ජගත් ටෙස්ට් ශුරතා වේදිකාවේ ලොව හොඳම පිතිකරු වාදයක් | සිළුමිණ

ජගත් ටෙස්ට් ශුරතා වේදිකාවේ ලොව හොඳම පිතිකරු වාදයක්

 

ඉන්දීය කණ්ඩායම ඉතිහාසයේ දීර්ඝතම ක්‍රිකට් සංචාරයක් සඳහා ජුනි මස 02 දින එංගලන්තය බලා පිටත්ව යාමට නියමිත ය.

ජුනි මස 18 දින ඇරඹෙන නවසීලන්තය සමඟ වන ජගත් ටෙස්ට් ශුරතා තරගමාලාවේ අවසන් මහා තරගයට මෙන්ම ඉන්පසු එංගලන්තය සමග ටෙස්ට් තරග 05 ක ට ඔවුන් එහිදී මුහුණ දීමට සියලු කටයුතු සම්පාදනය වී තිබේ. මෙම ටෙස්ට් තරග මාලාවේ අවසන් තරගය ආරම්භවීමට නියමිතව ඇත්තේ සැප්තැම්බර් මස 10 දින ය.

වත්මන් කෝවිඩ් පසුබිම මත ජීව බුබුලක් යටතේ පැවැත්වෙන මෙම සංචාරය සඳහා සහභාගි වන ක්‍රීඩකයින් හට මෙසේ එක දිගකට මාස තුනකට වැඩි කාලයක් ජෛව බුබුලක් මධ්‍යයේ සිටීම නම් ඉතාමත් අසීරු කාර්යය කි. විරාත් කෝලි යටතේ ක්‍රීඩකයින් 20 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මෙම සංචාරය සඳහා නම් කරන ලද අතර තවත් ක්‍රීඩකයින් සිව් දෙනෙකු අතිරේක ක්‍රීඩකයින් ලෙසින් සංචාරය සඳහා තෝරාගෙන තිබේ.

කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ පවුලේ සාමාජිකයින්හට ද මෙම සංචාරය සඳහා අවස්ථාව හිමිවනු ඇතැයි ඉන්දීය ආරංචි මාර්ග සඳහන් කළේ ය. සංචාරයට පෙර මෙම මස 25 දා සිට සංචාරය ට සහභාගි වන ක්‍රීඩකයින් ඇතුළු සැවොම දින අටක් ඉන්දියාවේ දී නිරෝධායන කාලයකට මුහුණ දිය යුතුව තිබේ.

ඉන් අනතුරුව ඔවුහු එංගලන්තයේ දී තවත් දින දහයක නිරෝධායන කාලයකට ද මුහුණ දිය යුතුව ඇත. වාර්තා වන අන්දමට මේ වනවිට ලොවම වෙලාගෙන ඇති කෝවිඩ් වසංගතය හමුවේ සුපුරුදු එංගලන්ත සංචාරවල මෙන් මෙම ක්‍රිකට් වාරය තුළ එංගලන්තයේ සංචාරය කරන නවසිලන්ත,ඉන්දීය,ශ්‍රී ලංකා හා පාකිස්තාන් කණ්ඩායම් වලට එරට ප්‍රථම පන්තියේ ප්‍රාන්ත කණ්ඩායම් සමඟ තරගවලට සහභාගිවීමේ අවස්තාව අහිමි ය.

මේ අනුව ජුනි 02 එංගලන්තයේ සංචාරය අරඹන ඉන්දීය කණ්ඩායමේ මුල්ම ප්‍රධාන තරගය වනුයේ ජුනි 18 දින නවසීලන්තය සමග පැවැත්වීමට නියමිත ලෝක ටෙස්ට් ශුරතා අවසන් තරගය ය.

නවසීලන්තය පැත්තෙන් බලන කල ඉන්දියාව ට වඩා මෙහිදී ඔවුන්ගේ තත්ත්වය වාසිදායක ය.මන්ද ඔවුන් මෙම වැදගත් අවසන් තරගයට පෙර එංගලන්තය සමග ටෙස්ට් තරග දෙකකට මුහුණ දෙන බැවිනි.මේ අනුව ඔවුනට එංගලන්ත පසුබිමට හැඩගැසීමේ වැඩි අවස්ථාව තිබේ.

”මෙය මානසිකව වඩාත් ශක්තිමත් විය යුතු අවස්ථාවක්. අවසන් තරගය සඳහා අපට හොඳ පළපුරුදු කණ්ඩායමක් සිටිනවා” එසේ පවසා ඇත්තේ ඉන්දීය පිලේ පන්දු රැකීමේ පුහුණුකරු ආර්.ශ්‍රිධර්ය.

“සෑම ක්‍රීඩකයෙකුම අවස්ථාවට අනුව හැඩ ගැසීමට දක්ෂයි. ඔවුන් නවසීලන්තය සමග තරග වැදී තිබෙනවා. ඒ වාගේම එංගලන්තයේ දී ත් තරග වැදී තිබෙනවා.” ඔහුට මෙම තත්ත්වය මධ්‍යයේ වුව ද තම කණ්ඩායම විශ්වාසය.

ඔවුන්ගේ පන්දු යැවීමේ පුහුණුකරු භාරත් අරුන් දරන්නේ ද එවන් අදහසකි.

”නවසීලන්තය අවසන් තරගයට පෙර එංගලන්තය සමඟ ටෙස්ට් තරග දෙකකට මුහුණ දීම එංගලන්තයේ තත්ත්වයට හැඩ ගැසීම අතින් ඇත්තෙන්ම ඔවුනට වාසිදායකයි. අප මෙහිදී එංගලන්තයේ කලින් තරග වැදී ලබාගෙන ඇති අත්දැකීම ප්‍රයෝජනයට ගත යුතුයි. ඒ වගේම නවසීලන්තය හා එංගලන්තය කලින් තරග වැදීම අපට හොඳ පෙර දැක්මකුත් වෙනවා. කොහොමද නවසීලන්තය එංගලන්තයේදී තරග වදින්නේ ඒ වගේම එංගලන්ත කණ්ඩායමේ තත්ත්වය මැන බැලීමටත් ඒක අපිට කදිම අවස්ථාවක්.”.අවාසිදායක අවස්ථාවක් වුව තම වාසියට යොදා ගන්නා ආකාරය ගැන ඔහු පැහැදිලි කරන්නේ එසේය.

එමෙන්ම එංගලන්තයේ දී මුහුණ දෙන නිරෝධායන කාල සීමාව මෙන්ම පවතින තත්ත්වය තම සැලසුම් සකස් කර ගැනීම සඳහා ප්‍රමාණවත් කාලයක් උදා කරදී ඇති බව ද ඔහු සඳහන් කරයි.

නවසීලන්ත පුවත්වලට අනුව ඔවුන්ගේ අංක එකේ වේග පන්දු යවන්නා වන ට්‍රෙන්ට් බෝල්ට් හට එංගලන්තය සමග වන ටෙස්ට් තරග බොහෝ විට මග හැරෙනු ඇත. එහෙත් ඉන්දියාව සමඟ වන ජගත් ටෙස්ට් තරගමාලා අවසන් තරගයට අනිවාර්යයයෙන්ම ඔහු සහභාගි වන බව පැවසෙයි.

පසුගිය දා ජගත් ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ වාර්තාවකට අනුව මේ වනවිට ලකුණු 121 ක් ලබා ඉන්දියාව ඉදිරියෙන් සිටින අතර නවසීලන්තය ලකුණු 120 ක් ලබා දෙවැනි ස්ථානයේ පසු වෙයි. එමෙන්ම කණ්ඩායම් දෙක ජගත් ටෙස්ට් ශුරතාවයට මුහුණ දුන් ආකාරය දෙස බලන විට නවසිලන්තය තරග වැදී ඇත්තේ මෙසේය.

ශ්‍රී ලංකාවේ දී 1-1 ,ඔස්ට්‍රේලියාවේ දී 0-3 පරාජයක්, ඉන්දියාවට එරෙහිව 2-0 ජයක්,කොදෙව් පිලට එරෙහිව 2-0 ජය,පකිස්තානයට එරෙහිව 2-0 ජයක්. බංග්ලාදේශය සමඟ තරගාවලිය කොවිඩ් තත්ත්වය මත නොපැවැත්විණි.කෙසේ වුවද ඔවුන් ලබා ඇති ජයග්‍රහණ සියල්ලම වාර්තාවී ඇත්තේ නවසිලන්තයේ දී ය.විදේශ තරගාවලින් අතරින් ශ්‍රී ලංකාවේ දී ජයපරාජයෙන් තොරව ද ඔස්ට්‍රේලියාවේ දී පරාජය ද අත් කරගෙන තිබේ.නවසීලන්තයේ දී පරාජය වුව ද මෙහිදී ඉන්දීය දස්කම් ඉහළ බැව් පෙනේ.

ඔවුන් කොදෙව්වන් සමඟ 2-0, ඔස්ට්‍රේලියාවේ දී 2-1,දකුණු අප්‍රිකාවට එරෙහිව ඉන්දියාවේ දී 3-0,බංග්ලාදේශයට එරෙහිව ඉන්දියාවේදී 2-0,එංගලන්තයට එරෙහිව ඉන්දියාවේ දී 3-1 ලෙස ජයලබා පරාජයවී ඇත්තේ නවසීලන්තයේ දී පමණි.මේ අනුව එංගලන්තයේ දී නවසීලන්තය පරදවා ඉන්දියාව මෙම අවසන් තරගය ජයගතහොත් කලින් පරාජය නවසීලන්තයට අත්වූ ගෙදර වාසියක් ලෙස පෙන්වා දිය හැක.

ඉන්දීය උපනායක අජන්කෙයා රෙහ්නේ ජගත් ටෙස්ට් තරගාවලිය තුළ ලකුණු 1095 ක් ලබා ඇත්තේ ශතක 03 ක් හා අර්ධ ශතක 06 ක් සමඟ ය. ඔහුගේ ඉනිමක සාමාන්‍ය 43.80 කි. එමෙන්ම රවිචන්ද්‍රන් අශ්වින් මෙම තරගාවලිය තුල කඩුලු 67 ක් දවා තිබේ.මේ සඳහා කඩුලු 05 ඉනිම් හතරක් වාර්තාගත ය.නවසිලන්ත පිලේ ටීම් සවුති ජගත් ටෙස්ට් තරගාවලිය තුල කඩුලු 51 ක් ලබා ඇති අතර මේ සඳහා කඩුලු 05 බැගින් දවාලූ අවස්ථා තුනක් ද වේ.

නවසිලන්ත නායක කේන් විලියම්සන් කොදෙව් පිලට එරෙහිව ලකුණු 251 ක් ද ඉන්දීය නායක විරාත් කෝලි දකුණු අප්‍රිකාවට එරෙහිව 254 ක් ද ලෙස ජගත් ටෙස්ට් තරග මාලාවේ හොඳ ඉනිම් ක්‍රීඩා කර තිබේ.

කවදත් ඉන්දියාවට එරෙහිව ප්‍රකාශ නිකුත් කරන්නෙකු ලෙස සැලකෙන හිටපු එංගලන්ත නායක මයිකල් වෝන් මෙම දෙදෙනා සම්බන්ධයෙන් පිදුරු ගොඩට ගිනි තබා ඇත්තේ කෝලිට එරෙහිව මානසික යුද්ධයක් අරඹමිනි.

”මෙදා එංගලන්තයේ දී විලියම්සන් කෝලිට වැඩියේ ලකුණු ගන්නවා” මෙසේ පවසන වෝන් තව දුරටත් පවසන්නේ “දෝලනය වන පන්දුව ඉදිරියේ කෝලි අසරණයි. ඒත් විලියම්සන් සාර්ථකයි.”.කියාය. ඔහුගේ අදහසට අනුව “විලියම්සන් ඉන්දියාවේ සිටියේ නම් අද තරගමාලා තුනේම සුපිරි පිතිකරුවා ලෙස සැලකෙන්නේ ඔහුය.

කෝලිට වගේ ඔහුට මිලියන් සිය ගණන් ඉන්ස්ටර්ග්‍රෑම් අනුගාමිකයින් නෑ. ඒ වගේම කෝලිට වගේ වසරකට වරක් ඩොලර් 30 ,40 මිලියන් ගණන්වල වෙළෙඳ දැන්වීම් ඉපැයීම් නෑ. ඔහු බොහොම නිහතමානී නිහඬ තැන්පත් පුද්ගලයෙක් “.වෝන්ගේ මෙවන් ප්‍රකාශවලට මේ වනවිට හිටපු ඉන්දීය ක්‍රීඩක වසීම් ජෆාර් පිළිතුරු දීමට ඉදිරිපත්ව සිටී. මේ අතර හිටපු පාකිස්තාන් ක්‍රීඩක මොහොමඩ් යුෂුප් ගේ ද දකුණු ආසියානු රුධිරය රත්වී තිබේ. පසමිතුරු කම් පසෙක තබා ඔහු විදෙස් මාධ්‍ය අමතමින් ලෝකයේ වර්තමානයේ සිටින විශිෂ්ටතම පිතිකරුවා විරාත් කෝලි යැයි පවසා ඇත්තේ එහෙයිනි. එයින් කියැවෙන්නේ දේශ සීමා ගැටලු හා දේශපාලන විරසක කුමක් වුව ද දකුණු ආසියානුවන්ගේ හදවතේ ඇති විශාලත්ව ය හා ගෞරවණීය භාවය යැයි කිව හැකිය.

 

 

 

 

අනිල්විරසිංහ

Comments