ධනවත් රටවල් දිළිඳු රටවලට සැලකිල්ල දක්වන්න ‍- WHO | සිළුමිණ

ධනවත් රටවල් දිළිඳු රටවලට සැලකිල්ල දක්වන්න ‍- WHO

ධනවත් රටවල් ළමුන්ට සහ යෞවන කණ්ඩායම්වලට කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ලබාදීමේ සිය සැලසුම් කල්දැමීම යෝග්‍ය බව ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කරයි.
 
ඒ වෙනුවට එම එන්නත් දියුණු වෙමින් පවතින රටවල් සඳහා පරිත්‍යාග කිරීම කාලෝචිත බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් අද්නම් ගෙබ්‍රියාසස් පවසයි.
 
ඔහු ඉල්ලා සිටින්නේ, තම සංවිධානය ක්‍රියාත්මක කරන කොවැක්සි වැඩපිළිවෙළ සඳහා එන්නත් ආධාර ලබාදෙන ලෙසයි.
 
ලෝක සෞඛ්‍ය සංවිධානය දැනට ක්‍රියාත්මක කර ඇති ගෝලීයව එන්නත් නොමිලයේ බෙදාදීමේ වැඩපිලිවෙළට දුෂ්කරතා මතු වෙමින් පවතී. කොරෝනා එන්නත් අවශ්‍ය තරම් නිෂ්පාදනය නොවීම මෙන්ම, එන්නත් ජාත්‍යන්තරව බෙදාහැරීමේ අසමතුලිතතාව ඊට හේතුවයි.
 
වෛරසයේ දැඩි බලපෑමක් නොමැති ළමයින් හා තරුණ කණ්ඩායම් සඳහා දියුණු රටවල් තම එන්නත් සංචිත තබා නොගෙන ඒවා දියුණු වෙමින් පවතින රටවලට බෙදාදීමෙන් ගැටලුව තාවකාලිකව මඟහරවා ගත හැකි වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.

Comments