මාලදිවයිනට කඩා වැටුණු චීන රොකට්ටුව | සිළුමිණ

මාලදිවයිනට කඩා වැටුණු චීන රොකට්ටුව

1. ‘ලෝන්ග් මාච් 5B’ 2. අන්ත­ර්ජා­තික අභ්‍ය­ව­කාශ මධ්‍ය­ස්ථා­නය 3. යානයේ කොටස් ඇද වැටේ යැයි අනු­මාන කළ ප්‍රදේ­ශය

ලංකාවට ඇද වැටේ යැයි බියක් පැවතියා

වැටුණු ස්ථානය තවමත් නිශ්චිත නැති බව ඇමරිකාව කියයි

කසළ බවට පත්වන අභ්‍යවකාශ යානා වැටීමට සලස්වන ‘පොයින්ට් නීමෝ’

මේ රොකට්ටු කොටස දැනට පෘථිවිය දක්වා ඇදී ආ විශාලතම අභ්‍යවකාශ කසළ තොගය ලෙස වාර්තා වේ. එහෙත් අතීතය විමසීමේදී පෙනී යන්නේ වරින්වර මෙවැනි අභ්‍යවකාශ කසළ පාලනයෙන් තොර වෙමින් පෘථිවියට ඇදී ආ අවස්ථා සඳහා උදාහරණ පවතින බවයි.

මේ සම්බන්ධව චීන රජය ඉතා නිවුණු ප්‍රතිචාර දක්වමින් පවසා ඇත්තේ යානයේ සිට පෘථිවිය දෙසට ඇදී එන කොටස වායු ගෝලයට ඇතුළු වීමේදී දැවී යනු ඇති බවයි.

අභ්‍යවකාශයේ සිට පාලනයකින් තොරව පෘථිවියට කඩා වැටුණු චීන රොකට්ටුව අප රට තුළ මෙන්ම ලෝකයේ සෙසු රටවලද මහත් කතාබහට ලක් විය. මේ රොකට්ටුවේ සුන්බුන් ශ්‍රී ලංකාවට ඇද වැටේය යනුවෙන් ද බියක් පැවති අතර අවසන් මොහොතේ මාලදිවයින අසල මුහුදට ඇද වැටෙන තෙක් එම කොටස් ඇද වැටෙන ස්ථානය නිශ්චිතව පැවසීමට කිසිවකුට හැකියාවක් ලැබී තිබුණේ නැත. මේ රොකට්ටුව චීනය විසින් නම් කර තිබුණේ ‘ලෝන්ග් මාච් 5B’ යනුවෙනි. මේ ලෝන්ග් මාච් රොකට්ටුවේ යට කොටසේ මීටර් 30ක් දිග ටොන් 21බරැති කොටසක් මෙසේ පාලනයකින් තොරව පෘථිවිය වෙත ඇදී ආවේ පසුගිය මැයි මස පළමු සතියේදීය.

එය වායුගෝලයට ඇතුළු වීමේදී දැවී ගිය බවත් ඉතිරි වූ කොටස් කිහිපයක් මාලදිවයින අසල මුහුදට කඩා වැටුණු බවත් ප්‍රකාශ වුව ද ඇමරිකානු මාධ්‍ය කිහිපයක් ම ප්‍රකාශ කර තිබුණේ ඒ ඉතිරි වූ කොටස් ඇද වැටුණු ප්‍රදේශය නිශ්චිතව ප්‍රකාශ නොවූ බවයි.

ලොන්ග් මාච් අභ්‍යවකාශ යානය චීනය විසින් අභ්‍යවකාශගත කරනු ලැබුවේ පසුගිය අප්‍රේල් 21වැනිදාය. එහි අරමුණ වූයේ චීනයේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමයි. එය සැබවින්ම අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය හා සමානව ඉදි කිරීම චීනයේ අභිලාෂය වූ අතර, ඒ සඳහා අවශ්‍ය කරනු ලැබූ කොටස් රැගෙන ගුවන් ගත කරනු ලැබූ ‘ලෝන්ග් මාච් 5B’ චීනය විසින් එතෙක් මෙතෙක් ගුවන් ගත කරනු ලැබූ විශාලතම අභ්‍යවකාශ යානය විය.

එය දිගින් අඩි 176ක් වූ අතර ගුවන් ගත වන විට එහි බර ටොන් 24.6ක් විය. රොකට්ටුව ගුවන් ගත කිරීම බලය ලබා දෙන බූස්ටර් හතරකින් යුතු වූ ‘ලෝන්ග් මාච් 5B’ අති විශාල වූයේ එක් බූස්ටර්යක් අඩි 11ක දිගින් යුක්ත වූ බැවිනි.

පසුගිය අප්‍රේල් 21වැනිදා චීනයේ හයිනෑන් පළාතට අයත් වෙන්ගැන්ග් අභ්‍යවකාශ මුදාහැරීමේ මධ්‍යස්ථානයෙන් අදාළ ඉලක්ක බලා ගමන් ඇරඹීය. එතැන් සිට තම සේවය අවසානයේ පාලනයෙන් මිදුණු රොකට්ටුවේ කොටසක් දින කිහිපයක් පෘථිවිය වටා කක්ෂයක ගමන් කරනු ලැබුවේ විනාඩි 90කට වරක් පෘථිවිය වටා වටයක් ගමන් කරමිනි. අවසානයේ එය තවදුරටත් පෘථිවියේ ගුරුත්වයෙන් මිදී ඒ වටා ගමන් කිරීමේ හැකියාව අහිමි වූයෙන් පැයට කිලෝමීටර් 27,880ක වේගයෙන් පෘථිවිය වෙත ඇදී එන බවට නිරික්ෂණය විය.

මේ නිරීක්ෂණයත් සමඟ එය පෘථිවිය සමඟ ගැටීමෙන් විනාශයක් විය හැකිය යන මතය ඇතිවූ අතර එම කොටස් නිශ්චිතව පෘථිවියේ ගැටුනේ නම් ඒ කුමන ස්ථානයකද යන්න සම්බන්ධව ලොව පුරා මත ගැටුම් ඇති විය.

මේ සම්බන්ධව තම මතය දක්වමින් අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ප්‍රධානියා ලෙස 2004- 2005 වසරවල කටයුතු කළ ලෙරෝයි චයෝ පවසා සිටියේ යානයේ සිට පෘථිවිය දෙසට ඇදී එන කොටස අති විශාල බැවින් වායුගෝලයට ඇතුළු වීමේදී එය සම්පූර්ණයෙන් දහනය වීමට විශාල වේලාවක් ගත විය හැකි බවත්, එබැවින් එය කඩා වැටීමෙන් කුමන අන්දමේ විනාශයක් වේ දැයි කල්තබා ප්‍රකාශ කිරීම ගැටලුවක් වන බවයි.

කෙසේ වුවද මේ සම්බන්ධව චීන රජය ඉතා නිවුණු ප්‍රතිචාර දක්වමින් පවසා ඇත්තේ යානයේ සිට පෘථිවිය දෙසට ඇදී එන කොටස වායු ගෝලයට ඇතුළු වීමේදී දැවී යනු ඇති බවයි. මේ බව චීන විදේශ අමාත්‍ය මාධ්‍ය ප්‍රකාශවරයා කල් තබා මාධ්‍ය හමුවේ පවසා තිබිණි.

එහෙත් මේ චීන රොකට්ටු කොටස පෘථිවිය දෙසට ඇදී ඒම සරලව සැලකීමට ඇමරිකාව ප්‍රමුඛ බටහිර අශ්‍යවකාශ ප්‍රබලයන් කිසිසේත් සූදානම් වූයේ නැත. ඔවුන් පෙන්වා දුන්නේ මෙය දැනට පාලනයෙන් මිදී පෘථිවිය වෙතට ඇදී ආ විශාලතම අශ්‍යවකාශ සුන්බුන් තොගය බවත්, එය ඇද වැටීමෙන් හානි සිදුවිය හැකි බවත්ය. ඔවුන් එම කොටස් ඇද වැටෙනු ඇතැයි අනුමාන කළ ප්‍රදේශ අනුව ඇමරිකාවේ නිව් යෝර්ක් සිට ඉන්දියන් සාගරයේ කොටසක් දක්වා විය. එහෙත් අවසානයේ එම කොටස් ඇද වැටුණු බවට ප්‍රකාශ වුණු මාලදිවයින් මුහුදු ප්‍රදේශය එම අනුමාන සිතියම්වල සඳහන්ව තිබුණේ නැත.

අවසානයේ ප්‍රකාශ වූයේ ‘ලෝන්ග් මාච් 5B’ රොකට්ටුවේ ඉතිරි කොටස මාලදිවයින අසල මුහුදු ප්‍රදේශයට කඩා වැටුණු බවයි. එමඟින් කිසිඳු හානියක් වූ බව වාර්තා වූයේ නැත.

එහෙත් ඇතැම් මාධ්‍ය දක්වා තිබුණේ මේ සුන්බුන් ඇද වැටුණු ප්‍රදේශය නිශ්චිතව වාර්තා වී නැති බවයි. පසුගිය 8වැනි සෙනසුරාදා ඇමරිකානු වේලාවෙන් සවස 11.30 පෘථිවි වායු‌ගෝලයේ ගැටුණු මේ සුන්බුන් අත්ලානත්ික් සාගරයට හෝ ඉන්දියානු සාගරයට ඇද වැටෙන්නට ඇති බව ඇමරිකාවේ කැලිෆෝර්නියාහි ස්ථාපිත කර ඇති ‘එරෝස්පේස් කෝපරේෂන්’ ආයතනය දැනුම් දී තිබිණි. එය බොහෝ දුරට නවසීලන්තය හා නිව්ෆවුන්ඩ්ලන්තය අසල විය හැකි බවට පුරෝකතනද ඉදිරිපත්ව තිබිණි.

කෙසේ වුවද මේ සම්බන්ධව ඇමරිකානු පාර්ශ්වයෙන් දැඩි විවේචන එල්ල වී තිබුණේ වගකීම් විරහිතව අශ්‍යවකාශ සුන්බුන් පෘථිවිය වෙත ඇදී ඒමට සැලැස්වීම පිළිබඳවය. මේ රොකට්ටු කොටස දැනට පෘථිවය දක්වා ඇදී ආ විශාලතම අභ්‍යවකාශ කසළ තොගය ලෙස වාර්තා වේ. එහෙත් අතීතය විමසීමේදී පෙනී යන්නේ වරින්වර මෙවැනි අභ්‍යවකාශ කසළ පාලනයෙන් තොර වෙමින් පෘථිවියට ඇදී ආ අවස්ථා සඳහා උදාහරණ පවතින බවයි.

පසුගිය වසරේද මෙවැනිම රොකට්ටු කොටසක් පාලනයෙන් මිදී පෘථිවිය දෙසට ඇදී ආ අතර එම රොකට්ටු කොටසේ හිමිකරුවන් වූයේද චීනයයි. සීඑන්එන් මාධ්‍ය ආයතනය දක්වා තිබූ අන්දමට එම රොකට්ටු කොටස අත්ලාන්තික් සාගරයට ඇද වැටීමට පෙර ලොස් ඇන්ජලීස් නගරය සහ නිව් යෝර්ක් නගරයේ මධ්‍යම කොටස හරහා ගමන් කර තිබිණි.

මීට පෙර මෙවැනි සිදුවීමක් වාර්තා වී තිබුණේ 1991දී වූ අතර එහිදී සිදුවූයේ රුසියානු අශ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට ටොන් 18ක් බරැති කොටසක් පාලනයෙන් තොරව පෘථිවිය වෙත ඇදී ඒමය.

චීනය විසින් ස්ථාපිත කරනු ලැබූ පළමුවැනි අභ්‍යවකාශ මධ්‍යස්ථානය 2016දී පෘථිවියට කඩා වැටුණේ එය පාලනයෙන් මිදී ඇති බව චීන රජය විසින් තහවුරු කිරීමෙන් අනතුරුවය. පසුව චීනයේ දෙවැනි අභ්‍යවකාශ මධ්‍යස්ථානයද පාලනයෙන් මිදුණු බැවින් එය විනාශ කිරීමට 2019දී කටයුතු කරනු ලැබීය.

චිනයේ අභ්‍යවකාශ කටයුතු වැඩිවන විට චීන රජය වගකීමෙන් තොරව කටයුතු කරමින් සිටින බවට මේ වන විට ඇමරිකානු පාර්ශ්වයෙන් චෝදනා නැඟෙමින් තිබේ. ඔවුන් පවසන්නේ මෙලෙස අභ්‍යවකාශ කසළ පෘථිවියට ඇදී ඒම කිසිසේත් සරල ලෙස සැලකිය නොහැකි බවයි. එමෙන්ම චීනය ‘ලෝන්ග් මාච් 5B’ වැනි ගමන් වාර 10ක් ඉදිරියට සැලසුම් කර ඇති බවද ප්‍රකාශ වන බැවින් මේ තතත්වය කෙරෙහි වඩාත් සැලකිලිමත් විය යුතු බව ඇමරිකානු අභ්‍යවකාශ ආයතන විසින් පෙන්වා දෙමින් තිබේ.

ඇමරිකාවද අභ්‍යවකාශ යානා භාවිතයට ගත නොහැකි වන විට පාලනයෙන් මිදී පෘථිවි ගුරුත්වය වෙත ඇදී එන විට ඒවා පාලනය කමින් නියමිත ස්ථානයකට පතිත කරවීමේ වැඩවල සාර්ථකව නිරත වී තිබේ. යල් පැන යන චන්ද්‍රිකා, තවදුරටත් භාවිතයට ගත නොහැකිව, අභ්‍යවකාශයේ පෘථිවිය වටා ගමන් කරමින් තිබියදී පාලනයෙන් මිදී පෘථිවි ගුරුත්වට ඇදී එම යල් පැන ගිය අභ්‍යවකාශ යානා මෙහෙයවමින් ඒවා ඇද වැටීමට සලස්වන විශේෂ ස්ථානයක් ඇමරිකානුවන් සතු වේ. එම ස්ථානය හඳුන්වනු ලබන්නේ ‘පොයින්ට් නීමෝ’ යනුවෙනි. එය පිහිටා ඇත්තේ දක්ෂිණ ධ්‍රැවය ආසන්නයේය. ගොඩබිම්වලින් බැලුවහොත් මේ ස්ථානයට ආසන්නතම ගොඩබිම වන්නේ නවසීලන්තයයි. එහෙත් ජනාවාස ලෙස බැලුවහොත් මේ ස්ථානයට ආසන්නතම ජනාවාසය පිහිටා ඇත්තේ අභ්‍යවකාශයේය. ඒ අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයයි. පොයින්ට් නීමෝ යන්නෙහි අර්ථය වන්නේ ද ‘කිසිවකු නොමැති ස්ථානය’ යනුය.

ඒ අනුව ඇමරිකාව චීනයට චෝදනා කර සිටින්නේ අභ්‍යවකාශ කටයුතුවලදී වඩා ආරක්ෂිත සහ විශ්වසනීය ලෙස කටයුතු කිරීමේ වගකීම චීනය විසින් ගත යුතු බවයි. එමෙන්ම පසුගියදා කඩා වැටුණු චීන අභ්‍යවකාශ යානයේ කොටස් පෘථිවිය දෙසට ඇදී එන විට ඇමරිකාව එය මහත් විනාශයක පෙර නිමිති ලෙස දුටුවද අවසානයේ එය හුදෙක් අළු ගොඩක් පමණක් වූ බවද අමතක කළ යුතු නැත.

Comments