
“මේ මොහොතේ මගේ පවුලේ සාමාජිකයන්ට ශක්තියක් වීමට මම කට කළ හැකි සියල්ල කරමින් සිටිමි. එසේ කිරීමට මට ලැබී ඇති අවකාශය පිළිබඳ සතුටු වෙමි. ඒ හැර ඔවුන්ගේ වෙන්වීම පිළිබඳ මේ මොහොතේ වැඩි යමක් නොකියමි.
එහෙත් ඔබගේ කාරුණික වදන් මට බෙහෙවින් වටින බව නම් සඳහන් කරමි.”
මේ ට්වීටර් සටහන දක්නට ලැබුනේ ලෝක ප්‍රකට ව්‍යපාරික, බිලියනපති බිල් ගෙට්ස්ගේ වැඩිමහල් දියණිය වන විසිපස් හැවිරිදි ජෙනිෆර්ගේ ට්වීටර් ගිණුමේය. මේ වන විට ඉතා ආදරණීය පවුලක් ලෙස ලොවම හඳුනාගෙන සිටි බිල් ගේට්ස් සහ බිරිය මෙලින්ඩාගේ දික්කසාදය ප්‍රකාශයට පත් කර තිබේ.
බිල් සහ මෙලින්ඩා මේ ගෙවමින් සිටින්නේ ඔවුන්ගේ විවාහ දිවියේ 27වැනි වසරයි. මේ වන විට බිල් ගෙට්ස් 65 හැවිරිදි වියේද,මෙලින්ඩා 56 හැවිරිදි වියේද පසුවෙති. ඔවුන්ගේ දරුවන් තිදෙන වන ජෙනිෆර් 25 හැවිරිදි වියේද, රෝයි 21 හැවිරිදි වියේද, පියෝබි 18 හැවිරිදි වියේද පසුවෙති.
මෙලෙස ඉතා ආදර්ශමත් පවුල් ජිවිතයක් ගෙවූ බිල් සහ මෙලින්ඩා දික්කසාද වීමට තීරණය කර ඇත්තේ මන්දැයි යන පැනය සුලබව මතුවෙමින් තිබේ. දැනට ප්‍රකාශ කර ඇති අන්දමට දික්කසාදය ඉල්ලා ඇත්තේ මෙලින්ඩාය. ඒ සඳහා හේතුව ලෙස ප්‍රකාශ වී ඇත්තේ ‘ප්‍රශ්න රැසක්’ යන්නය. වෙනත් පාර්ශ්වයක් එයට හේතුවී ඇත්තේය යන්න සම්බන්ධව මේ දක්වා සඳහනක් නැත.
කෙසේ වුවද බිල් ගේට්ස් දික්කසාදය ලබා දීමට කැමැත්ත පළ කර ඇතැයි පැවසේ. ඔවුන් දෙදෙනා මේ දක්වා දික්කසාදය ප්‍රකාශයට පත් කර නොමැත්තේ ඔවුන්ගේ තෙවැනි දරුවාගේ උපාධි ප්‍රදානෝත්සවය අවසන් වන තෙක් බවද ප්‍රකාශ වී තිබේ.
වරක් තම පවුල් ජිවිතයේ සාර්ථකත්වය පිළිබඳව අදහස් දක්වමින් මෙලින්ඩා ගේට්ස් මෙසේ පවසා තිබිණි.
“ඒ අපේ ජිවිතවල අමාරුම කාලේ. බිල් සමාගම පටන් ගත්තා විතරයි. අපට ගොඩක් අගහිඟකම් තිබුණා. දරුවන් පුංචියි. මම ඔවුන්වත් බලාගෙන බොහෝ රෑ වන තුරු සමාගම වෙනුවෙන් වෙහෙසෙන බිල්ටත් උපරිම සහය දුන්නා. දැන් ඒ කාලය සිහිපත් වෙනකොට සතුටක් දැනෙනවා.”
ඇතැම් විට ඇයට අද ඒ සතුට අමතකව තිබෙනවා විය හැකිය. මිනිස් සිත් යනු මහා රහස් සඟවා ගත් ගුහාවන් වැනිය. ඒ ගුහාවන්හි සැඟවී ඇත්තේ මොනවාදැයි දන්නේ ඒවා සඟවූ පුද්ගලයන් පමණක්මය. එබැවින් මෙලින්ඩා තම සැමියාගෙන් දික්කසාදය ඉල්ලන්නේ ඇයිදැයි දන්නේ ඇය පමණක්ම විය හැකිය. එහෙත් එක් දෙයක් පැවසිය හැකිය. එනම් ප්‍රතිරූප ගොඩනැඟීමට වසර ගණනාවක් ගතවුවද ඒවා බිඳ වැටීමට ගතවන්නේ මිනිත්තු කිහිපයක් පමණක් බවය.