
KUSAL perera
අතීත බංග්ලාදේශය බෞද්ධ රාජ්‍යයකි. අද එහි ප්‍රධාන ආගම ඉස්ලාම් ය. එහෙත් තවමත් චිතගොං ප්‍රාන්තයේ බෞද්ධයෝ ජීවත් වෙති. අද ආරම්භ වන ශ්‍රී ලංකා - බංග්ලාදේශ එක්දින තරගාවලියේ දී සාර්ථකත්වයේ කුසල් සොයා යන ශ්‍රී ලංකා එක්දින පිරිවරේ සේනාධිපති ධුරය හිමිව ඇත්තේ කුසල් ජනිත් පෙරේරා ට ය. කුසල් ට එය ඉටු කරගැනීමට කුසල් තිබේ ද? කුසල් ජනිත් පෙරේරා යළි කියැවීම මෙම ලිපියේ සංක්ෂිප්ත අරමුණ ය.
වසර 2023 පැවැත්වෙන අයි.සී.සී එක්දින ලෝක කුසලාන තරගාවලියේ සුපිරි අට දෙනා අතරට එක් වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ට දැවැන්ත තරගයක් ලබා දීමට සිදුව තිබේ. ඒ සුපර් ලීග් ශ්‍රේණිගත කිරීම් හි ශ්‍රී ලංකාව 12 වැනි ස්ථානයට වැටී ඇති හෙයිනි. එම අභියෝගයෙන් ජයගැනීමේ වගකීම කරා කණ්ඩායම රැගෙන යෑමේ හිමිකම මෙවර හිමිව ඇත්තේ අලුත් කප්පිත්තකුට ය. ඔහු කුසල් ජනිත් පෙරේරා ය.
කුසල් ජනිත්, ක්‍රිකට් නායකත්වයේ අත්දැකීම් අඩු ක්‍රීඩකයෙකි. අන්තර් සමාජ ක්‍රිකට් තරගවල දී කෝල්ට්ස් කණ්ඩායමේ නායකයා ලෙසත් පසුගිය දා පැවැති ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමේ නායකයා ලෙසත් කටයුතු කර ඇත්තෙකි.
ඒ අනුව මේ ඔහුට පැවරී ඇත්තේ විශාල වගකීමකි. කෙසේ නමුත් කුසල් ජනිත් ක්‍රිකට් ජිවිතයේ අභියෝග රැසක් ජය ගත් ක්‍රීඩකයෙකි.
අප එසේ කියන්නේ ඔහුගේ ආරම්භයම උදාහරණයකට ගනිමිනි. ඔහු තම ක්‍රිකට් දිවිය ආරම්භ කරන්නේ දකුණත් පිතිකරුවෙක් ලෙසය. නමුත් ඔහු සනත් ජයසූරිය නම් විශිෂ්ට පිතිකරුවා අනුගමනය කිරීමට යෑමේ ප්‍රතිඵලය වූයේ වමත් සුරුවකු බවට පත්වීම ය. ක්‍රිකට් ක්‍රීඩකයෙක් සුපුරුදු ක්‍රමවේදයෙන් බාහිරව පිත්ත හැසිරවීම වෙනස් කර ගැනීම එක අතකින් සිහිනයකි. එහෙත් කුසල් ජනිත් එය හොඳින් ජය ගත් ක්‍රීඩකයෙකි.
මානසික ශක්තිය
වසර 2015 කුසල්ට තහනම් උත්තේජක චෝදනාවක් එල්ල විය. අයි. සී. සී පරීක්ෂණයෙන් පවා ඔහු වැරදිකරුවෙක් වූ අතර එහිදී ක්‍රිකට් තහනමක් ද පැනවුණේ ය. නමුත් ඔහු ඊට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ එක්ව අයි.සී.සී. ය හා සටන් වැදුණේ ය. අවසානයේ කුසල් ජය ගත්තේ අයි.සී.සී. වාර්තා සදොස් බව සනාථ කරවමිනි. ඒ සමඟ කුසල් යළි ජාත්‍යන්තර පිටියට ආයේ ය. එසේම 2019 වසරේ දකුණු අප්‍රිකාව සිය නිජබිමේ දී ම පරාජය කරන්නට කුසල් කීඩා කළ ඉනිම දසක කීපයක් ගිය ද ක්‍රිිකට් ලෝලීන්ට ලෙහෙසියෙන් අමතක නොවන්න කි. එහිදී කුසල් අවසන් කඩුල්ල වෙනුවෙන් විශ්ව ප්‍රනාන්දු සමඟ එක්ව ක්‍රීඩා කරමින් නොදැවී ලකුණු 153 ක් රැස් කළේ නොතිබුණු ජයක් ශ්‍රී ලංකාවට අත් කර දෙමිනි.
එසේම මාස කීපයකට පෙර පැවැති ශාරිරික යෝග්‍යතා පරීක්ෂණය කුසල් අසමත් වන්නේ මිනිත්තුවක ප්‍රමාදයකිනි. ඔහු එම අභියෝගය ජය ගෙන මෙවර කණ්ඩායමට එක්වන්නේ නායකත්වයේ කිරුළ ද තමන් සතු කර ගනිමිනි.
කුසල්ගේ දස්කම්
කුසල් ජනිත් අන්තර් ජාතික එක්දින වරම් හිමි කර ගත්තේ 2013 වසරේ දී ඕස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව ය. ඔහු මුලින්ම ජාත්‍යන්තර විස්සයි විස්සයි පිටියට පිවිසියේ ද ඔවුනට එරෙහිව එම වසරේ දී ම ය. එම තරගයේ දී කෝඩුකාර කුසල් හයේ පහරක් සහ හතරෙ පහර 2 ක් සමඟින් පන්දු 22 ක දී ප්‍රවේගකාරී ලකුණු 33ක් ලබා ගත්තේ ය. 2015 වසරේ ඉන්දියාව ට එරෙහිව ටෙස්ට් වරම් දිනා ගනිමින් පළමු ඉනිමේ දී ලකුණු 55 ක් සහ දෙවැනි ඉනිමේ දී ලකුණු 70 ක් රැස් කළේ ය.
එපමණක් නොව එල්. පී.එල්, අයි. පී. එල් සහ බී.පී.එල් ආදී ප්‍රිමියර් ලීග් තරගාවලි නියෝජනය කරමින් අත්දැකීම් ලැබූ ක්‍රීඩ-කයෙකි. විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 46 ක ට ක්‍රීඩා කර ඇති ඔහු තවමත් ලකුණු නොලබා දැවී ගොස් නැත. මේ වන විට ටෙස්ට් තරග 22 ක දී ලකුණු 1177 ක්, එක්දින තරග 101 ක දී ලකුණු 2825 ක් සහ විස්සයි විස්ස තරග 47 ක දී ලකුණු 1293 ක් රැස් කර ඇත. ප්‍රවේගාකාරී පිතිකරුවෙක්, දක්ෂ කඩුලු රකින්නෙක් ලෙස ක්‍රිකට් ලොව ජය ගත් කුසල් ජනිත්ට කණ්ඩායම් නායකයා ලෙස දැන් පැවරී ඇති වගකීම සුළුපටු නොවේ.
පසිඳු මිහිරාන් රැටියල










