඒ වගේම ඉස්සර ඉඳන්ම කායවර්ධ-
නයට යොමුවන්නත් බලාපොරොත්-
තුවක් තිබෙනවා. ඒ ඉසව්වෙන් මට ඔලිම්පික් තරග දක්වා යන්න පුළුවන් වේවි.
ඒ වගේම ක්‍රීඩාවෙන් සමුගත් දිනෙක, ශරීර යෝග්‍යතා පුහුණුකාරිනියක ලෙස නිදහස්ව වැඩකරන්නත් බලා-පොරොත්තුවක් තිබෙනවා.”
යෙනුක සිසිල්චන්ද්‍ර










