පුංචි කාලෙ ඉඳලා ජොන්ටි වෙන්න ගිය මොන්ටිසෝරි කොල්ලා | සිළුමිණ

පුංචි කාලෙ ඉඳලා ජොන්ටි වෙන්න ගිය මොන්ටිසෝරි කොල්ලා

අශේන් බණ්ඩාර

‘පන්දු රකින්නෝ යනු ක්‍රිකට් තරගයක තීරණාත්මක පිරිස ය. ඔවුන් නොමැතිනම් පන්දුයවන්නන්ට තමන්ගේ කඩුලු දවා ගැනීමට නොහැකි ය. පිතිකරුවනට තමන් රැස්කළ ලකුණු ප්‍රමාණය රැක ගැනිමට ද බැරි ය. එනමුදු පන්දු රකින්නන්ට ක්‍රිකට් ලෝකයේ එතරම් සුවිශේෂී තැනක් හිමිවන්නේ ද නැත. එහෙත් පන්දුරකින්නෙක් යනු ක්‍රිකට් පිටියේ ප්‍රධාන චරිතයකැයි කිවයුතු ය. මේ එවන් ක්‍රීඩකයකු ගැන ඇරැඹුම් කතාව ය.’

පසුගිය කාලයේ ලෝකය තුළ පන්දුරකින්නෙක් ක්‍රිකට් ලොව විදිහට දිග් විජය කළ ක්‍රීඩකයෙක් තමයි ජොන්ටි රෝඩ්ස්. රොෂාන් මහානාම, යුවරාජ් සිං, සනත් ජයසූරිය, උපුල් චන්දන වැනි ක්‍රීඩකයොත් අසමසම පන්දුරකින්නෝ වුණා. ඒත් කලක් අඩුපාඩුවක්ව තිබූ වඩා විශ්වසනීය පන්දුරැකීමේ දෑත් යුගලයක් දැන් ශ්‍රී ලංකාවට හමුවී තිබෙනවා. ඒ නදීජ අශේන් බණ්ඩාර.

“කැච් වින් මැච්” යන ඉංග්‍රිසි කියමනට සැබෑ ශක්තියක් දෙන නූතනයේ ක්‍රිකට් පිටියේ දැකිය හැකි විශිෂ්ට ගමනක යෙදෙන ක්‍රීඩකයෙක් තමයි අශේන් කියන්නේ. ඒ නිසා ‘ක්‍රීඩා’ අශේන්ගේ අම්මා වන අරුණි රේණුකා මහත්මිය සමඟ ඇගේ පුතාගේ බාල සන්ධියේ රුව ගුණ වරුණ ගැන කතාකළා.

විශේෂයෙන්ම පිටියේ “කවර් පොයින්ට්” ස්ථානයේ පන්දු රකිමින් ප්‍රතිවාදීන්ගේ පහර වළකාලමින්, දැවැන්ත පවුරක් ලෙසින් ලකුණු කපා හරිමින් තම පිලට දැවැන්ත කාර්යභාරයක් ඉටුකළ හැකි, ශ්‍රී ලංකා පිලේ අනාගත “ජොන්ටි රෝඩ්ස්” ලෙස සැලකිය හැකි හුරුබුහුටි ක්‍රීඩකයා තවමත් 23 හැවිරිදි වියේ පසුවෙනවා. මේ ඔහුගේ මව අපට කියූ කතාව.

“මගේ ගම ගාල්ල පැදින්නෝරුව. අශේන්ගෙ තාත්තා ජයතිස්ස බණ්ඩාර. එයාගේ මහ ගෙවල් දඹුල්ලේ. රෝයල් සෙරමික් සමාගමේ තමයි වැඩ කළේ. ඉතින් අපි මුලින්ම පදිංචි වෙලා හිටියේ දඹුල්ලේ. මගේ වැඩිමහල් දරුවා පවුලට ලැබෙන්න ඉඳිද්දී ගමට එනවා. එයා ඉපදෙන්නේ 1998 නොවැම්බර් 23 වැනි දා ගාල්ලෙ මහමෝදර දි. ඔහු තමයි නදීජ අශේන් බණ්ඩාර.

අශේන් පුතා ලැබුණට පසුව අපි නැවතත් දඹුල්ලට යනවා. අපේ අම්මා, තාත්තා හා සහෝදරියෝ නදීජ පුතා ලැබුණාම තවත් වැඩිපුර දඹුලු ගෙදරට යනවා එනවා. එතකොට ඒ අය එක්ක ගාලු යන්න අශේන් පුතා හරි කැමතියි. එයා අපි නැතුවත් සති ගණන් ගාල්ලේ ගෙදර ඉන්නවා. ”

“මේ අතරේ අශේන් පුතා මොන්ටිසෝරි යන්නේ දඹුල්ලෙමයි. ඒත් පුතා කැමැති ගාල්ලට. ඉතින් තාත්තා මාරුවීමක් හදාගත්තා. එහෙම හදාගෙන අපිත් ගාල්ලෙ ම පදිංචියට ආවා. ආචිචි, සීයා, ලොකු අම්මා, පුංචි අම්මා එක්ක අශේන් පුතා හරිම එකතුයි. ඒකත් අපිට ගාලු එන්න හේතුවක් වුණා.’

‘ඇත්තටම අපි පදිංචි වෙලා ඉන්නේ ගාල්ල නගරයෙන් තරමක් දුරින් පිහිටි පැදින්නෝරුව, වංචාවල. අශේන් පුතා මුලින්ම යන්නේ කළහේ, ශ්‍රී සුමංගලෝදය විද්‍යාලයට. පළමු ශ්‍රේණියේ සිට 5වැනි ශ්‍රේණිය දක්වා ඉගෙන ගන්නෙ ගමේ පාසලෙන්. ”

“පුතා කුඩා කාලයේ සිටම ක්‍රිකට් ක්‍රීඩාවට කැමැතියි. බෝලෙයි, පිත්තයි හැම වෙලේම අතේ තිබුණා. අවුරුදු 3 ක් විතර වෙනකොට ම අපි ක්‍රිකට් උපකරණ අරගෙන දුන්නා. රූපවාහිනියේ මැච් බලන්න හරිම ආසයි. මැච් බලලා ඉවරවෙලා අපට කියනවා බෝල් දාන්න කියලා. පන්දු රකින්නත් හරිම ආසයි. ගෙදර කාට හරි කියලා බෝලෙ දාලා එයා පැනලා අල්ලනවා. සමහර විට එයාට බෝල් දාන වැඩේට අහුවුණාම ගෙදර ඉන්න අයට එපාවෙනවා. නමුත් එදා එහෙම වුණත් අද හැමෝටම ඒ ගැන තියෙන්නේ ලොකු සතුටක්.”

“පුතාගේ ක්‍රිකට් ක්‍රීඩාවට තියෙන උනන්දුව නිසා අපට ආරංචියක් ලැබෙනවා ගාලු පිටියේ ක්‍රිකට් ඇකඩමියක් තිබෙන එක ගැන. ඇකඩමියට මුලින්ම එක්කගෙන ගියෙත් ආච්චි තමයි. තමන්ගේ පාසලේ ක්‍රිකට් ක්‍රීඩාව නැති නිසා පාසලෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදීමට අශේන්ට අවස්ථාවක් ලැබුණේ නෑ. ඒ නිසා ක්‍රිකට් පුහුණුවීම් කළේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තිබුණු ඒ ක්‍රිකට් ඇකඩමියෙන්. ”

ඇකඩමියේදී අශේන් පුතාගේ මුල්ම ක්‍රිකට් පුහුණුකරු වෙන්නේ අබේවික්‍රම සර්. ඒත් ටික කාලය යි. ඊට පසුව පී. සුරේන්ද්‍ර සර් තමයි අශේන් පුතාගේ පුහුණාකාරිත්වය බාරගන්නේ.” අශේන් පුතාගේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් අද ආපු ගමන ආරම්භ වෙන්නේ එතැනින්. ”

“අශේන් පුතා 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගෙන් ලකුණු 115 ක් ගත්තා. ලකුණු 117 තමයි සාමාර්ථය ලබන ලකුණු වුණේ. ශ්‍රී සුමංගලෝදය පාසලේ ක්‍රිකට් ක්‍රීඩාව නොමැති නිසා එයාට ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්‍යාලයට ඇතුළුවෙන්න අවස්ථාවක් ලැබුණා. පුතා 6 ශ්‍රේණියට ඇතුළත් කරගත්තේ ක්‍රිකට් ක්‍රීඩාව නිසා. අවුරුදු 3 ක් විතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති ක්‍රිකට් ඇකඩමියට ගියා. ඉන්දියාවේ තරග සංචාරයකටත් සහභාගි වුණා. පාසලේ ක්‍රිකට් පුහුණුකරු වුණෙත් පී. සුරේන්ද්‍ර සර්මයි. ”

“ඇකඩමියේදී පළමු පුහුණුකරු වුණ අබේ-වික්‍රම සර් වගේම සුරේන්ද්‍ර සර්, තරංග සර්, පසන් සර්, ලක්මාල් සර් එයාට මේ ගමන එන්න ගොඩාක් උදව් කළා. එවකට විදුහල්පතිව සිටි ඩී.පී.එල්.එස්. ගුණසේකර සර්, ඉන් පසුව විදුහල්පතිවරුන් ලෙස සිටි රංජිත් තිලකරත්න සර් සහ නයනප්‍රිය පෙරේරා සර් කළ උදව් අසීමිතයි. විද්‍යාලයේ ක්‍රීඩා නියෝජ්‍ය විදුහල්පති එල්.පී. වීරමන් සර්, ජයනන්ද වර්ණවීර සර්, පුහුණුකරුවන් වූ හර්ෂ මුණසිංහ සර්, මාලක ද සිල්වා සර් සහ ක්‍රිකට් භාර ආචාර්යව සිටි ජගත් සේමසිංහ සර් ගොඩාක් උදව් කළා. නවිඳු නිර්මාල්ගෙ අම්මා සහ තාත්තා කළ උපකාරත් කවදාවත් අමතක කරන්න බෑ. සාමාන්‍ය පෙළ කරන කාලේ එයාලගෙ ගෙදර තමයි පුතා නැවතිලා හිටියේ. ආදි ශිෂ්‍ය හැරී සොලමන්ස්, ධම්මික මහේන්ද්‍ර ඇතුළු බොහෝ ආදි සිසුන් පෞද්ගලිකව මෙන්ම ආදි ශිෂ්‍ය සංගම් සියල්ල උදව් කළා පුතාගේ ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව වෙනුවෙන්. ඒ සෑම දෙනාටම ස්තූතිය පිරිනමනවා”

“අශේන් පුතා තමයි පවුලේ වැඩිමලා. එයාට බාල නංගිලා ම තුන්දෙනයි. තුන් දෙනාම තවම පාසල් යනවා. ලොකු නංගි අමන්දි 2022 වසරේ උසස් පෙළ විභාගයට මුහුණදීමට ඉන්නවා, දෙවැනි නංගි අමායා සාමාන්‍ය පෙළ විභාගය කරලා ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් ඉන්නේ, පොඩි නංගි දිනිති 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබනවා. නංගිලා තිදෙනාම කළහේ ශ්‍රී සුමංගලෝදය විද්‍යාලයේ. පියා රැකියාවෙන් ඉවත්වෙලා කාලයක් විදේශගතව හිටියා. දැන් පෞද්ගලික ව්‍යාපාරයක් ලෙසින් කෘෂිකර්මයට අදාළ පැල තවානක් පවත්වාගෙන යනවා. ”

“අශේන් පුතා ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට තෝරාගත්තාම අපේ පවුලේ හැමෝම ගොඩාක් සතුටු වුණා. ඒ වගේම අශේන් පුතා තමන්ගේ යුතුකම ඉදිරියේ දී ත් කරයි කියලා විශ්වාසයක් තියෙනවා. ”

දකුණත් පිතිකරුවකු, දකුණත් පිට දඟ පන්දු යවන්නකු මෙන්ම දක්ෂ පන්දු රකින්නකු ලෙසින් ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්‍යාලයේ වයස අවුරුදු 13 න් පහළ ක්‍රිකට් පිල නියෝජනය කරමින් පාසල් ක්‍රිකට් පිටියට පිවිසෙන අශේන් බණ්ඩාර පාසලේ 15 න් පහළ කණ්ඩායම නියෝජනය කළේය. 15 න් පහළ ගාල්ල දිස්ත්‍රික් පිල සහ දකුණු පළාත් පිල නියෝජනය කරන අශේන් පාසලේ 17 න් පිල මෙහෙයවන අතර, 19 න් පහළ පිල ද මෙහෙයවීමට වරම් ලැබීය. සන්ඩේ ඔබ්සර්වර් - මොබිටෙල් පාසල් ක්‍රිකට් සම්මාන ප්‍රදානයේදී අශේන් වසර දෙකක දී ම දක්ෂතම පන්දු රකින්නා සම්මානය හිමි කරගත්තේ ය.

අවුරුදු 19 න් පහළ දකුණු පළාත් පිල නියෝජනය කළ අශේන් බණ්ඩාර අන්තර් පළාත් තරගාවලීන් හි දී දැක් වූ දස්කම් හේතුවෙන් ශ්‍රී ලංකා 19 න් පහළ පිල ට එක්වීමට වරම් ලැබී ය. එහිදී රෝයි ඩයස්, චමින්ද වාස් සහ උපුල් චන්දන යන පුහුණුකරුවන්ගෙන් ලද ආශිර්වාදය ඇතිව යොවුන් ආසියානු කුසලාන තරගාවලියේ සිට 2018 යොවුන් ලෝක කුසලානය දක්වා ශ්‍රී ලංකා යොවුන් පිලට එක්ව දස්කම් දැක්වී ය.

පාසල් වියේදීම ගාලු ක්‍රිකට් සමාජ පිල නියෝජනය කළ අශේන් අනතුරුව සැරසන්ස් ක්‍රීඩා සමාජ පිලට එක්වීමට සමත් විය. එතැන් සිට මේ දක්වා ඔහු සැරසන්ස් පිලට නැතුවම බැරි ක්‍රීඩකයෙකි. සජීව වීරකෝන්. දිනේෂ් වීරසිංහ, චාමර කපුගෙදර යන ක්‍රීඩා සමාජ පුහුණුකරුවන්ගෙන් ලද ගුරුහරුකම් අශේන්ගේ ක්‍රීඩා දිවියේ සාර්ථකත්වයට හේතුවිය. ගාලු ක්‍රිකට් සමාජයේ සභාපති සිංගර් ශ්‍රී ලංකා සමාගමේ හිටපු වෙළෙඳ අධ්‍යක්ෂ කුමාර් සමරසිංහ සහ සැරසන්ස් ක්‍රීඩා සමාජයේ සභාපති නුස්කි මොහොමඩ් යන මහත්වරුන්ගෙන් ලැබුණු සහයෝගය ද අශේන්ගේ සාර්ථකත්වයට ඉවහල් වී ඇත.

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ පිල නියෝජනය කරමින් පාසල් සිසුවකුව සිටියදීම අශේන් බණ්ඩාරට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති ටෙස්ට් ක්‍රිකට් තරගයකදී ශ්‍රී ලංකා පිලේ අතිරේක ක්‍රීඩකයකු ලෙසින් පන්දු රැකීමේ වගකීම පිරිනැමිණි. ඒ චමින්ද වාස්ගේ රෙකමදාරුව නිසාවෙනි.

පසුගිය මාර්තු මාසයේ ශ්‍රී ලංකා පිලේ බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරයට නවකයකු ලෙසින් එක්වුණු අශේන් බණ්ඩාර මේ වන විට එක්දින තරග 3ක දී ශ්‍රී ලංකා එක්දින පිල නියෝජනය කර ඇත. එම ඉනිම තුනෙන් දෙකදීම අර්ධ ශතක රැස්කරමින් තමන්ගේ කාර්යභාරය ඉටුකිරීමට සමත්වී සිටින අශේන් පන්දුවාර 20-20 තරග දෙකක දී ශ්‍රී ලංකා පිල නියෝජනය කළේය.

ඉෂානි යද්දෙහි

Comments