
'දින 10න් ඇඳන් 10,000ක් හදමු.' ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශයේ වගකීම් අතර ක්‍රියාත්මක කෙරෙන නවතම ව්‍යාපෘතිය ය. ඇඳන් හදන්නේ නිදාගන්න නොවේ. ඒ රෝගීන් වැතිරවීමට ය. නිරෝගී සම්පත යළි උදාවන තුරු බලා සිටීමට ය.
කොවිඩ් වසංගතය වේගයෙන් ගිනි ගනිමින් ඇති ආකාරය දෙස බලද්දී අමාත්‍යාංශයක් වශයෙන් අත පිසදා නොගෙන සෞඛ්‍ය අංශයට හා රජයට ශක්තිය ලබාදීමට ක්‍රීඩාශීලිත්වයෙන් ඉදිරියට පැමිණීම අගය කළ යුත්තකි. මෙය මෑත දශකය තුළ ක්‍රීඩා අමාත්‍යාංශයේ වඩා සුබදායී හා ඵලදායී අමාත්‍යාංශික මැදිහත් වීම ය.
මෙම ක්‍රියාවලිය ඉටුකරන්නට තරුණ කටයුතු හා ක්‍රීඩා විෂය භාර ඇමැතිවරයා තරුණයකු වශයෙන් සෘජුව මැදිහත්වීම අගය කළ යුතු ය. ඒ මැදිහත්වීමට දිරි දිය හැකි ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශ ලේකම්වරුන් සිටීම ද, රාජ්‍ය අමාත්‍යවරයෙකු හා ලේකම්වරයකු ඇතුළු කාර්ය මණ්ඩලයක් සිටීම ද සැබැවින්ම උත්කෘෂ්ට ය.
සහෝදර අමාත්‍යාංශ කොරෝනාව හමුවේ වඩා අසරණවීම වළක්වන්නට උත්සුකවද්දී සෞඛ්‍ය අමාත්‍යාංශයට, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට මෙන්ම සෙසු සමගාමී විෂයන් භාර අමාත්‍යාංශවලට සුවිශාල කර්තව්‍යයක් පැවරී ඇත. උදාහරණයකට රටක් වශයෙන් වසා දැමීමක් සිදුනොවීමට ගන්නා උත්සාහයේ දී ප්‍රවාහන අමාත්‍යාංශයට සුවිශාල වගකීමක් තිබේ. ඒ මඟ තොට මගීන් රස්තියාදු නොකිරීමට මෙන්ම ප්‍රවාහන මාධ්‍ය භාවිතයේ දී මූලික සෞඛ්‍ය නීති ප්‍රවර්ධනය කරමින් පවත්වාගෙන යෑමට ය. අනවශ්‍ය සංචරණ සීමා කරමින් අන්තර්ජාල සේවාවන් සඳහා විශේෂ සහන උදාකරමින් සාධාරණ මිලකට මාසයකට ප්‍රමාණවත් අන්තර්ජාල පැකේජ ලබාදෙන්නට ව්‍යාපාර සමාගම් වලට නියෝග ලබාදෙන්නට අදාළ විෂය භාර අමා-ත්‍යාංශ මැදිහත් විය යුතු ය.
එසේ නොවන්නේ නම් සිදුවන්නේ අන්තර්-ජාලයෙන් වැඩ කළ හැකි පුද්ගලයා ද කාර්යාලයට ගොස් සේවාව කිරීමට උත්සාහ කිරීම හේතුවෙන් සංචරණය අසීමිත වීම ය. එවිට සෞඛ්‍ය බලධා-රීන්ගේ දුරස්ථභාවය හෝ සංචරණය සීමා කිරීම සිදුකළ හැකි වන්නේ නැත.
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයික චක්‍රලේඛවලට අනුව හැකිතාක් සේවකයන් සේවා ස්ථානයට ගෙන්වා ගැනීම අවම කළ යුතු ය. ඒ වෙනුවෙන් සෘජුව හා වේගවත්ව මැදිහත් විය යුතු ය. එයින් කියැවෙන්නේ ඔවුන් නිවසේ සිට සේවය නොකළ යුතු බව නොවේ. එලෙස නිවසේ සිට සේවය කරමින් හැකිතාක් සේවා කටයුතු කාර්යක්ෂමව පවත්වාගත යුතු ය යන්නයි. එවැනි පසුබිමක් මත ක්‍රීඩා අමාත්‍යාංශය රටේ කඩිනම් අවශ්‍යතාවය තේරුම් ගනිමින් දින දහයෙන් ඇඳන් දස දහසක් ඉදිකර ප්‍රදානය කිරීමට යෝජනා කිරීම ප්‍රශස්ත තීන්දුවක් සේ ගිණිය හැකි ය.
අනෙක් අතින් බලන කල කථන ව්‍යවහාරයේ 'ඇඳං' යැයි කියන්නේ නිදාගන්නට යොදාගන්නා ඇඳන්වලට පමණක් නොවේ. 'අඳිනවා' යන වර්-තමාන ක්‍රියා පදය සිදුකළ බව හඟවන 'ඇඳගෙන' යන්න කථනයේ දී 'ඇඳං' යැයි වහරනු ලැබේ. ඒ අනුව ක්‍රීඩා අමාත්‍යාංශය දැන් 'ඇඳං' සිටිය යුතුය. ඒ පදක්කම් දිනා ගැනීම සඳහා ඉදිරි අනාගතයේ එළඹෙන අවස්ථාවන් පිළිබඳව ය. එය ඇඳ ගැනීමක් වන්නේ තවමත් හරිහැටි නොපෙනෙන අවිනිශ්චිත අනාගතයක් තුළ මිරිඟුවක් සේ දිලෙන පදක්කම් හඹායාමක් සේ එය පෙනෙන්නට ඇති හෙයිනි.
එහෙත් ඒ ඈත ක්ෂිතිජයේ පෙනෙන පදක්කම් මිරිඟුවක් සේ ගත නොහැකි ය. අප එසේ කියන්නේ අරමුණ, අධිෂ්ඨානය, සැලසුම, පහසුකම් සකස් කිරීම, පුහුණුව, අත්දැකීම් උරගා බැලීම ආදි පියවර ගණනාවක් අවසානයේ අද මිරිඟුවක් සේ පෙනෙන පදක්කම් දර්ශනය යථාවක් බවට පත්කරගත හැකි හෙයිනි.
ඒ වෙනුවෙන් ක්‍රීඩාවට අවැසි සියලු ආයතන සමඟ ක්‍රීඩා අමාත්‍යාංශය ඒකාබද්ධ විය යුතු ය. ජාතික ඔලිම්පික් කමිටුව, ක්‍රීඩා සංගම්, පුහුණුකරුවන්, පෝෂණවේදීන්, පුරවැසියන්, රාජ්‍ය හෝ පෞද්ගලික ආයතන, මාධ්‍ය ආයතන ඇතුළු මෙකී නොකී සියලු ක්ෂේත්‍රයන් ඒ වෙනුවෙන් ඒකාබද්ධ කර ගත යුතුය. තවත් ආකාරයකින් කියන්නේ නම් එය හරියටම ගැළපෙන්නේ රට ව්‍යසනයක් අභිමුව සිටිය දී 'දින දහයෙන් ඇඳන් දස දහසක්' ඉදිකරන ව්‍යාපෘතියකට අතගැසීමට සමපාතව ය. එය රටේ අවශ්‍යතාවයට අනුව සෙසු අමාත්‍යාංශ හා ආයතන සමඟ ඒකාබද්ධ වීමකි. අර්බුදයන්ගෙන් මිදීම උදෙසා තනි යදමක් බවට පත්වන්නට එකතුවීමකි. ඒ වෙනුවෙන් ගන්නා නවමු හා වගකීම් සහගත ප්‍රයත්නයකි.
අප යෝජනා කරන්නේ එකී නවමු ප්‍රවේශය ක්‍රීඩා ක්ෂේත්‍රයේ සියලු ආයතන, ක්‍රීඩාවට පරිබාහිර සියලු ආයතන ඒකාබද්ධ කර අපේක්ෂිත ජයග්‍රහණ සඳහා පෙළගැසීම ය. අවසන් වශයෙන් කිවයුත්තේ පදක්කම්, ජයග්‍රහණ, නිරෝගීභාවය හෝ ඊට සමගාමී ක්‍රීඩාවේ විජයග්‍රහණ අත්පත් කරගැනීම වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යාංශයට සහය වෙමින් ක්‍රියාකිරීමට දිවයිනේ බලපෑම් සහගත හා ජාතික වගකීමක් සහිත මාධ්‍ය ආයතනයක් වශයෙන් අප ද සූදානම් බව ය.
------------------------------------
ලෝකයේ අමාරුම තැන ජීව බුබුළ හැබැයි ගෙදර වාඩි වී ඉන්නවාට වැඩිය පිට්ටනිය හොඳයි - සව්රව් ගංගුලි
මේ වසරේ අත්හිටු වූ අයි.පී.එල්. තරගාවලිය ඉන්දියාවේ දී සම්පූර්ණ කළ නොහැකි හෙයින් තරගාවලිය සම්පූර්ණ කිරීමට වෙනත් ස්ථානයක් තෝරා ගැනීමට අපේක්ෂා කරන බව ඉන්දීය ක්‍රිකට් ප්‍රධානී සව්රව් ගංගුලි පවසයි.
ක්‍රීඩකයන් කිහිප දෙනෙකු ට කොවිඩ් වයිරසය ආසාදනය වීමෙන් පසුව ඉන්-දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය පසුගිය සතියේ හදිසියේ ම අත්හිටුවනු ලැබිණි. ඉන්දියාව දිනකට මරණ 4,000 ක ට ආසන්න සංඛ්‍යාවක් වාර්තාවීම සහ නව රෝගීන් 400,000 ක් පමණ වාර්තා වී තිබීම තරගාවලිය අත්හිටුවීම වේගවත් කිරීමට තවත් හේතුවක් විය.
ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ගංගුලි වැඩිදුරටත් පැවැසුවේ ජුනි 18 වැනි දා එංගලන්තයේ දී නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය සඳහා ඉන්දියාව ක්‍රීඩා කිරීමට පෙර අයි.පී.එල් තරගාවලිය නැවත ආරම්භ කිරීමට ක්‍රමයක් නොමැති බවයි.
‘අයි.පී.එල්. තරගාවලිය සම්පූර්ණ කිරීම සඳහා ස්ථානයක් සොයාගත හැක්කේ කෙසේදැයි කීම අභියෝගයක්.’ යැයි ගංගුලි පවසා තිබිණි.
‘දින 14 නිරෝධායනය වැනි සංවිධානාත්මක ක්‍රමවේදයක් තියෙනවා. එය ඉන්දියාවේ සිදුවෙවි කියලා හිතන්න අමාරුයි. මෙම නිරෝධායනය හැසිරවීමට අපහසුයි.’ ඔහු පැවසීය.
විරාත් කෝලිගේ ඉන්දිය කණ්ඩායමට ඉදිරි මාසවලදී සංකීර්ණ කාලසටහනක් තුළ තරග කිරිමට සිදුව තිබේ. ලෝක ටෙස්ට් කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයට සූදානම් වීම සඳහා ඉන්දියාව ජුනි මස මුලදී එංගලන්තයට යනු ඇත.
අගෝස්තු සහ සැප්තැම්බර් මාසවලදී ටෙස්ට් තරග 5 ක් සඳහා නැවත එංග-ලන්තයට යෑමට පෙර ඔවුන් ජූලි මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට ද නියමිතය.
වසංගතය හේතුවෙන් පසුගිය වසරේ අයි.පී.එල්. තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගෙන යන ලද අතර, මෙවර අතරමඟ නවතා දැමූ
තරගාවලියේ ඉතිරි කොටස සඳහා එංගලන්ත ප්‍රාන්ත ගණනාවක් ම සත්-කාරකත්වය ලබා දීමට දැනටමත් ඉදිරි-පත් වී තිබේ.
ඉන්දියාවේ වසංගතයක් ලෙස කොවිඩ් රෝගය ව්‍යාප්ත වනවිට කණ්ඩායෙම් ක්‍රීඩකයන් සහ සහායක කාර්ය මණ්ඩලය “ජෛව ආරක්ෂණ බුබුළු” තුළ ගොනු වුහ.
රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්, සන්රයිසර්ස් හයිද්රාබාද් සහ දිල්ලි කැපිටල්ස් යන කණ්ඩායම්හි ක්‍රිඩයන් සිව්දෙනෙකුට කොවිඩ් ආසාදනය වී-මෙන් පසුව බොහෝ විදේශීය ක්‍රීඩකයන් ඉන්දියාව හැර ගොස් ඇත.
නවසීලන්ත කඩුලු රකින පිතිකරු ටිම් සීෆර්ට් සහ චෙන්නායි සුපර් කිංග්ස් හි ඔස්ට්‍රේලියානු පිතිකරණ පුහුණුකරු මයිකල් හසී කොවිඩ් රෝගයට ප්‍රතිකාර ලබාගනිමින් සිටිති.
‘අපි කොහොම කීවත් බුබුළු ජීවිතය කටුක යි. එය දුෂ්කරම ක්‍රමවේදයක්.’ ගංගුලි පවසා තිබේ.
පසුගිය සැප්තැම්බරයේ සිට ලොව පුරා බොහෝ ක්‍රීඩකයන් බහුතරයක් ජීවත් වන්නේ බුබුළක් තුළ ය. ඊට ලබාදිය හැකි අන් විකල්පයක් ද නැත. ‘ජීව බුබුළ නොමැතිව අපට ක්‍රිකට් ක්‍රීඩා කරන්න බෑ. හැබැයි නිවසේ වාඩි වී සිටිනවාට වඩා පිට්ටනිය හොඳයි.’ ඉන්දීය ක්‍රිකට් ප්‍රධානියා පවසන්නේ ය.
බන්ධුල ජයමාන්න
--------------------------
කොවිඩ් නව රැල්ලේ පය ලිස්සූ ක්‍රීඩකයෝ වැඩිදෙනෙක් ඉන්දියානුවෝ
මෑත ඉතිහාසයේ ඉන්දියාවේ දක්නට ලැබුණු දරුණුතම ව්‍යාසනය ලෙස හැඳින්විය හැක්කේ කොවිඩ් වසංගතය යි.
ජීව බුබුළක් යටතේ තරග වැදුණ ද ඉන්දීය ප්‍රිමියර් ලිග් තරගාවලිය නියෝජනය කළ ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම රෝගයට ගොදුරු විණි. මේ වනවිට තරගාවලිය අත් හිටුවා ඇති නමුදු කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම වෙනුවෙන් තරග වැදුණු 'ප්‍රසිද් ක්‍රිෂ්ණා' ද රෝගයට ගොදුරුවී ඇති බව අලුත්ම වාර්තාවකින් කියැවුණේ ය.
එළඹෙන එංගලන්ත සංචාරයේ දී, නවසීලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිත ලෝක ටෙස්ට් ශුරතා තරගාවලියේ අවසන් තරගයට මෙන්ම එංගලන්තය සමඟ පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගමාලාව සඳහා කණ්ඩායමේ අතිරේක ක්‍රීඩකයෙකු ලෙස ද ඔහු නම් කර තිබුණේ ය.
“ප්‍රසිද් කෝවිඩ් රෝගයට නිරාවරණය වීම මත මේ වන විට නිවසේ නිරෝධායනය වෙමින් පසු වෙනවා.” ඉන්දීය ක්‍රිකට් නිලධාරියෙකු පසුගියදා අනාවරණය කළේ ය.
මෙම වයිරසය වැලඳුණු කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ සිව්වන ක්‍රීඩකයා වන්නේ ප්‍රසිද් ය. වරුන් චක්‍රවර්ති, සන්දීප් වොරියර්, ටීම් සෙයිෆර් මෙම තත්ත්වයට මුහුණ දුන් සෙසු ක්‍රීඩකයෝ වෙති.
මේ අතරින් නවසිලන්ත ක්‍රීඩක ටීම් සෙයිෆර් චෙන්නායි හි රෝහලකට ඇතු-ළත් කරනු ලැබීය. නවසීලන්ත ක්‍රිකට් බලධාරිහු ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය ගැන මහත් අවධානයෙන් පසු වෙති. “ඇත්තෙන්ම ටීම්ට සිදුවුදේ ගැන කන-ගාටුයි. අප මෙහි සිට ඔහු වෙනුවෙන් අවශ්‍ය සෑම දෙයක්ම කිරීමට සුදානම්.” නවසිලන්ත ක්‍රිකට් ප්‍රධාන විධායක ඩේවිඩ් වයිට් පවසා තිබිණි.
සන්දීප් වොරියර් හා ප්‍රසිද් හට රෝගය වැලඳුනේ 'වරුන් චක්‍රවර්ති' ගෙන් බව විශ්වාස කෙරේ. ඔහු මොවුන් දෙදෙනාගේ හොඳම මිතුරෙක් වීම ඊට හේතුවයි.
චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලක්ෂිම්පති බාලාජි මෙන්ම පිතිකරණ පුහුණුකරු මයික් හසී ද කොවිඩ් රෝගයට ගොදුරුව ගුවන් මගින් දිල්ලියේ සිට චෙන්නායි බලා රැගෙන ගිය අතර බලාජි නගරයේ හෝටලයක හුදෙකලාව රඳවා ඇති බවද වාර්තා විය. සන්රයිස් හයිද්‍රබාද් කණ්ඩායමේ වෘදිමන් එමෙන්ම දිල්ලි කැපිටල් කණ්ඩායමේ අමිත් මිශ්රා වසංගතයට මුහුණ දුන් සෙසු ක්‍රීඩකයෝ ය.
දැනට මාසයකට පමණ පෙර ක්‍රීඩා ලෝලින් ගේ සහභාගිත්වය සහිතව පැවැති රෝඩ් සේෆ්ටි නැතහොත් ලෙජන්ඩ්ස් ක්‍රිකට් තරගාවලිය ඉන්දියාවේ පැවැත්වෙන කාලයේ කොවිඩ් වසංගතය අවසන් බවට මතයක් ජනතාව තුළ දක්නට ලැබුණේ ය.
එහෙත් අවාසනාවකට මෙන් තරගාවලිය නිමාවී වැඩි දවසක් ගත වීමට පෙර හිටපු සුපිරි ක්‍රීඩක සචින් ටෙන්ඩුල්කාර් ට රෝගය වැලඳී ඇති බවට වාර්තා විය. ඉන්පසු මෙම තරගාවලිය නියෝජනය කළ යුෂුප් පතන්,සුබ්‍රමනියන් බද්රිනාත්,ඉර්ෆාන් පතන් යන ක්‍රීඩකයින් ද රෝගය වැළඳී තිබුණේය.
“සුළු අසනීප තත්ත්වයක් හේතුවෙන් කරන ලද පරීක්ෂණවල දී කොවිඩ් රෝගය වැලඳී ඇති බව හෙළිවුණා. නමුත් පවුලේ වෙනත් අයට රෝග තත්ත්වයක් නෑ. එය පසුව සිදුකළ පරීක්ෂණවල දී තහවුරු වුණා. එබැවින් මා නිවසේදී ම නිරෝධායනය වීමට තීරණය කළා.” සචින් ඒ සම්බන්ධයෙන් ලොව දැනුවත් කර තිබුණේ එලෙසිනි. මෙසේ ක්‍රීඩකයින් පමණක් නොව ඉන්දීය විස්සයි විස්ස ක්‍රිකට් නායිකා හර්මන්ප්‍රීත් කවුර් හට ද රෝගය වැලඳුනු බව පසුගියදා වාර්තා වී තිබිණි.
අනිල් විරසිංහ










