සිහි නැතිවෙන්න මිය යන්න නිල බලා පහර දුන් දේශීය මල්ලව පොර ක්‍රීඩාව | සිළුමිණ

සිහි නැතිවෙන්න මිය යන්න නිල බලා පහර දුන් දේශීය මල්ලව පොර ක්‍රීඩාව

අතීතය විනිවිදුම-19

 

දැන් අපි ගිය සතියෙදිත් කතා කළේ මල්ලව පොර ක්‍රීඩාව ගැනයි. යම් සටන්කරුවන් දෙදෙනෙක් අතර ඇතවන සටන හරිම භාර ධූර යුද්ධයක් වන් වුණා. ලෙහෙසියෙන් එක් අයෙක් අනෙකාගෙන් පරාජය බාරගන්න සූදානම් වුණේ නෑ. එහෙම නිභයව සටන් කළ මල්ලවයන් දෙදෙනකු අතර සිදුවන සටන් කලාවේ භාවිත කරන විවිධ උපක්‍රම ගැන අපි ගිය සතියේ කීවාක් මෙන් මරු නිල ශාස්ත්‍රය පොතේ දැක්වුණා. මේ ගිය සතියෙන් පසු මල්ලව පොර ක්‍රීඩාවේ දිගුවක් ගැන කියැවෙන කතාංගයයි.

 

සිහි නැතිවෙන්න එහෙමත් නැත්නම් මරණයට පත්වන්න පහරදිය යුතු ප්‍රමාණය, පහර කාපු අයට යළි සුව භාවය ලැබෙන්න ප්‍රතිපහරදිය යුතු ආකාරය ගැනත් මේ කෘතියේ ඇතුළත් වෙනවා.

ලෙව්කේ දිසාව එහි කියලා තිබෙන්නේ අත්දාරයෙන් සිරුරේ ස්ථානයකට (එය දක්වනු නොලබන්නේ දරුවන් මෙය වැරදි ලෙස යොදාගත හැකි හෙයිනි.) පහරදීමෙන් සිහි නැති කර දමන්න පුළුවන්. ඊට පස්සේ අත මිට මොළොවා මුලින් බෙල්ල පිටුපසට යාන්තමින් තට්ටු කළ විට යළිත් සිහිය ලැබෙන බව පැවසෙනවා.

මෙරට මල්ලව පොර විමර්ශකයකු ලෙස සැලකෙන ඇම්. බී. ගලගොඩ දක්වන ආකාරයට ගුටි හරඹ පහත දැක්නෙ ආකාරයට කොටස් කළ හැකියි.

උරේ ඉඳලා අත දිග හැරලා ගසන පහරට කියන්නේ දිග් ගුටිය කියායි. ඊළඟට ප්‍රතිවාදියා ප්‍රහාරයක් එල්ල කළාට පස්සේ ඔහුගේ අත වටා කතිර කොකු බැඳුමක් ලන පහරදීමක් සිදුකළාම ඒක හරස් ගුටියක් වෙනවා. එතකොට ඉස් ගුටිය වෙන්නේ පන්දුවක් විසිකරනවා වගේ ප්‍රහාරකයාගේ ඔළුවට උඩින් අත වේගයෙන් පද්දවලා හකු පිට, කන් ඇටය එහෙමත් නැත්නම් බෙල්ල පිට ගැසීම හඳුන්වනවා.

මෙලවූ මිටෙන් සුළඟිල්ල අග හෝ මිට මුල යොදා මුහුණ, කන් ඇටය, කුලල් ඇටය, හෝ නාභි මණ්ඩලය මත වැදෙන විධිහට යටි අතට ගහන පහරට කියන්නේ කැපුම කියායි. ඩොල්ලේ හෙවත් ඩොක්කේ ලෙසින් හැඳින්වෙන්නේ පහර දෙන අත ඇති පැත්තේම දණ හිස අවළුවලා ප්‍රතිවාදියාගේ දණ හිස පිටුපසින් ගෙන පිටුපසට පයින් පහර දීලා ප්‍රතිවාදියාගේ නාභි මණ්ඩලයට වැල මිටෙන් ගසමින් ඔහු පසුපසට ඇද වැටෙන්න සලස්වන එක හඳුන්වන නම වෙනවා.

ඇත්තම කියනවා නම් මේ කියන යෙදුමේ නියම අර්ථය දන්නේ කීප දෙනෙක් විතරයි. ඒත් වර්තමාන සමාජයේත් ඇතැම් ජන කණ්ඩායම් අතර 'එයාට ඩොල්ලේ තමයි', 'හොඳටම ඩොක්ක වෙලා' වගේ රූපාලංකාර තාවත් අසන්න ලැබෙනවා.

සමහරක් රජවරු රජවාසල ආශ්‍රිතව මල්ලව පොර ශූරයන් සිටුවා ගත්තා. තවත් සමහරුන් කළේ අවශ්‍යතාවයක් ඇතිවුණොත් මල්ලව පොර ශූරයන් එහි ගෙන්වා ගැනීමයි. මේ කියන යුගයේ රජුගේ පොරවදින්නා වගේම අනිත් පාර්ශ්වයටත් රාජකීය සුවපහසුකම් ලබාදී තිබුණා. ඉඳුම් හිටුම්, සාත්තු සප්පායම්, ඇතුළු විවිධ සංග්‍රහ ලබාදී තිබෙනවා. ඒ වගේම තමයි සටන පැවැත්වීමට පෙර සියලු පාර්ශ්ව එකට හිඳ ආහාර ගෙන තිබුණා.

දැන් ඔය කියන මල්ලව පොර ශාස්ත්‍රයේ ශේෂ වූ කරුණු අතර වර්තමාන සමාජයේ ඇතැම් ගම්මාන ආශ්‍රිතව උරහිසට පහ දෙන්න කියන ක්‍රීඩාවක් තිබෙනවා. ඒකෙන් හැමෝම පෙන්වන්න උත්සහ කරන්නේ තමන්ගේ දරාගැනීමේ හැකියාව කොයිතරම්ද කියන එකයි.

මේ පහර දීමේ ප්‍රතිවාදීන් දෙදෙනෙක් අතර මාරුවෙන් මාරුවට සිදුකෙරෙනවා. එමගින් පෙන්වන්නේ ප්‍රතිවාදියාගේ ශක්තිමත්ම පහරට වැඩිය තමන්ගේ දරාගැනීමේ හැකියාව කොතරම් ප්‍රබලද යන්නයි.

මෙතැනදි පහර එල්ල කරන්නේ වැල මිටේ පහළ කොටසින්. එහෙම පහර දෙද්දී ප්‍රතිවාදියා එල්ල කරන පහරවල් වැළැක්වීම් සිදුවන්නේ නැහැ. අවසානයේ නුපුරුදු සටන් කරුවෙක් නම් ඔහුගේ අත පුපුරා යන්න පුළුවන්. එහෙම වුණාම සිදුවන්නේ පසුකාලීනව අතේ කැළල් දක්නට ලැබීමයි.

 

කුසුමා අබේසිරිගුණවර්ධන

 

Comments