
මාලදිවයින යනු මේ මොහොත වන විට ලෝකයේ සාර්ථකම රටකි. ඒ සඳහා හොඳම උදාහරණය වන්නේ ඒ රට කොවිඩ් වසංගතයට මුහුණ දුන් අන්දමයි. තනිකරම සංචාරක කර්මාන්තය මත රඳා පවතින මාලදිවයින් ආර්ථිකය කොවිඩ් වසංගතය මධ්‍යයේ වුවද ආරක්ෂිතව පැවතියේ එරට පාලකයන් ගත් මනා තීරණ හේතුවෙනි.
530,000ක් පමණ වන සමස්ත ජනගහන යෙන් සියයට 83කට වඩා එන්නත් කරමින් තම රට සංචාරකයන් ආරක්ෂීත කලාපයක් ලෙස ප්‍රකාශ කළ මාලදිවයින් පාලකයෝ ලෝකයේ සෙසු රටවලට සාපේකෂව තම රාට් ආර්ථිකය වඩාත් ශක්තිමත් කළහ.
එහෙත් වසංගතය හමුවේ එසේ වුවද අන්තවාදය හමුවේ නම් මාලදිවයින් පාලකයෝ ලබා ඇත්තේ පරාජයකි.
පසුගියදා එරට කථානායකවරයා ඉලක්ක කර ගනිමින් පුපුරා ගිය බෝම්බය හේතුවෙන් මේ වන විට මාලදිවයිනේ සංචාරය කිරීමට සංචාරකයෝ දෙවරක් සිතන තත්ත්වයක් උදාවී තිබේ.
මාලදිවයිනේ මොහොමඩ් නෂීඩ් යනු ලොව අන් ඔනෑම දේශපාලනඥයකු තරමට දුක් ගැහැට විඳි පුද්ගලයෙකි. එමෙන්ම බොහෝ කතාබහට ලක්වන්නෙකි. සුළු ජනගහනයක් සහිත මාලදිවයිනේ එකිනෙකට ඥාති පවුල අතරින් ඉවතට පැමිණි වෙනස් පුද්ගලයකු ලෙස නෂීඩ් හඳුනාගත හැකිය.
තවත් සුවිශේෂත්වයක් වන්නේ ඔහු එරට ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයකින් පත්වූ ප්‍රථම ජනාධිපතිවරයාද වන බැවිනි. එහෙත් ඔහුට තම පාලනය ගෙන යෑමට මාලදිවයිනේ ‘ලොකු අතු’ ඉඩ ලබා දුන්නේ නැත. දැන් ඔහුට ජීවත් වීමටද ඉඩ ලබා නොදෙන තත්ත්වයක් උද්ගත වී ඇති බව පෙනේ.
නෂිඩ් ඉලක්ක කර ගනිමින් පුපුරා ගිය බෝම්බය හමුදාවේ භාවිත කරන පුපුරන ද්‍රව්‍ය යොදා තනන ලද්දක් නොවන බව මාලදිවයින් පොලීසිය තහවුරු කර තිබේ. එසේනම් මේ ප්‍රහාරය නිසැකයෙන්ම ත්‍රස්තවාදී ප්‍රහාරයකි. ත්‍රස්තවාදී ප්‍රහාරයක් නොව අන්තවාදී ප්‍රහාරයකි.
මාලදිවයින සතුව අයිඑස් සංවිධානය හා බැඳුණු ප්‍රබල ඉතිහාසයක් වේ. එහෙත් එරටට වඩා විනාශයක් සිදුකරමින් පවතින්නේ ආගමික අන්දවාදය නොව දේශපාලන අන්තවාදය බව පැවසිය හැකිය. එරට දීර්ඝ කාලීන පාලකයා වූ අබ්දුල් ගයූම්ගේ පාර්ශ්වයෙන් පිට දේශපාලන බලය විතැන්ව පවතිනු දැකීමට අකමැති වූ පාර්ශ්වය ප්‍රජාතන්ත්‍රවාදය මාලදිවයිනට හඳුන්වා දුන් නෂීඩ්ට ඇති කළ ගැහැට විශාලය. ඔහුට වසර කිහිපයක්ම සිරගතව සිටීමට සිදුවූ අතර ජීවිත තර්ජන එල්ල වූ අවස්ථා ගණන රාශියකි.
ප්‍රහාරය එල්ල වූ අවස්ථාවෙදී පුපුරණ ද්‍රව්‍ය තුළ වූ කැඩි යකඩ බෝල වැදීමෙන් ඔහුගෙ පෙනහැල්ලකට ඇතුළු ශරීරයේ අවයව රාශියක් දරුණු ලෙස තුවාල වී ඇති බව ප්‍රකාශ වුවද සති අන්තය වන විට නෂීඩ්‌ගේ ඥාතීන් මාධ්‍යයට පවසා තිබුණේ ඔහු ජීවිතාධාරක යන්ත්‍රයකින් තොරව සිටීමට තරම් සුවපත් වී සිටින බවයි.
පාලන බලය තවත් පාර්ශ්වයක් අතට පත්වීම සම්බන්ධව අකමැත්ත පළ කරන පිරිසක් හේතුවෙන් දේශපාලන ජීවිතයේ අප්‍රමාණ අත්දැකීම් රැසකට මුහුණ දෙමින් සිටින මොහොමඩ් නෂීඩ් ඇතැම් විට මාලදිවයින් දේශපාලනයේ හැරවුම් ලක්ෂ්‍යය වීමට වුවද ඉඩ තිබේ.
මන්දයත් වානේ පන්නරය ලබන්නේ ගින්නෙන් වන බැවිනි. එහෙත් මේ දේශපාලන අර්බුද අළු යට ගිනි නිවාගනිමින් කුඩා ජනගහනය සාමකාමීව පාලනය කිරීමට එරට පාලකයන් බුද්ධිමත් වන්නේ නම් එය එරට ආර්ථිකයට නම් ඉතා යහපත් වනු ඇති බව පැවසිය හැකිය.