ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ජෙන්ට්ල්මන් වන් මාවන් | සිළුමිණ

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ජෙන්ට්ල්මන් වන් මාවන්

 

සමස්ත ලෝකය තුළ පවතින ක්‍රීඩා අතර ‘ක්‍රිකට් ක්‍රීඩාවට’ දැවැන්ත ආකර්ෂණයක් හිමිව නැත. එහෙත් ශ්‍රී ලංකාව තුළ නම් තත්ත්වය ඊට සම්පූර්ණයෙන් ම වෙනස් ය. පසුගිය වසර කීපය තුළ ක්‍රිකට් ප්‍රේක්ෂකයන් ගේ මතකයෙන් තරමක් දුරස් වූ බවක් පෙන්නුව ද සාමාන්‍යයෙන් බහුතරයකගේ ආදරය හිමිව තිබෙන ක්‍රීඩාව වනුයේ ක්‍රිකට් ය.

 

ගැහැණු, පිරිමි, තරුණ, මහළු ආදී කිසිදු භේදයකින් තොරව හැමෝම වගේ ක්‍රිකට් ක්‍රීඩාව ට ආදරය කරනුයේ ක්‍රීඩා ලෝකය ට අභියෝග කරන්න ට ශ්‍රී ලංකාකිකයන් සතු ප්‍රබලම ක්‍රීඩා අවිය සේ සැලකිය හැක්කේ ක්‍රිකට් ක්‍රීඩාව නිසාවෙනි.

මේ හේතුවෙන් ම ක්‍රිකට් ගැන කියවන්නට ක්‍රීඩා ලෝලීන් දක්වන්නේ මහත් අභිරුචියකි. කෙසේ නමුත් ක්‍රිකට් ක්‍රීඩාව මුල්වරට ක්‍රියාත්මක වද්දී එහි නියැළුණේ සාමාන්‍ය පංතියේ මිනිසුන් නොව උසස් යැයි සම්මත, වික්ටෝරියානු සම්ප්‍රදායට අනුගතව ජීවත් වූ ප්‍රභූ පවුල්වලට අයත් වූවෝ ය.

එහෙයින් ක්‍රිකට් මහත්වරුන්ගේ ක්‍රීඩාවක්, සත්පුරුෂයින්ගේ ක්‍රීඩාවක් වශයෙන් හැඳින්විණි. එහෙත් වර්තමානය වනවිට එම තත්ත්වය වෙනස්ව පවතින බව නොකියා බැරිය.

එනමුදු අතීතයේ ඇතැම් අවස්ථාවලදී ක්‍රිකට් පිටියේ මහත්මා ගුණය මොනවට ප්‍රදර්ශනය වූ අවස්ථා කීපයක් සොයාගත හැකිය. එම ක්‍රීඩාවේ ජීව ගුණය තවදුරටත් ආරක්ෂා කිරීමට හා ක්‍රීඩාවේ හෙට දවස යහපත් කරගැනීමට අවශ්‍ය හෙයින් එවැනි අසිරිමත් සිදුවීම් සිහි කැඳවීම මෙම ලිපියේ අරමුණ ය.

මේ ආකාරයෙන් මහත්මා ගුණයෙන් පිරිපුන්ව හැසිරුණු ක්‍රිකට් ක්‍රීඩකයින් අතර ශ්‍රි ලාංකිකයකු ද විශේෂයෙන් කැපී පෙනෙයි. ඒ අන් කවරකුවත් නොව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයකු වූ මාවන් අතපත්තු ය.

වරක් 2004 වසරේ ඔස්ට්‍රේලියාව සමඟ දඹුල්ලේ පැවැති එක්දින තරගයක දී ඔහුගේ මහත්මා ගුණය මනාව ප්‍රදර්ශනය වූ අවස්ථාවක් සේ දැක්විය හැකි ය.

එම තරගයේ දී ශ්‍රී ලංකා පිල ලකුණු 245 ක් රැස්කර තිබූ අතර තරගය ජයගැනීම සඳහා ඔස්ට්‍රේලියාවට ලකුණු 246 ක ඉලක්කයක් ලබා දී තිබිණි.

එම ලකුණු පුවරුවට මාවන් ලකුණු 47ක්, සනත් ජයසූරිය ලකුණු 55 ක් එක්කර තිබුණ හ. ඔවුන් දෙදෙනා එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 121 ක සම්බන්ධතාවයක් පවත්වා තිබිණි. කුමාර් සංගක්කාර, 39ක් හා මහේල ජයවර්ධන ලකුණු 38 ක් ලබා කැපී පෙනුණ හ.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාව වෙනුවෙන් මැතිව් හේඩ්න්, රිකී පොන්ටිං දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 148 ක් රැස්කර තිබුණේ ඔවුන්ගේ ජයග්‍රහණයට මඟ විවර කරමිනි.

පන්දුවාර 40 ක් අවසානයේ ඔස්ට්‍රේලියාව කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 190 ක් රැස්කර තිබුණේ ඉතිරි පන්දුවාර 10 තුළ පන්දුවට ලකුණ බැගින් ලබාගැනීමේ පහසු ඉලක්කයක් සකසා ගනිමිනි.

කුමාර් ධර්මසේන 41 වැනි පන්දුවාරය ආරම්භ කළ අතර එම පන්දු වාරයේ ඇන්ඩෘ සයිමන්ස් කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වූ ක්‍රීඩකයෙකු ලෙස විනි-සුරු පීටර් මැනුවල් විසින් සංඥා කරනු ලැබීය. නමුත් එම පන්දුව ඇන්ඩෘගේ පා ආවරණයේ දැවටීමට පෙර ඔහුගේ පිත්තේ යාන්තමින් ගැටී තිබුණි.

දෙවරක් නොසිතා පීටර් මැනුවෙල් ඔහු දැවී ගිය ක්‍රීඩකයෙකු ලෙස නම් කළ ද එය පිත්තේ දැවටී පා ආවරණයේ ගැටුණු පන්දුවක් යන්න පීටර් මැනුවෙල් විනි-සුරුවරයා ගේ මනසේ හොල්මන් කරන්නට වී තිබුණි. එය තෙවැනි විනිසුරුවරයාගෙන් විමසීමේ අවස්ථාව අහිමි යුගයක් වූ බැවින් එය සැක හැර දැන ගැනීමට පීටර් මැනුවෙල් විනිසුරුවරයාට අවස්ථාවක් නො වූයේ ය. බලාපොරොත්තු සුන් වූ ඇන්ඩෘ සයිමන්ස් ක්‍රීඩාගාරයට පිය නැඟුව ද මේ අතර නායක මාවන් අතපත්තු හා විනිසුරු බිලී බවුඩන් වෙත ළං වූ පීටර් මැනු‍ෙවල් තමන් අතින් සිදුවූයේ අතපසුවීමක් බවත් එම පන්දුව

පා ආවරණයේ ගැටෙන්නට පෙර පිත්තේ දැවටුණු බව තමන්ට විශ්වාස බවත් පැවසූවේ ය.

එය ඇසූ සැණින් දෙවරක් නොසිතූ මාවන් අතපත්තු ඇන්ඩෘ සයිමන්ට නැවත ලකුණු රැස්කිරීමේ අවස්ථාව සලසා දුන්නේ ය. ඒ අනුව ගෙදර ගියොත් තෝ නසී මඟ සිටියොත් අඹු නසී වැනි අනතුරකට නායකයකු වශයෙන් ඔහු මුහුණ දී සිටියේ ය.

කෙසේ නමුත් ලකුණු 93 ක් ලබා සිටි වොට්සන් දවා ගන්නට චමින්ද වාස් සමත් වූ පසු ඔහු යැවූ ඉතිරි පන්දු වාර කිහිපයේ දී අවශ්‍ය ලකුණු වේගය රඳවා ගන්නට ඔස්ට්‍රේලියානුවන්ට හැකිවූයේ නැත.

එම නිසා ඔවුන්ට පන්දුවාර 50 අවසන් වන විට කඩුලු 5 ක් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 244 ක් පමණි. ඒ සියුම් එක ලකුණක පරාජයක් ද අත්කර ගනිමිනි.

මාවන් ගන්නා ලද එම නිර්භීත හා මහත්මා තීරණය නිසා තරගයෙන් ශ්‍රී ලංකාව පරාජය වූවා නම් ඔහුට පිරිසකගේ ගෞරවයටත් තවත් පිරිසකගේ දෝෂාරෝපනයටත් මුහුණ දෙන්නට සිදුවීම වැළැක්විය නොහැකිව තිබුණි. එහෙත් අතපත්තු මහත්මයාගේ විශිෂ්ට හා සර්වසාධාරණ ක්‍රියාවලියට විශ්වය ප්‍රතිචාර දක්වා තිබුණේ ඔහුට පක්ෂව ය. ඒ එදා තරගය ජයගනිමින් හා අවසානයේ මාවන් එදා මුළු ක්‍රිකට් ලෝකයේම ගෞරවයට පාත්‍ර වූයේ මහත්මා ගුණයකින් සපිරි ක්‍රීඩකයකු ලෙසිනි.

සීවලී එදිරිවීර

Comments