නව නායකයාගේ අලුත් ක්‍රිකට් සංස්කෘතිය | සිළුමිණ

නව නායකයාගේ අලුත් ක්‍රිකට් සංස්කෘතිය

 

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශය අතර එක්දින තරග 3 කි න් සමන්විත ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වෙයි.

ඒ ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කර මින් තරුණ ක්‍රීඩකයන්ගෙන් සමන්විත කණ්ඩායමක් සැකසීමේ අරමුණින් යුතුව ය.

තරග පරාජයට බිය වන්නේ නම් ජයග්‍රහණය සොයා යා නොහැකි බවත්, තරග ජයග්‍රහණය කිරීමේ දී ශ්‍රී ලංකා කණ්ඩායම දීර්ඝ කාලයක් තිස්සේ පවත්වාගෙන ආ ක්‍රමවේදය මේ වන විට ගිලිහී තිබෙන බවත් නව නායකයා සංචාරයට පෙර පැවසී ය.

“අපට තරග දිනන්න ඕනෑ නම් අපි බය නැතිව ක්‍රිකට් ගහන්න ඕනෑ. මැච් එකක් පරදින්න බයේ දිනන්න බැහැ. බයේ ගහන්න ගහන්න වෙන්නේ අපි තව පහළට වැටෙන එක විතරයි. නිර්භීතව ක්‍රීඩා කළොත් අපිට සමහර වෙලාවට ගොඩක් දේවල් වෙනස් කරන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. තමන්ව විශ්වාස කරලා තමන් දන්න දේ ක්‍රීඩාංගණයට ගිහිං කරන්න පුළුවන් විශ්වාසයක් ක්‍රීඩකයන්ට දෙන්න තමයි මම හදන්නේ. ඒ විදිහෙ සංස්කෘතියක් තමයි මම හදන්න බලාපොරොත්තු වෙන්නේ.”

“තරගයකදී ක්‍රීඩකයන් සියයට සියයක් ම දායකත්වය කණ්ඩායමට දෙන්න වෙනවා. ඉතා වැදගත් වන්නේ ඒ දවස තුළ තම උපරිමය කණ්ඩායමට දෙන්නේ කොහොමද කියන එකයි. කවුරු පුහුණු කළත්, කවුරු නායකයා වුණත් ක්‍රීඩකයන් 11 දෙනෙක් ක්‍රීඩා කරන්න ඕනෑ. එතකොට ක්‍රීඩකයන් 11 දෙනාගෙන් ලැබෙන දේ තමයි අන්තිමට තරගය ජයගන්නවා ද පරාජය වෙනවා ද කියන එක තීරණය කරන්නේ. සියලු ක්‍රීඩකයන් තම තමන්ගේ වැරැදි හඳුනා ගෙන ඒවා හදා ගන්නවා නම් හරි. තමාගේ ස්ථානය රැක ගැනීම වෙනුවෙන් ක්‍රීඩාවේ නිරත වුණොත් ක්‍රීඩකයන්ගෙන් සියයට සියයක දායකත්වයක් කණ්ඩායමට ගන්න බෑ.” බංග්ලා දේශයට පිටත්ව යෑමට පෙර නව නායක කුසල් ජනිත් පැවැසුවේ ය.

තමාට නායකත්වය භාර දෙන්නේ කොපමණ කාලයකටද යන්න දැනුවත් කර නැති නමුත් ලබාදුන් වගකීම උපරිමයෙන් ඉටු කරමින් තමාට අවශ්‍ය වනුයේ ජයග්‍රාහී සංස්කෘතියක් ඇති කිරීම බවත් ඔහු මෙහිදී අවධාරණය කළේ ය.

“මම නායකත්වයක් බලාපොරොත්තුවෙන් හිටිය කෙනෙක් නෙවෙයි. මම ගිහිල්ලා ඉල්ලලා ගත්ත දෙයක් නෙවෙයි. මට වගකීමතක් දෙන්න තමයි එයාලා කතා කළේ. ඉතිං මම දන්නේ නෑ කොච්චර කාලෙකට එයාලා (තේරීම් කමිටුව) ඒක සැලසුම් කරලා තියෙනවාද කියලා. මගෙ පැත්තෙන් මම බලන්නේ ජයග්‍රාහී සංස්කෘතියක් කණ්ඩායමේ හදන්න. හැබැයි ඒක එක පාරටම හදන්න බෑ.”

“ඇත්ත මම ගොඩක් වෙලාවට ලකුණු 50- 60 ගහලා දැවී යනවා. මේ තේරීම් කමිටුව මගෙන් බලාපොරොත්තු වෙන්නේ ඒ ඉනිම ලකුණු 100 දක්වා රැගෙන යෑමයි. මාත් ඒක පෞද්ගලිකවම පිළිගන්නවා. 50 ක් හරි 60 ක් හරි ගහලා දැවී යනවාට වැඩිය 100 ක් ගැහුවොත් තරගයක් දිනන වාසි වැඩියි. හැම තරගයක දී ම 100 ඒවා ගහන්නත් බෑ. ඒත් අපිට හොඳ ආරම්භයක් එක්ක තරගයක වගකීමක් අරගෙන ගහන්න පුළුවන්, තරගය හොඳින් අවසන් කරන්න පුළුවන් කියන තැන මමත් ඉන්නවා.”

කණ්ඩායමේ කඩුලු රකින පිති-කරුවකු ලෙස බංග්ලාදේශයට එරෙ-හිව තරග කරන බවත්, ආරම්භක පිතිකරුවකු ලෙස ක්‍රීඩා නොකළ හොත් අංක 3 ස්ථානයේ පන්දුවට පහර දීමට ක්‍රියා කරන බවත් ඔහු පවසයි.

ආරම්භක පිතිකරුවන් ගැන තීරණය කළ යුතු බවත් ස්ථාවර ආරම්භක පිතිකරුවන් යුගලයක් නිර්මාණය කර ගත යුතු බවත් ඔහුගේ මතය යි. “2023 විතර වෙනකල් සැලසුමක් තියෙන්න ඕනෑ. හැම වෙලාවෙම ගොඩක් ක්‍රීඩකයන්ව මාරු කළොත් ටීම් එකක් කවදාවත් හැදෙන්නේ නෑ. මේ සංචාරයේ මම කඩුලු රකින්න ඉන්නෙ. මොකද ඉස්සරහට අපි කණ්ඩායම සමබර කරන්නෙ කොහොමද කියල බලන්න ඕනෑ. ගොඩක් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් මෙතන අඩුයි. ඒ නිසා මම ආරම්භක පිතිකරු ද අංක 3 පිතිකරු ද කියලා තීරණය කළ යුතුයි.”

බංග්ලාදේශ සංචාරයේදී පන්දු රැකීමෙන් ලොකු වෙනසක් අපේක්ෂා කරන බව ද බංග්ලාදේශ ක්‍රීඩකයන්ට අන්තර්ජාතික තරග අත්දැකීම් වැඩි වුවත්, ශ්‍රී ලංකා නවක ක්‍රීඩකයන් දේශීය පිටියේ දී ලබා ඇති අත්දැකීම් අන්තර්ජාතික පිටිය තුළට ගෙන යෑම වැදගත් බවත් ඔහුගේ මතය යි.

මෙකී තරගාවලියේ උපනාය-කත්වය කුසල් මෙන්ඩිස්ට පැවරීම මඟින් ඔහුගේ පිතිකරණයේ වෙනසක් අපේක්ෂා කළ හැකි බව නව නායකයාගේ විශ්වාසය ය.

“කුසල් මෙන්ඩිස්ට විවේකයක් හම්බ වුණ එක හොඳයි. ඕනැම ක්‍රීඩකයෙක් උඩට යනවා. පල්ලෙහාට යනවා. ඒ කාලෙට විවේකයක් ලැබෙන එක හොඳයි. නව වගකීමත් එක්ක තමයි එයා කණ්ඩයාමට එක් වෙන්නේ. එතකොට පිතිකරණයේ දී එයා ටිකක් වෙනස් වෙයි කියලා මට හිතෙනවා. එයාට දිගු ඉනිම් ක්‍රීඩා කරන්න පුළුවන්. ඒ වගේ කෙනෙකුට වගකීමක් දුන්නම එයාගෙන් උපරිමය ගන්න පුළුවන් වෙයි කියලා මගේ පෞද්ගලික මතයක් තියෙනවා.” කුසල් ජනිත් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ ය.

දෙරට අතර තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය අද සිට ඇරඹී 28 වැනිදා දක්වා පැවැත් වෙයි.

බන්ධුල ජයමාන්න

Comments