කටට රසට මේස පුරවන සූපවේදී හේඩ්න් | සිළුමිණ

කටට රසට මේස පුරවන සූපවේදී හේඩ්න්

 

‘මැතිව් හේඩ්න්, අර උස, ශක්තිමත් බාහු තිබුණු, පන්දුයවන්නන් බිය පත්කරවනසුලු ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරුවා මතක ද? කොහොම අමතක වෙන්න ද? හිස් ආවරණය ගලවලා ඔස්ට්‍රේලියානුවන්ගේ කැන්ගරු කැප් තොප්පිය දමාගෙන ඇස් පුංචි කරලා පන්දුයවන්නෝ දිහා බලලා ලෝන්ග් ඔන්.ඕෆ් කලාප හරහා නැත්නම් මිඩ් විකට් නැත්නම් කවර් පොයින්ට් දිගේ ගලාගෙන යන්න එල්ල කරපු පහරවල් වගේම බෝලේ ඩොට් වෙන්න ගහපු පාරවලුත් කවදාවත් කාටවත් එහෙම ලෙහෙසියෙන් අමතක කරන්න පුළුවනි ද? මේ ඔහුගේ ක්‍රිකට් ගැන කතාවක් නොවෙයි. ක්‍රිකට්වලින් එපිට දැන් ඔහු කරන කතාවක්.’

 මැතිව් හේඩ්න් හොඳම ක්‍රිකට් කාරයෙක්, පිතිකරුවෙක්. දැන් එය ඉතිහාසයට ගිය කාරණයක්. නමුත් ඔහු හොඳ ඉවිලිකාරයෙක් නැත්නම් කෝකියෙක් කියලා කිවහොත් ඔබ පිළිගන්නවා ද? ඔහු කොච්චර සුදක්ෂ ඉවුම් පිහුම්කාරයෙක් ද කියනවා නම් ඔහු තමන්ගේ නමින් සූපවේදය සම්බන්ධයෙන් පොතක් පවා ලියලා තිබෙනවා.

‘ඔබ දන්නවා ද? මේ යෝධයාගේ සූපවේදී පොතේ එන සමහර ආහාර වට්ටෝරු රස නහර පිනායන ඒවා බව’ ඒ පොත ගැන අදහස් දක්වා තිබූ විචාරකයන් ඇතැමෙක් සඳහන් කර තිබුණා.

ඔහු උයන්න පටන් අරගෙන තියෙන්නේ අද ඊයේ ඉඳලා නෙවෙයි. ක්‍රීඩාවට එක්වෙන්න පෙර ඉඳලම හේඩ්න් උයන්න කැමැති කෙනෙක්. ඔහු ක්‍රීඩකයෙක් වශයෙන් ලෝකය පුරා යද්දී ක්‍රිකට් විතරක් ගහන්න බලාගෙන ගිහින් නෑ. ඒ හැම ගමනකදිම වගේ සූපවේදියකු වශයෙන් තමන්ගේ දැනුම වැඩිදියුණු කරගන්න ඔහු කාලය වැයකරලා තිබෙනවා. ඒ නිසා විවිධ ආහාර පාන සැකසෙන ආකාරය ගැන පර්යේෂණ කිරීමට ඔහු ක්‍රියාකර තිබෙනවා. ‘මම පෝෂ්‍යදායී ආහාර වට්ටෝරු ගැන සැමවිටම සොයා බලා පර්යේෂණයන්හි නිරත වුණා.’ ඔහු කියන්නේ ඒකයි.

‘ආහාර මට හැමවෙලාවෙම වැදගත් දෙයක්. ඒ නිසාම මගේ පියා මා ගැන කිව්වේ මම ඉපැදුණේ පිහියකුයි, ගෑරුප්පුවකුයි අතේ තියාගෙන කියලයි. ඒ ආහාර සම්බන්ධයෙන් මම දක්වන සැලකිල්ල තේරුම් අරගන්නයි. මගේ ආත්තම්මා තමයි මේ සූපවේදය සම්බන්ධයෙන් ආදරයක් ගොඩනැංවූයේ. ඇය නිවසට පැමිණෙන සෑම අමුත්තකුගේම ඇහි බැම ඉහළ යන ආකාරයට තමන්ගේ ආහාර වේල රසවත්ව සකස් කළා.

ඇයට තිබුණා විස්මිත හැකියාවක්. වත්තේ හැදෙන කෑම වර්ග වලින් බොහොමයක් උපයෝගී කරගෙන ඈ මේ කියන අපූරු ආහාර මිහිර මැව්වා. ඒවා ඈ මටත් කියා දුන්නා. මගේ වාසනාවකට මගේ බිරිය කෙලීත් ආහාර සම්බන්ධයෙන් දැඩි සැලකිලිමත් තැනැත්තියක්. ඈත් මගේ ආත්තම්මගේ ආශිර්වාදය ලබාගත්තියක්. මම මේවිදිහට ආහාර පිළියෙල කරලාත් විශාල සතුටක් ලබනවා.’ හේඩ්න් පවසනවා.

දැන් ඇතැමුන් සිතන්නේ හේඩ්න් වගේ වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයකුට සූපවේදය වගේ විෂයක් වෙනුවෙන් වැය කරන්න කාලයක් තිබුණේද යන්න ගැනයි. ඒ ගැන පිළිතුරක් ඔහු විසින්ම ලබාදී තිබෙනවා.

‘වෘත්තීය ක්‍රීඩකයෙක් වශයෙන් සිටියත් මට සූපවේදයේ නියැළෙන්න විවිධ අවස්ථාවන් හිමිවෙනවා. විවිධාකර විස්මිත ආහාර වර්ග සකස් කරන්න එන්න කියලා මට විවිධ අවස්ථාවන් හිමිවෙනවා. එවිට මට සූපවේදය ගැන දැන සිටින ලෝකයේ විවිධ විශිෂ්ට මිනිසුන් මුණගැසී තිබෙනවා. විශේෂයෙන් විවිධ සංස්කෘතින් තුළ කටයුතු කර ඇති සූපවේදයේ විශිෂ්ටයන් බොහෝ දෙනක් ඒ අතර ඉන්නවා.

විවිධ රටවල ප්‍රධාන අවන්හල් හි සූපවේදීන් මිතුරන් වශයෙන් ඇසුරු කරන්න මට හැකියාව ලැබුණා. මම ඔවුන් දිහා බලාගෙන ඉඳලා, ඔවුන් සමඟ කතාකරලා, ඔවුන්ගෙන් ඉගෙන ගෙන සූපවේදී දැනුම වැඩිදියුණු කරගෙන තිබෙනවා. ඒ වගේම පොහොසත්, දුප්පත් කියා වෙනසකින් තොරව විවිධ නිවාසවලට ගිහින් ආහාර

වට්ටෝරු ගැන ඉගෙන ගෙන තිබෙනවා. එයින් මට ලැබුණු ලොකුම දේ තමයි ඉවුම් පිහුම් කරද්දී භාවිත කරන එක් එක් ගුරු මුෂ්ඨීන් ඉගෙනිමට ලැබීම.’ හේඩ්න් කියනවා.

ආහාර නිසාම තමන්ගේ සංචාරයන්හි විවිධාකාර නගර, මං මාවත් මතකයේ රැඳී ඇති බවයි ඔහු පවසන්නේ. නිව්යෝර්ක් හි ප්‍රධාන නගරයේ ඈතින් පිහිටි ප්‍රදේශයක්, මුම්බායි හි ප්‍රධාන හා අතුරු මංමාවත්හි පිහිටි ආහාර අවන්හල්වල ආහාර පාන, බුරියානි, ප්‍රංශයේ ඇමින්ස් නුවර ආසන්නයේ අවන්හල් ආශ්‍රිත සම්ප්‍රදායික ආහාර වර්ග මෙහිදී ඔහුගේ රස නහර පිනා මතකය නතර කළ සූපවේදී නගර ලෙස දැක්විය හැකියි.

මේ ආකාරයේ ආහාර රස සකසන සූපවේදී ක්‍රමවේද සොයා යද්දී වරක් මැතිව් හේඩ්න් ශ්‍රී ලංකාවේ මුහුණ දුන් අත්දැකීමක් ගැන ද සටහනක් තැබිය යුතුමයි. ‘දවසක් ගාල්ලේ ක්‍රිකට් පුහුණු කටයුතු ඉවරවෙලා අපේ කණ්ඩායමේ ක්‍රීඩකයෝ හෝටලයට ගියා. හෝටලය තිබුණෙත් ගාල්ලේමයි. ඒත් මම ගියේ නෑ. ඒ වෙලාවේ මම තීරණය කළේ එතැන මාළු අල්ලමින් සිටි ධීවරයෙක් ගෙන් යම් දෙයක් දැන ගන්නයි. ඔහු අල්ලපු මාළු වැලකුත් ඒ අසළ තිබුණා. මම ඇත්තටම ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායට අනුව ආහාර සකසන්නේ කොහොමද කියලා ඔහුගෙන් දැනගන්න උත්සහ කළා. ඒ වගේම අපි නැවතී සිටි හෝටලයේ කුස්සියෙන් ශ්‍රී ලංකා ආහාර සකස් කරන ආකාරය ගැන දැනගත්තා.’ හේඩ්න් කියන්නේ ආඩම්බරයෙනුයි.

‘දැනුම තමයි බලය වෙන්නේ. බොහෝ දේ උගෙනීමෙන් මට මගේ ආහාර වට්ටෝරු අලුත් රසයන්ගෙන් පුරවන්න හැකිවුණා. ඒවායේ පෝෂණ ගුණය, ගුණාත්මක භාවය ඉහළ දමාගන්නත් හැකිවුණා.’

ඇත්තටම කියනවා නම් සූපවේදය කියන්නේ මගේ ආදරය දිනාගත්ත දෙයක්. ඒක මගේ විලාසිතාව. සූපවේදය සම්බන්ධයෙන් මගේ තිබෙන අත්දැකීම් බෙදාගන්න මම හැමවිටම කැමතියි. ඒ නිසා මැතිව් හේඩ්න් සූපවේදය 1 සහ 2 කියන කෘතීන් මම මගේ ආහාර ගැන දැනගන්න කැමති පාඨකයන් වෙනුවෙන් ප්‍රදානය කළේ ඒ නිසයි.’ ඔහු තවදුරටත් පවසා තිබෙනවා.

තමන්ගේ සූපවේදී හපන්කම් සම්බන්ධයෙන් පවුලේ සහ හිතමිතුරන්ගේ ප්‍රතිචාර සම්බන්ධයෙන් හේඩ්න් සිටින්නේ සතුටින්. ‘ඔවුන් සියල්ල වටකරගෙන මම කෑම හදද්දී ඔවුන්ගේ මුහුණේ පළවන හැඟීම් කියවන්න මම හරි ආසයි. ඒක හරිම ආඩම්බරයක්. ඒ වෙලාවට මට මගේ අත්තම්මාව සිහිපත් වෙනවා. ඇය මට කිව්වේ ජීවිතේ සතුටින් තියන්න පුළුවන් පුංචිම දෙයක් වෙනුවෙන් කාලය යොදවන්න කියලා. ඒ තමයි ආහාර.’ ඔහු පවසනවා.

මැතිව් හේඩ්න් අපූරු මිනිසෙකි. සමාජය තුළ ආදරණීය චරිතයකි. ලෝකයේ විවිධ ආහාර සංස්කෘතීන් තුළ සංචාරය කළ අත්දැකීම් උකහාගත්තෙකි. එහෙයින් ඔහු නිකම්ම නිකම් හිටපු ක්‍රිකට් ක්‍රිඩකයකු නොව සූපවේදයේ කුසලතා වැඩි වර්ධනය කරගත් අපූරු ආහාර සංස්කෘතික තානාපතිවරයෙක්. කොරොනාවෙන් පස්සේ ඔස්ට්‍රේලියාවට ගියොත් මැතිව් හේඩ්න්ගෙන් කෑමක් කාලා එන්න පුලුවන්නම් අමතක නොකර එය අත්විඳ එන්න.

කසුන් ඉරුගල්බණ්ඩාර

Comments