වයස අවුරුදු 19න් පහළ පළමු කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලිය | සිළුමිණ

වයස අවුරුදු 19න් පහළ පළමු කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලිය

 

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරනු ලැබූ වයස අවුරුදු 19 න් පහළ පළමු කොටසේ ටියර් ‘ඒ’ සහ ‘බී’ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලීන් හි පන්දුවෙන් සහ පිත්තෙන් දස්කම් දැක් වූ ක්‍රීඩකයින් අතුරින් අහන් වික්‍රමසිංහ, දුනිත් වෙල්ලාලගේ, රවීන් ද සිල්වා, පවන් සංදේෂ්, ලොහාන් ද සොයිසා සහ නවෝද් පරණවිතාන කැපී පෙනේ.

 

ටියර් ‘ඒ’‍‍‍‍‍ තරගාවලිය

ටියර් ‘‍‍‍‍‍ඒ’ තරගාවලියේදී අනු ශූරතාව දිනාගත් කොළඹ රාජකීය විද්‍යාලයේ නායක වමත් පිතිකරු අහන් වික්‍රමසිංහ වැඩිම ලකුණුලාභී පිතිකරුවන් අතුරින් පෙරමුණ ගත් අතර, මෙවර තරගාවලියේ ශූරතාව හිමිකරගත් කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලයේ නායක දුනිත් වෙල්ලාලගේ වැඩිම කඩුලුලාභී පන්දු යවන්නන් අතුරින් පෙරමුණ ගෙන සිටියි. අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලද කොළඹ නාලන්දා විද්‍යාලයේ නායක දකුණත් පිතිකරු සහ දකුණත් පිට දඟ පන්දු යවන රවීන් ද සිල්වා තුන් ඉරියව් ක්‍රීඩකයින් අතුරින් පෙරමුණ ගත්තේ ය.

තරගාවලියට පාසල් කණ්ඩායම් 18 ක් සහභාගි විය. තරගාවලිය නිමාවන විට පිතිකරුවන් 10 දෙනෙක් ශතක රැස් කර තිබිණි. ඉනිමක දී වැඩිම ලකුණුලාභී පිතිකරු බවට පත්වීමට කොළඹ නාලන්දා විද්‍යාලයේ නායක දකුණත් පිතිකරු රවීන් ද සිල්වා සමත් විය. රවීන් ද සිල්වා ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයට එරෙහිව ලකුණු 170ක් රැස් කළේය.

මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ අභිෂේක් ආනන්දකුමාර් කොළඹ වෙස්ලි විද්‍යාලයට එරෙහිව ලකුණු 25කට කඩුලු 6 ක් දවාලීම මෙවර තරගවාරයේ ඉනිමක දී හොඳම පන්දු යැවීම ලෙස වාර්තා විය. පන්දු යවන්නන් 7 දෙනෙක් ඉනිමකදී කඩුලු 5 ඉක්මවා තිබිම කැපී පෙනේ.

මේ අතරින් ඉදිරියෙන්ම සිටින පිතිකරුවන් පිළිවෙලින් ශතක සහ අර්ධ ශතක රැස්කර ඇති ආකාරය මෙසේ දැක්විය හැකිය. අහන් වික්‍රමසිංහ 1 ක් හා 3 ක්, පවන් රත්නායක 1 ක් හා 2 ක්, රවීන් ද සිල්වා 1 ක් හා 2 ක්, විනුජ රන්පුල් 1 ක් හා 3 ක්, ෂොරන් ෆොන්සේකා අර්ධ ශතක 4 ක් වශයෙනි. ඒ අතරින් අහන්, ෂොරන් සහ පවන් ලකුණු 400 සීමාව පසුකර යෑමට ද සෙසු පිතිකරුවන් දෙදනා ලකුණු 300 පසුකිරීමට ද සමත්ව තිබේ.

ඉන් හොඳම සාමාන්‍ය පවත්වාගෙන යන්නේ රවීන් ද සිල්වා විසිනි. එය 112.67 කි.

පන්දුයැවීමේදී වැඩිම කඩුලු හිමිකරුවන් වශයෙන් දුනිත් වෙල්ලාලගේ හා අභිෂේක් ආනන්දකුමාර් කඩුලු 15 බැගින් දවාගෙන ඇති අතර සම්පත් නිශ්ශංක සහ රවීන් ද සිල්වා කඩුලු 14 හා 13 බැගින් දවාගෙන තිබේ. ඒ අනුව රවීන් ද සිල්වා තුන් ඉරියව් ක්‍රීඩකයකු වශයෙන් තරගාවලිය පුරා වඩා කැපී පෙනුණේය. මේ අතර තුෂාර මධුෂාන් ද කඩුලු 12 ක් දවාගෙන ඇත්තේ තරග පහකට පමණක් ක්‍රීඩා කරමිනි.

ශතකලාභී පිතිකරුවන් දස දෙනෙකු මෙවර ටියර් ‘ඒ’ කොටසේ වාර්තා වෙයි. එනම් රවීන් ද සිල්වා, ෂෙවොන් ඩැනියෙල්, විනුජ රන්පුල්, අහන් වික්‍රමසිංහ, පවන් රත්නායක, චමිඳු වික්‍රමසිංහ, ඉෂිවර දිසානායක, අභිෂේක් ලියනාරච්චි, ලෙස්ටර් ජයවීර හ‍ෙ රිෂි අධිෂ්ඨාන් ය.

හොඳම පන්දුයැවීම් අතරින් අභිෂේක් ආනන්දකුමාර්, ක්‍රිෂේන් පෙරේරා, තරුෂ මධුෂාන්, ධනජ සඳළිඳු, විහඟ ඉරංජන, මාලින්ද පෙරේරා, රවීන් ද සිල්වා කැපී පෙණින.

ටියර් ‘බී’ තරගාවලිය

ටියර් ‍‍‍‍‍’බී’ තරගාවලියේදී අනු ශූරතාව දිනාගත් රත්ගම දේවපතිරාජ විද්‍යාලයේ දකුණත් ආරම්භක පිතිකරු පවන් සංදේෂ් වැඩිම ලකුණුලාභී පිතිකරුවන් අතුරින් පෙරමුණ ගත් අතර, තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසුණු අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ නායක වමත් පා දඟ පන්දු යවන ලොහාන් ද සොයිසා වැඩිම කඩුලුලාභී පන්දු යවන්නන් අතුරින් පෙරමුණ ගෙන සිටියි. ටියර් ‘බී’ තරගාවලියේ ශූරයින් බවට පත්වුණු ගාල්ල මහින්ද විද්‍යාලයේ නායක වමත් ආරම්භක පිතිකරු සහ වමත් පා දඟ පන්දු යවන නවෝද් පරණවිතාන තුන් ඉරියව් ක්‍රීඩකයින් අතුරින් පෙරමුණට පැමිණ සිටිති.

තරගාවලියට පාසල් කණ්ඩායම් 18 ක් සහභාගි වූ අතර, තරගාවලිය නිමාවන විට පිතිකරුවෝ 7 දෙනෙක් ශතක රැස් කිරීමට සමත් වූහ. ඉනිමකදී වැඩිම ලකුණුලාභී පිතිකරු බවට පත්වීමට රත්ගම දේවපතිරාජ විද්‍යාලයේ පවන් සංදේෂ් සහ මාතර ශාන්ත සර්වේෂස් විද්‍යාලයේ දිනිරු අබේවික්‍රමසිංහ සමත් වූහ. ඔවුන් දෙදෙනා ලකුණු 138 ක් බැගින් රැස් කළහ. අවසන් පූර්ව තරගයේදී රත්ගම දේවපතිරාජ විද්‍යාලයේ ජීවක ශෂීන් අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයට එරෙහිව ලකුණු 103 ක් රැස් කිරීම බොහෝ දෙනාගේ කතාබහට ලක්විය.

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ සහන් සංකල්ප කොළඹ ලුම්බිණි විද්‍යාලයට එරෙහිව ලකුණු 15කට කඩුලු 6ක් දවාලීම මෙවර තරගවාරයේ ඉනිමකදී හොඳම පන්දු යැවීම ලෙස වාර්තා විය. පන්දු යවන්නන් 13 දෙනෙක් ඉනිමකදී කඩුලු 5 ඉක්මවා තිබිම කැපී පෙනේ.

පිතිකරුවන් අතරින් පවන් සංදේෂ්, ජිවක ශෂීන්, නවෝද් පරණවිතාන, කෞෂිත කොඩිතුවක්කු දිනිරු අබේවික්‍රමසිංහ දැක්වූ දක්ෂතා කැපී පෙනුණේය. එහි දී වැඩිම ලකුණු පවන් සංදේශ් 343 ක් ලෙස සටහන් කරගෙන ඇති අතර ජීවක ශෂින් , නවෝද් පරණවිතාන හා කෞෂිත කොඩිතුවක්කු ලකුණු 300 සීමාව ඉක්මවා යාමට සමත් වූහ.

ශතකලාභීන් සත් දෙනෙකු වාර්තාවන අතර ඊට පවන් සංදේශ්, දිනිරු අබේවික්‍රමසිංහ, අවිශ්ක තරිඳු, කෞෂිත කොඩිතුවක්කු, මලිත් කුලතුංග, ජීවක ශෂීන්, ධනජ සිල්වා යන ක්‍රීඩකයන් ඇතුළත් ය.

පන්දුයැවීමේදී වැඩිම කඩුලුලාභියා වූයේ ලොහාන් අරෝෂණ ය. ඔහු කඩුලු 17 ක් ලබද්දී සහන් සංකල්ප, නවෝද් පරණවිතාන, ඉරුෂ්ක තිමිර, තෙවිඳු දික්වැල්ල කඩුලු 13 ට ඉහළින් කඩුලු දවාගනිමින් දක්ෂතා දැක්වීමට සමත් විණි.

ඉනිමක හොඳම පන්දුයැවීම සනිටුහන් කළ ක්‍රීඩකයන් අතර ප්‍රමුඛයා සහන් සංකල්ප ය. රොමේෂ් සුරංග,

උපේන්ද්‍ර වර්ණකුලසූරිය, සිතුක ගුණවර්ධන, කවිඳු ලක්ෂාන්, මෙනූෂ පෙරේරා, තෙවිඳු දික්වැල්ල, ලොහාන් අරෝෂණ, ටෙහාන් පෙරේරා, සසංක නිර්මාල්, කවිඳු අමන්ත, උපුල් හෙට්ටිආරච්චි, කුමුදිත නිරංජන එසේ හොඳම පන්දුයැවීම් සටහන් කරගත් සෙසු ක්‍රීඩකයෝ වෙති.

 

ඉෂානි යද්දෙහි‍

Comments